දේශපාලන සිරකරුවන් නිදහස් කරවා ගැනීම සඳහා "ජාත්‍යන්තර ව්‍යාපාරයක්"

Mano Ganeshan with Dr Vikramabahu Karunarathne
ඡායාරූප ශීර්ෂ වැකිය, සියලුම එල්ටීටීඊ සැකකරුවන්ට පොදු සමාවක් ලබාගැනීමටත් පියවර ගන්නා බව මනෝ ගනේෂන් පවසයි

ශ්‍රී ලංකාවේ දේශපාලන සිරකරුවන් නිදහස් කරවා ගැනීම සඳහා ජාත්‍යන්තර වශයෙන් ව්‍යාපාරයක් ගෙනයාම ඇතුළු පංචවිධ වැඩ පිළිවෙලකට සංවිධාන ගණනාවක් එක්වී තීරණය කොට තිබේ.

මෙතෙක් කල් දේශපාලන සිරකරුවන් නිදහස් කර ගැනීම සඳහා එක්ව සිටි දේශපාලන පක්ෂ හා සංවිධාන වලට අමතරව තවත් පක්ෂ වෘත්තීය සමිති හා බහුජන සංවිධාන සමග කොළඹදී පැවැති සාකච්ඡාවකදීයි මේ තීරණයට එළැඹී තිබෙන්නේ.

ජනාධිපති සමාවෙන් නිදහස ලැබූ හිටපු හමුදාපතිවරයාත් එක් කොට ගෙන දියත් කිරීමට අපේක්ෂා කැරෙන මෙම ව්‍යාපාරයේදී සියලුම එල්ටීටීඊ සැකකරුවන්ට පොදු සමාවක් ලබාගැනීමටත් පියවර ගන්නා බව, දේශපාලන සිරකරුවන් නිදහස් කරවා ගැනීම සඳහා වන ව්‍යාපාරයේ කැඳවුම් කාර මාණ්ඩලික ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණේ නායක මනෝ ගනේෂන් බීබීසී සංදේශයට කියා සිටියේය.

පොදු සමාවක් දිය නොහැකිනම් ඔවුන් වහාම බන්ධනාගාරයෙන් නිදහස් කොට පුනරුත්ථාපන කඳවුරු වලට මාරු කොට සමාජගත කරන ලෙසත් තමන් ඉල්ලා සිටින බවද හිටපු මන්ත්‍රීවරයා බීබීසී සංදේශයට කියා සිටියේය.

"මේ දේශපාලන සිරකරුවන් අතර තුන් පිරිසක් ඉන්නව. එකක් තීන්දුවක් ලබාගත්ත අය, දෙවැනි කොටස තවමත් නඩු යන අය, තුන්වෙනි කොටස තමයි නඩුවකුත් නෑ තවමත් පොලිස් පරීක්ෂණ අවසන් වෙලත් නැති අය" ඔහු පැවසීය.

"අපේ ඉල්ලීම මේ ඔක්කොටම සමාවක් දෙන්න කියන එකයි," මනෝ ගනේෂන් සඳහන් කළේය.