ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ජැක්ලින් ෆර්නැන්ඩස්: ඉන්දියාවේ මුදල් විශුද්ධිකරණ නඩුවෙන් ඇප
බොලිවුඩ් නිළි ජැක්ලින් ෆර්නැන්ඩස්ගේ මුදල් විශුද්ධිකරණ නඩුවකට අදාළ ඇප පෙත්සමට ඉන්දීය අධිකරණයක් විසින් අද (අඟහරුවාදා) ඇප ලබා දුන්නේය.
පටියාලා හවුස් අධිකරණයේ විශේෂ විනිසුරු ශෛලේන්ද්‍ර මලික් විසින් ජැක්ලින් ෆර්නැන්ඩස්ගේ හට ඇප නියම කළේය. මීට පෙර ඇයට අතුරු ඇප නියම වී තිබුණි.
මෙය විමර්ශනය කරනු ලබන්නේ ඉන්දීය රජයේ මූල්‍ය අපරාධ විමර්ශන අධ්‍යක්ෂ මණ්ඩලය (ED) විසිනි.
ඇයට මූල්‍ය අපචාර චෝදනාවක් එල්ලවී ඇති අතර ඇයව අත්අඩංගුවට ගැනීමට ද අවශ්‍යවී තිබේ.
ෆර්නැන්ඩස්ගේ නීතිඥ ප්‍රශාන්ත් පටිල් එම චෝදනා ප්‍රතික්ෂේප කරන අතර එය පදනම් විරහිත බව අවධාරණය කරයි.
ජැක්ලින් ෆර්නැන්ඩස් යනු කවුද?
37 හැවිරිදි මෙම නිළිය සතු කීර්තිමත් බව නිසා මෙම නඩුව ඉන්දියාවේ සිරස්තලයක් බවට පත් වී තිබේ.
ශ්‍රී ලාංකේය රූ රැජණ තරගාවලියේ ජයග්‍රාහිකාවක් සහ මෝස්තර නිරූපිකාවක් වන ඇය 2009 වසරේ බොලිවුඩයට පිවිස ජනප්‍රිය නිළියක් බවට පත්වේ.
සිනමා විචාරකයින් බොහෝ විට ඇගේ රංගන හැකියාවන් විවේචනය කරන නමුත් ඇය සයිෆ් අලි ඛාන්, අක්ෂේ කුමාර් සහ සල්මන් ඛාන් ඇතුළු දැවැන්ත තරු කිහිපයක් සමඟ ජනප්‍රිය චිත්‍රපටවල රඟපා ඇත.
ඇය ෂාරුක් ඛාන් සහ ප්‍රියංකා චොප්රා සමඟ ඉන්දියාවේ සහ විදේශ වේදිකා සංදර්ශනවලට සහභාගී වී ඇති අතර ජනප්‍රිය නර්තන රියැලිටි වැඩසටහනක විනිසුරුවරියක් ලෙසද කටයුතු කර ඇත.
විශාල වෙළඳ නාම කිහිපයක සන්නාම තානාපතිනියක් වන ඇය, "වඩාත් සිත්ගන්නාසුළු" කාන්තාවන්, "ලෝකයේ සරාගීම ආසියාතික කාන්තාවන්" සහ "වඩාත් ජනප්‍රිය ඉන්දියානුවන්" වැනි ලැයිස්තු වල නිතර දක්නට ලැබේ.
නමුත් පසුගිය වසරේ සිට වංචාකරුවෙකු යැයි කියනු ලබන අයකුගෙන් ලැබුණු මිල අධික තෑගි පිළිබඳ විස්තර නිසා ඇයට එරෙහිව මුදල් විශුද්ධිකරණය පිළිබඳ චෝදනා නැඟී ඇත.
