
ශ්‍රී ලංකාවට එරෙහි යුධ අපරාධ පරීක්ෂණයකට තම සහාය හිමි නොවන බව එජාප මන්ත්‍රීවරයා පවසයි
ශ්‍රී ලංකා හමුදාවට හෝ ජනාධිපති මහින්ද රාජපක්ෂට එරෙහිව යුධ අපරාධ චෝදනා නැගීමේ කිසිදු උත්සාහයකට තම පක්ෂයේ සහාය හිමි නොවන බව එක්සත් ජාතික පක්ෂය පවසයි.
බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු ඒ බව ප්‍රකාශ කළේ බ්‍රිතාන්‍යවාසී ශ්‍රී ලාංකික දෙමළ, සිංහල සහ මුස්ලිම් ප්‍රජාවගේ නියෝජිතයන් සමඟ ඔහු ඇතුළු තරුණ පිරිසක් මේ දිනවල පවත්වමින් සිටින සාකච්ඡා පිළිබඳව බීබීසී සංදේශය සමඟ අදහස් දක්වමින්.
පාලක එක්සත් ජනතා නිදහස් සන්ධානයේ වසන්ත සේනානායක මන්ත්‍රීවරයා සහ දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරමින් මෙම සංචාරයට එක්වී සිටිති.
යුද්ධයේ අවසාන භාගයේදී සිදුවූ බව පැවසෙන අපරාධ පිළිබඳව ක්‍රමවත් පරීක්ෂණ පැවැත්වෙන්නේ නම් එය ශ්‍රී ලංකාවේ ජාතීන් අතර සම්බන්ධතා වර්ධනය කිරීමට රුකුලක් වනු ඇති බව පසුගිය දෙසැම්බරයේදී බ්‍රිතාන්‍යයේ සංචාරය කළ හරීන් ප්‍රනාන්දු ඇතුළු බහු-පක්ෂ තරුණ මන්ත්‍රීවරුන්ගේ කණ්ඩායමක් සහ බ්‍රිතාන්‍යයේ විදේශගත දෙමළ ප්‍රජාව අතර පැවති සාකච්ඡාවලදී ඇතිකරගත් එකඟත්වයක්.
'අපරාධ සිදුවුනා'
කෙසේ නමුත් ශ්‍රී ලංකාවට එරෙහි යුධ අපරාධ පරීක්ෂණයකට තම සහාය හිමි නොවන බවයි, එජාප මන්ත්‍රීවරයා පවසන්නේ.
"යුද්ධයක් කියන්නේ ඕනෑම වෙලාවක අපරාධ වෙන තැනක්. ඒ අපරාධය හැම පැත්තෙන්ම වුනා. අපේ අතිනුත් වුනා. එල්ටීටීයෙන් අති විශාල වශයෙන් වුනා. ඒ නිසා මේ ප්‍රශ්නය නැවත වතාවක් අපේ දරුවන්ට ඉතිරි කළ යුතු නෑ කියන ස්ථාවරයේ තමයි අපි ඉන්නේ"
එජාප මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු
"කවුරු මොනවා කිවුවත් මේ තියෙන්නා වූ එක්සත් ජාතීන්ගේ සංයුතිය තුල යුද අපරාධවලට අපිව කවදාවත් ගොනුකරන්න එතුමන්ලාට හැකියාවක් නෑ. ඒ නිසා යුද අපරාධ සම්බන්ධයෙන් ලංකාවට චෝදනා ඉදිරිපත් කිරීම ගැන අපේ එකඟත්වයක් නැහැ," ඔහු පැවසීය.
යුද්ධයේදී සිදුවූ මහා ව්‍යසනය නැවත වතාවක් නොවීම සහතික කිරීම සඳහා "වෙනස් වූ දර්ශනයකින් කටයුතු කිරීම" තමන් ඇතුළු තරුණ දූත පිරිසේ සංචාරයේ අරමුණ බවද හරීන් පීරිස් මන්ත්‍රීවරයා පවසයි.
"යුද්ධයක් කියන්නේ ඕනෑම වෙලාවක අපරාධ වෙන තැනක්. ඒ අපරාධය හැම පැත්තෙන්ම වුනා. අපේ අතිනුත් වුනා. එල්ටීටීයෙන් අති විශාල වශයෙන් වුනා. ඒ නිසා මේ ප්‍රශ්නය නැවත වතාවක් අපේ දරුවන්ට ඉතිරි කළ යුතු නෑ කියන ස්ථාවරයේ තමයි අපි ඉන්නේ," ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
ශ්‍රී ලංකාවේ දෙමළ ගැටලුවලට දේශපාලන විසඳුමක් අවශ්‍ය නමුත් ඒ සඳහා ජාත්‍යන්තර මැදිහත්වීමක් අනවශ්‍ය බව එජාප මන්ත්‍රීවරයාගේ ස්ථාවරයයි.
ඉන්ටර්නැෂනල් ඇලර්ට් සහ රාජකීය පොදු රාජ්‍ය මණ්ඩලීය සංගමය විසින් සංවිධානය කොට තිබෙන තරුණ මන්ත්‍රී පිරිසගේ මෙම සංචාරය සිදුවන්නේ අදාළ සියලුම පක්ෂවල අනුමැතිය සහිතව බව ද මන්ත්‍රීවරයා කියා සිටියේය.












