
වසා දමනු ලැබූ මැණික් ෆාම් කඳවුරින් ඉවත් කොට කැලයක් මැද පදිංචි කළ යුද අනාථයන් හට ඔවුන් වෙනුවෙන් ගෙනගිය සහනාධාර ලබා ගැනීමට රජයේ යුද හමුදාව අවසර නොදුන් බව දෙමළ දේශපාලන පක්ෂයක් කියා සිටියි.
තම පක්ෂයේ ලේකම් වරයාගේ ප්‍රධානත්වයෙන් සැප්තැම්බර් 30 වැනිදා සීනියාමොට්ටෙයි කැලයට රැගෙන ගිය සහනාධාර ලබා ගැනීමට පැමිණි ජනතාව යුද හමුදාව විසින් ආපසු හරවා යවා ඇතැයි දමිළ ජාතික ජනතා පෙරමුණේ නායක ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් බීබීසී සංදේශයට පැවසුවේය.
මැණික් ෆාර්ම් කඳවුරෙන් ඉවත් කරනු ලැබූ මුලතිවු දිස්ත්‍රික්කයේ කේප්පාපුලවූ ගමේ අනාථ භාවයට පත් පවුල් එකසිය දහයක් පදිංචි කර ඇත්තේ සීනියාමොට්ටෙයි කැලය මැදයි. තමන් මෙම පවුල්වල සිටින පුද්ගලයන් තුන් සිය හතලිස් හයකට සහනාධාර රැගෙන ගිය බවයි ඔහු කියා සිටියේ.
ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම්
"සහනාධාර බෙදා නොදෙන බව ප්‍රකාශ කර ඇති යුද හමුදාව, ආපසු සීනියාමොට්ටෙයි කඳවුරට යන ලෙස සහනාධාර ගැනීමේ බලාපොරොත්තුවෙන් පාර දෙපසට රැස්ව සිටි ජනතාවට දැනුම් දී තිබෙනවා"
"අපි සහනාධාර ගෙනයන බව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට සහ යුද අනාථයන්ට දැනුම් දී තිබුණා" යැයි ද ඔහු සඳහන් කළේය.
"සහනාධාර බෙදා නොදෙන බව ප්‍රකාශ කර ඇති යුද හමුදාව, ආපසු සීනියාමොට්ටෙයි කඳවුරට යන ලෙස සහනාධාර ගැනීමේ බලාපොරොත්තුවෙන් පාර දෙපසට රැස්ව සිටි ජනතාවට දැනුම් දී තිබෙනවා" යැයිද දමිළ ජාතික ජනතා පෙරමුණේ නායකයා පැවසුවේය.
'ඉඳුරාම අසත්‍ය' ප්‍රකාශයක්
තමන් සහනාධාර රැගෙන යන බවට යුද හමුදාව දැනුවත් නොකළ බව කියා සිටි ගජේන්ද්‍ර කුමාර් සිවිල් පරිපාලන කටයුතු සම්බන්ධයෙන් යුද හමුදාවට දැනුම් දීමේ අවශ්‍යතාවක් නැති බවද අවධාරණය කළේය.

කේප්පාපුලවූ ගමේ පවුල් යලි පදිංචි කර ඇත්තේ සීනියාමොට්ටෙයි කැලය මැදයි
සීනියාමොට්ටෙයි හි සිටින යුද අනාථයන් ට සහනාධාර ලබා දීමේ කිසිදු අවහිරයක් පනවා නැතැයි ශ්‍රී ලංකා රජයේ හමුදා බලධාරීහු ප්‍රකාශ කරති.
බී බී සී සංදේශය කළ විමසීමකට පිළිතුරු දෙමින් දමිළ ජාතික ජනතා පෙරමුණ නගන චෝදනා ප්‍රතික්ෂේප කළ හමුදා ප්‍රකාශකයා කියා සිටියේ එය 'ඉඳුරාම අසත්‍ය' ප්‍රකාශයක් බවයි.
ආධාර බෙදා හැරීමට සැප්තැම්බර් 30 වැනිදා පැමිණි පිරිසක් "ඒ කටයුත්ත සාර්ථක ලෙසින් හමාර කොට ආපසු ගිය," බවයි බ්‍රිගේඩියර් රුවන් වනිගසුරිය වැඩිදුරටත් කියා සිටියේ.
මැණික් ෆාම් කඳවුරෙන් ඉවතට ගෙන ගිය කේප්පාපුලවූ අනාථයන් සඳහා මුලතිවු හි වට්රාපලෙයි මහා විද්‍යාලයේ සහ වට්රාපලෙයි කනිෂ්ට පාසලේ පිහිටුවා ඇති තාවකාලික කඳවුරු වෙන් කර ඇති අතර ඉදිරි මාස කිහිපය තුළ ඔවුන් මෙම කඳවුරුවල රඳවා තැබීමට නියමිත බවයි රජය පවසන්නේ.