මූල්‍ය අපරාධ විමර්ශන අධ්‍යක්ෂ මණ්ඩලය ඇයව කිහිපවරක් ප්‍රශ්න කිරීම සඳහා කැඳවා, නඩු පවරා, ඇයව දැන් අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය බව අධිකරණය ඉදිරියේ පෙන්වා දෙමින් සිටියි. නමුත් දිල්ලි අධිකරණයක් පැවසුවේ ඇයගේ ඇප ඉල්ලීම සම්බන්ධයෙන් තීරණයක් ගන්නා තුරු ඇයව අත්අඩංගුවට ගත නොහැකි බවයි.
ෆර්නැන්ඩස්ට එරෙහිව ඇති නඩුව කුමක්ද?
පුද්ගලයන් කිහිප දෙනෙකුගෙන් කප්පම් ගැනීම් සම්බන්ධයෙන් චෝදනා ලැබූ, බලධාරීන් හා ඉන්දියානු පුවත්පත්වල අපකිර්තියට ලක්වූ 32 හැවිරිදි සුකේෂ් චන්ද්‍රසේකර් සහ ෆර්නැන්ඩස් අතර පවතින සම්බන්ධතාවය නිසා මෙම නඩුව පැවරී තිබේ.
අධිකරණ ලේඛනවලට අනුව, වෙනත් නඩු සම්බන්ධයෙන් 2018 සිට සිරගතව සිටින චන්ද්‍රශේඛර්ට පසුගිය වසරේ අගෝස්තු මාසයේදී නව පැමිණිල්ලක් ලැබී තිබේ. ඒ, ඔහු 2020 දී ව්‍යාපාරික පවුලකින් ඉන්දියානු රුපියල් බිලියන 2 ක් කප්පම් ගත් බවට වන චෝදනවකි. ඔහුගේ නීතීඥ අශෝක් කේ සිං තම සේවාදායකයාට එරෙහිව ඇති සියලුම චෝදනා ප්‍රතික්ෂේප කර ඇති අතර " මේ සඳහා ඔහු හසුකර ඇතැයි " යනුවෙන් පැවසීය.
පසුගිය වසරේ පෙබරවාරි සිට අගෝස්තු දක්වා කාලය තුළදී චන්ද්‍රසේකර් විසින් ජැක්ලින් ෆර්නැන්ඩස් හට ඉන්දියානු රුපියල් මිලියන 71.2 ක තෑගි දී ඇති බවත්, එයට හෑන්ඩ්බෑග්, ඇඳුම් පැළඳුම්, ස්වර්ණාභරණ, අශ්වයෙක්, ඇගේ සහෝදර සහෝදරියන්ට සහ දෙමාපියන්ට මෝටර් රථ, දේපළ හා මුදල් ද අයත් බව මෙම නඩුව විභාග කිරීමේදී සොයා ගත් බව නිලධාරීහු පවසති.
ෆර්නැන්ඩස් ත්‍යාග ප්‍රතික්ෂේප නොකරන නමුත් ඇයගේ නීතීඥ පටිල් මහතා පවසන්නේ ඇය සංකීර්ණ අපරාධයක "ගොදුරක්" බවයි.
ඔවුන්ගේ සම්බන්ධකම
නඩු ලේඛනවලට අනුව, චන්ද්‍රශේඛර් 2020 දෙසැම්බරයේ දී ප්‍රථම වරට ෆර්නැන්ඩස් වෙත සමීප වී ඇත්තේ පිංකි ඉරානි හරහාය. (ඉන් වසරකට පසු චන්ද්‍රශේඛර් සමඟ සම්බන්ධකම් පැවැත්වීම නිසා පිංකි ඉරානි අත්අඩංගුවට ගැණුනු අතර, පසුව ඇප මත නිදහස් කෙරුණි.) නමුත් ෆර්නැන්ඩස් ඔහු කෙරෙහි උනන්දුවක් දැක්වූයේ නැත.
