කේරළයේ පිරිමින් මේ දිනවල දී අත්විඳින ඔසප් වේදනා

The #feethepain event in Kochi's Lulu Mall

ඡායාරූප මූලාශ්‍රය, Cup of Life

ඡායාරූප ශීර්ෂ වැකිය, මෙම ඔසප් වේදනා සිමියුලේටරය එර්නාකුලම් දිස්ත්‍රික්කයේ වෙළඳ සංකීර්ණවල සහ විද්‍යාලවල පිහිටුවා ඇත

ඔසප්වීම සහ ඒ සමඟ ඇතිවන අපහසුතා තවමත් ඉන්දියාවේ බොහෝ ප්‍රදේශවල කතාබහට තහනම් මාතෘකාවකි.

නමුත් දකුණු ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ සමාජ ව්‍යාපාරයක් එය වෙනස් කිරීමට උත්සාහ දරයි. ඒ පිළිබඳ කතාබහ කිරීම සාමාන්‍යකරණය කිරීමෙහි එක් පියවරක් ලෙස, වැඩසටහනේ සංවිධායකයින් විසින් පිරිමින්ට ද ඔසප් වේදනාව අත්විඳීමට ඉඩ සලසන සිමියුලේටර් උපකරණ කේරළයේ එර්නාකුලම් දිස්ත්‍රික්කයේ සාප්පු සහ විද්‍යාල වෙත ගෙනයෑම සිදුකරයි.

පිරිමින් එම වේදනාව විඳිමින් ඇඹරෙමින්, කෑගසමින් සිටිය දී කාන්තාවන් එය විනෝදයෙන් නරඹන ආකාරය ඔවුන්ගේ මෑතකාලීන ප්‍රචාරණ වීඩියෝවක දකින්නට ලැබුණි.

"ඒක හෙනම වේදනාකාරී යි. මට නම් ආයෙ කවදාවත් ඒ වේදනාව අත්විඳින්න ඕන නැහැ," සාප්පු සංකීර්ණයක දී ඔසප් සිමියුලේටරය අත්හදා බැලූ සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයකු වන ෂරන් නායර් පවසයි.

මෙම සිමියුලේටරය 'කප් ඔෆ් ලයිෆ්' නම් ව්‍යාපෘතියේ කොටසකි. එය මෙන්ස්ටෘවල් කප් (එනම්, ඔසප් සමයේ දී පිටවන රුධිරය එකතුකර ගැනීම සඳහා යෝනි මාර්ගය තුළ රඳවාගන්නා ඉතා කුඩා, නම්‍යශීලී සිලිකන් කෝප්පය) නොමිලේ බෙදාහැරීම සහ ඔසප්වීම වටා ගෙතුණු මිථ්‍යාවන් බිඳ දැමීමට කටයුතු කරන ව්‍යාපාරයකි. මෙය දේශීය වෛද්‍යවරුන් නියෝජනය කරන ඉන්දීය වෛද්‍ය සංගමය (IMA) සමඟ කොංග්‍රස් පක්ෂයේ ප්‍රාදේශීය දේශපාලකයෙකු වන හිබී ඊඩන් විසින් දියත් කෙරුණක් වෙයි.

Skip Instagram post
Instagram අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ Instagram විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Instagram කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of Instagram post

Presentational grey line

ඔසප්වීම සම්බන්ධ ගැටලු වැනි කාන්තා සෞඛ්‍යය සම්බන්ධ කාරණා ඉන්දියාව තුළ ඉතා අඩුවෙන් සාකච්ඡා කෙරෙන මාතෘකා ය. තවමත් බොහෝ ප්‍රදේශවල දී, ඔසප් සමය තුළ කාන්තාවන් අපිරිසිදු හෝ කිළිබවට සලකනු ලබන අතර, එකලට සමාජ හා ආගමික අවස්ථාවන්ගෙන් පමණක් නොව, මුළුතැන්ගෙයින් පවා ඈත්කර තැබේ.

නාගරික ප්‍රදේශවල මෙම ආකල්පය මඳක් වෙනස්වී ඇතත්, බොහෝ කාන්තාවන්ට තම මාසික ඔසප්වීම හෝ ඒ සමඟ ඇති වන දැඩි වේදනාව තම සේවායෝජකයන් හෝ පවුලේ පිරිමි සාමාජිකයන් සමඟ පවා සාකච්ඡා කිරීමට නිදහසක් නැත. ලොව පුරා සහ ඉන්දියාවේ ඇතැම් සමාගම් ඔසප් නිවාඩු ලබාදීම අරඹා තිබෙන නමුත් ඒ සම්බන්ධයෙන් ද පළවන්නේ එකිනෙකට වෙනස් මතයන් ය.

එහෙත් මෙම වැඩසටහනේ සංවිධායකයන් බලාපොරොත්තු වන්නේ ඉන්දියාවේ වඩාත්ම ප්‍රගතිශීලී ප්‍රාන්තවලින් එකක් ලෙස සැලකෙන කේරළයේ වෙනසක් සිදුකළ හැකි බව යි.

අර්ථවත් සංවාද දිරිමත් කිරීමට සහ එවැනි ආකල්ප වෙනස් කිරීමට "පහසුම ක්‍රමය" සිමියුලේටරයබව #feelthepain සංවිධානය කළ නීතීඥ සැන්ඩ්‍රා සනී පවසන්නී ය.

"විශ්වවිද්‍යාල සිසුන්ගෙන් ඔසප් වේදනාව ගැන දන්නේ මොනවා ද කියලා ඇහුවාම, එයාලා ඒ ගැන කතා කරන්න මැලිවෙනවා. නමුත් සිමියුලේටරය භාවිතා කළාට පස්සේ, 'ඔවුන් කා එක්කවත් පීරියඩ්ස් ගැන කතා කරලා තියෙනවා ද, ඒ ගැන කතා කරන්න පැකිළෙන්නේ ඇයි' වගේ ඒවා අහද්දි එයාලා උත්තර දෙන්න ඉදිරිපත් වෙනවා," ඇය පවසයි.

The dial of the pain simulator

ඡායාරූප මූලාශ්‍රය, Cup of Life

ඡායාරූප ශීර්ෂ වැකිය, වේදනා මට්ටම 1 සිට 10 දක්වා වැඩිකළ හැකි ඩයලයක් සිමියුලේටරය සතු ය

සිමියුලේටරය වෙත පුද්ගලයන් දෙදෙනෙකුට එකවර සම්බන්ධවිය හැකි අතර, වේදනා මට්ටම 1 සිට 10 දක්වා වැඩි කළ හැකි ය.

එය උත්සාහ කළ ගැහැණු ළමයින්ට "කිසිවක් නොදැනුනු තරම්" නමුත්, "මාත් ඇතුලුව අනිත් කොල්ලෝ ගොඩනැගිල්ල බිමට සමතලා වෙන තරමට හයියෙන් කෑගැහුවා," නායර් කියා සිටියේ ය.

සංවිධායකයින් පවසන්නේ සිමියුලේටරය එර්නාකුලම් දිස්ත්‍රික්කයේ විද්‍යාල තුළ ද ඔසප්වීම පිළිබඳව අවංක සංවාද බිහිකළ බව යි.

පෞද්ගලික විද්‍යාලයයක දී සිමියුලේටරය අත්හදා බැලූ සිසුන් දෙදෙනෙක් පැවසුවේ තමන්ට වේදනාව දරාගත නොහැකිවූ බවකි. "එයාලා එකසැරේම කෑගැහුවා, 'ඕක ඕෆ් කරන්න!' කියලා," ශිෂ්‍ය සංවිධායකයෙකු වන සීනාත් BBCයට පැවසීය.

මෙය සාමාන්‍ය ප්‍රතිචාරයකැ යි IMAහි ප්‍රාදේශීය අංශයේ සමලේකම් සහ කප් ඔෆ් ලයිෆ් ව්‍යාපාරයේ සම්බන්ධීකාරක ආචාර්ය අඛිල් මැනුවෙල් පැහැදිලි කරයි.

"සිමියුලේටරයෙන් සම්ප්‍රේෂණය කරන්නේ සැබෑ වේදනාවෙන් 10%ක් පමණක්වුණත්, පිරිමි අයට 4 වැනි වේදනා මට්ටමෙන් එහාට යන්න බැහැ. කාන්තාවන් 9 [මට්ටමේ දී] දි පවා කිසි ගාණක් නැතුව ඉන්නවා," ඔහු පවසයි.

වසර ගණනාවක් තිස්සේ එවැනි දරුණු වේදනාවක් අත්විඳීම කෙතරම් අපහසු කටයුත්තක්දැ යි තේරුම් ගැනීමට සිමියුලේටරය පිරිමින්ට උපකාර කරනබව නීතිඥ සනී පවසයි: "ඒක යන්ත්‍රයක් නිසා එයාලට ඒක නවත්වලා දාන්න පුළුවන්. ඒත් අපට එහෙම කරන්න බැහැ."