ඇය ප්‍රථමයෙන් ඔහුට කතා කළේ 2021 ජනවාරි මස අවසානයේදී ඇයගේ කාර්ය මණ්ඩලයට ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍යාංශයෙන් ඇමතුමක් ලැබීමෙන් පසුව යි. ඒ, චන්ද්‍රශේඛර් වැදගත් නිලධාරියෙකු බැවින් ඔහුට කතා කළ යුතු බව පවසමිනි. විමර්ශකයින් පවසන්නේ මෙය චන්ද්‍රශේඛර්ගේ අංකය ස්වදේශ කටයුතු අමාත්‍යාංශයට අයත් බව පෙන්වූ "වංචනික ඇමතුමක්" බවයි.
ෆර්නැන්ඩස් පවසන්නේ ඔහු තමා දකුණු තමිල්නාඩු ප්‍රාන්තයේ ඉහළම දේශපාලන පවුලක සහායකයෙකු බවත්, ප්‍රසිද්ධ ප්‍රවෘත්ති රූපවාහිනී නාලිකාවක් සහ විශාල ස්වර්ණාභරණ සමාගමක හිමිකරුවෙක් බවත්, ඇය ප්‍රධාන කරගත් ස්ට්‍රීමිං සේවාවක් නිෂ්පාදනය කිරීමට තමා උනන්දු වන බවත් පැවසූ බවයි.
ඔහු සිරගත කර සිටියදී, සමාව මත දකුණු චෙන්නායි නගරයේ තම මාමාගේ අවමංගල්‍යයට සහභාගී වීමට ගිය අවස්ථා දෙකක දී ඇයව මුණගැසී තිබුණි.
ෆර්නැන්ඩස් සමඟ ඔහු නිතරම වීඩියෝ ඇමතුම් ගත් නිසාත්, පෞද්ගලික ජෙට් යානාවල ගමන් කරන වීඩියෝ දර්ශන ඇයට එවා ඇති නිසාත් ඔහු සිරගතව සිටින බවක් ෆර්නැන්ඩස් නොදැන සිටි බව පටිල් මහතා අවධාරණය කරයි.
ෆර්නැන්ඩස් චන්ද්‍රසේකර් සමඟ සබඳතාවක් පැවැත්වූ බව පටිල් ප්‍රතික්ෂේප කරයි. "මේ ඊට පෙර කාලය. [එනම්,] ඔහු ඇය පස්සේ එමින් ඇගේ දෙමාපියන් සහ සහෝදර සහෝදරියන් පුදුම කරවන්න මිල අධික තෑගි ලබා දෙමින් සිටියා. ඇය ඔහු ගැන සලකා බලමින් සිටියේ."
උසාවි ලේඛනවලට අනුව, ඔහු ඇගේ නමේ මුල් අකුර සහිත දියමන්ති මුද්දක් ටිෆනි වෙතින් මිලදී ගෙන තෑගි කර, විවාහ යෝජනා කර තිබේ.
ජනවාරි මාසයේදී, මෙම යුවළගේ සමීප ඡායාරූප සමාජ මාධ්‍යවල ජනප්‍රිය විය. ඊට පිළිතුරු ලෙස ඇයගේ රසිකයන්, මිතුරන් සහ මාධ්‍ය වෙත ආයාචනා කරමින් ෆර්නැන්ඩස් තම ඉන්ස්ටග්‍රෑම් පිටුවේ පළ කළේ, ඇයගේ පෞද්ගලික ජීවිතයට අනවසරයෙන් ඇතුළු නොවන ලෙසය.
විමර්ශකයන් පවසන්නේ කුමක්ද?
නිලධාරීන් පවසන්නේ ෆර්නැන්ඩස් සම්බන්ධය ආරම්භයේදීම ඔහු ගැන දැන සිටි බව යි. මන්ද, පසුගිය වසරේ පෙබරවාරි 12 වැනි දින චන්ද්‍රසේකර් කළා යැයි කියන අපරාධ ක්‍රියාවන් පිළිබඳ ලිපි ඇයගේ කාර්ය මණ්ඩලය ඇයට එවා තිබුණි.