ඔසප් වේදනා සිමියුලේටර් නිසා ඉන්දියානු පිරිමින් වේදනාවට පත්වූ පළමු අවස්ථාව මෙය නොවේ. පසුගිය වසරේ, ලාභ නොලබන සංවිධානයන් දෙකක් උතුරු ඉන්දියාවේ ඔසප්වීම තේමා කරගත් සැණකෙළියක දී එවැන්නක් ඉදිරිපත් කළේ ය. එතැන් පටන්, විශේෂයෙන්ම පිරිමින් සහභාගී කරවාගත් ඔසප්වීම පිළිබඳ ජනතාව දැනුම්වත් කිරීමේ වැඩමුළුවල දී ඒවා භාවිතාකර තිබේ.

"සිමියුලේටරය ලැජ්ජාව නැති කරන්න සහ මිනිසුන්ට [ඔසප් වීම ගැන] කතාබහක් අරඹන්න උදව් කරනවා", ආචාර්ය මැනුවෙල් පවසයි.

Cup of Life campaign on Kochi Metro

ඡායාරූප මූලාශ්‍රය, Cup of Life

ඡායාරූප ශීර්ෂ වැකිය, සිමියුලේටරය, ඔසප්වීම සම්බන්ධයෙන් පැවැත්වෙන විශාල දැනුවත්කිරීමේ ව්‍යාපාරයක කොටසකි

මෙය නව අදහසක් ද නොවේ. ගෙවුණු ජූලි මාසයේ දී, එක්සත් ජනපදයේ ඔසප්වීම හා බැඳි සනීපාරක්ෂක නිෂ්පාදන නිපදවන සමාගමක් වන Somedays විසින්, කාන්තාවන් කෙරෙහි සහකම්පනය වැඩිදියුණු කිරීම සඳහා මෙවන් සිමියුලේටරය භාවිතා කිරීමට පිරිමින් දිරිගැන්වී ය. එම අත්හදාබැලීම් දැක්වෙන Tiktok වීඩියෝවලට නැරඹුම් මිලියන ගණනක් ලැබී තිබේ.

ඊඩන් පවසන්නේ, කුම්බලාංගි නම් ගම්මානයේ කාන්තාවන්ට නොමිලේ මෙන්ස්ටෘවල් කප් දහස් ගණනක් පරිත්‍යාග කිරීමේ වැඩසටහනක දී දිස්ත්‍රික්කයකම ආවරණය වන වැඩසටහනක් සිදුකළ යුතුයැ යි සිතුණු බව යි. මේ වසර මුල දී, කේරළ ආණ්ඩුකාරවරයා ඉන්දියාවේ සනීපාරක්ෂක තුවා භාවිතාවෙන් තොර ප්‍රථම ගම්මානය ලෙස කුම්බලාංගි ප්‍රකාශයට පත්කළේ ය.

මීට සිව් මසකට පෙර ආරම්භ කළ කප් ඔෆ් ලයිෆ් ප්‍රචාරණ වැඩසටහන බදාදා අවසන් වන්නේ මෙන්ස්ටෘවල් කප් ලක්ෂයක් බෙදාදී ලෝක වාර්තාවක් බිහිකිරීමේ අරමුණත් සමඟය.

නමුත් සිය ප්‍රධාන අරමුණ වන්නේ ජනතාවට විවෘතව ඔසප්වීම ගැන කතාබහ කළ හැකි, සෞඛ්‍යසම්පන්න, ප්‍රගතිශීලී ආකල්ප ඇතිකිරීම බව ඊඩන් පවසයි.

ආචාර්ය මැනුවෙල් පවසන්නේ රට පුරා දේශපාලකයින් සහ සංවිධාන මෙම ව්‍යාපාරයට පිළිබඳ උනන්දුව පළකර ඇති අතර, එය සිය ප්‍රජාවන් අතර ද සිදුකරන ක්‍රමවේදයක් පිළිබඳ අසා ඇති බව යි. නමුත් ඔහු අවවාදයක් ද ලබාදෙයි.

"මිනිස්සු එක්ක වැඩ කරලා, එයාලා සිතන පතන විදිහ ගැන තේරුම් අරගෙන, ඊට පස්සේ මේ සංවාදය ගෙනියන්න ඒකට ගැලපෙන ක්‍රමයක් හොයාගන්න ඕන."