නමුත් නිළිය පවසන්නේ තමා ඉරානි මහත්මියගේ වචන විශ්වාස කළ බවයි. "ඇය චන්ද්‍රසේකර් වසර 13 ක් තිස්සේ දැන සිටි බවත්, ඔහු ඉතා හොඳ පවුලක අයෙකු බවත්, පුවත්පත් ලිපි ඔහුගේ දේශපාලන ප්‍රතිවාදීන් විසින් ප්‍රචාරය කරන ලද ව්‍යාජ ප්‍රවෘත්ති" බවත්, දින කිහිපයකට පසුව ඔහු සමඟ නැවත සබඳතා ගොඩනඟා ගත් බවත් ය. සිරගතව සිටියදී ඔහු නැවත පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලද පුවත දැකීමෙන් පසු තමා පසුගිය වසරේ අගෝස්තු මාසයේදී ඔහුගෙන් ඈත් වූ බව ඇය පවසයි.
නමුත් නිලධාරීන් පවසන්නේ ඇය "ඔහුගේ සාපරාධී අතීතය නොසලකා හැර දිගටම ඔහුගෙන් තෑගි භාර ගෙන තිබෙනවා. එයින් අදහස් වෙන්නේ ඇයට අපරාධවලින් ආදායම් ලැබෙන" බව යි.
එසේම ඇය තොරතුරු වසන් කිරීම, ඔවුන් නොමඟ යවමින් සහ නඩුවේ සාක්ෂියක් ලෙස යොදාගත හැකිව තිබූ ඇයගේ දුරකථනයෙන් පණිවිඩ මකා දැමීම සම්බන්ධයෙන්ද ඔවුන් ඇයට චෝදනා කරයි.
ඇයට කීමට ඇති සමාවට කරුණු මොනවාද?
පටිල් පවසන්නේ ෆර්නැන්ඩස් චන්ද්‍රසේකර් වංචාකාරයෙකු බව දැනගත් විට ඇති වූ කම්පනය නිසා මැසේජ් මකා දැමූ බවයි.
"මේවා ප්‍රසිද්ධ පුද්ගලයකුගේ පුද්ගලික පණිවිඩ. ඇය මිනිසුන් දකිනවාට අකමැති පින්තූර එහි තිබුණා. ඇයගේ පුද්ගලික ඡායාරූප පස්සේ යන්න බැහැ. ගැහැනියකගේ ගෞරවය ආරක්ෂා කරන්න ඕන."
ෆර්නැන්ඩස් යනු "අනෙක් අය වගේම චන්ද්‍රසේකර් සම්බන්ධ බොරුවලට ගොදුරු වූ කෙනෙක්," පටිල් කියයි. ඔහු වැඩිදුරටත් පවසන්නේ මුදල් විශුද්ධිකරණය පිළිබඳ චෝදනා හෝ අපරාධවලින් මුදල් ඉපයූ බවට වන චෝදනා ෆර්නැන්ඩස් වැන්නකුට නොගැලපෙන බවත් ය.
"ශ්‍රේෂ්ඨාධිකරණය කියන්නේ අපරාධ ගැන දැනගෙන හිටපු එක වැදගත් කරුණක් කියලා. ඒත් චන්ද්‍රසේකර් අපරාධයකට සම්බන්ධ බව ජැකලින් දැන සිටියේ නැහැ. සමහරවිට ඇය කළ දේ සදාචාරාත්මකව වැරදි යැයි කියන්න පුළුවන්, නමුත් එය නීත්‍යානුකූලව වැරදි කියලා ඔබට කියන්න පුළුවන් ද?"
"මේ නඩුව පදනම් විරහිතයි. ඇයට අධිකරණයෙන් සාධාරණයක් වේවි කියලා මම හිතනවා," ඔහු පවසයි.