අර්බුද සමයේ දරු ප්‍රසූතියට සුදානම් වන ඔබ අනිවාර්යයෙන් දැනගත යුත්තේ මොනවද?

Caucasian pregnant woman in black lingerie with abdominal pain on gray studio background. Pregnancy concept with copy space

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

    • Author, අමන්දා අබේසූරිය
    • Role, බීබීසී සිංහල

ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් දරුණුම චිත්ත පීඩාවකට පත්ව සිටින්නන් පිරිසක් වන්නේ ගර්භනී මවුන් ය.

තමාට අවැසි පෝෂණය හා ප්‍රතිකාර ලබාගැනුමට හැකිවේ ද, ප්‍රසූතිය ආරක්‍ෂිතව හා පහසුවෙන් සිදුවනු ඇත්ද, ඉපදීමට නියමිත දරුවාට අවශ්‍ය එන්නත් හා ඖෂධ සපයාගන්නේ කෙසේ ද යන බිය ඔවුන් පෙළයි.

පවතින ඉන්ධන හිඟකම ද රටෙහි අවිනිශ්චිත ආර්ථික තත්ත්වය ද නිසාවෙන්, නුදුරු අනාගතයේ ප්‍රසූතියට සැරසෙන ගර්භනී මවුහු තමාට කලට වේලාවට රෝහලට යෑමට හැකිවේ ද යන කණස්සල්ලෙන් ද පසුවෙති.

ප්‍රවාහන ගැටලු මතුව ඇති මෙසමයේ දරු ප්‍රසූතිය සඳහා සැරසිය යුත්තේ කෙසේ ද, අවදානම කුමක් ද, විශේෂයෙන් සැලකිලිමත්ව සිටිය යුතු කරුණු මොනවා ද යන්න පිළිබඳ මෙම ලිපිය හරහා ඔබ දැනුවත්කර ඔබට සහායක් වීම අපගේ අරමුණ යි.

නිවසේ දී දරු ප්‍රසූතිය අවදානම්!

මේ දිනවල දරු ප්‍රසූතියට සූදානම් වන මවුන් විශේෂයෙන් සිහිතබාගත යුතු කාරණාවක් වන්නේ නිවසේ දී දරු ප්‍රසූතිය සිදුකිරීම ඉතාම අවදානම් සහගතබව යි.

දරු ප්‍රසූතිය සඳහා සුදුසු හා ආරක්ෂිත ස්ථානය වන්නේ ඒ සඳහා පුහුණු කාර්යය මණ්ඩලයක් සිටින, අවශ්‍ය උපකරණ හා පහසුකම් ඇති රෝහල යි.

නිවසේ දී සිදුවන දරු ප්‍රසූතියෙන් මවගේ මෙන්ම දරුවාගේ ජීවිතයට ද ඉහළ සෞඛ්‍යමය අවදානමක් ඇතිවිය හැකි ය. ප්‍රසූතියේ ඇතැම් සංකූලතා මාරාන්තික වේ.

ප්‍රසව හා නාරි විශේෂඥ වෛද්‍ය විජිත් විද්‍යාභූෂණ මෙම අවදානම අප වෙත විස්තරකර දුන්නේ ය.

"ඕනෙම ඩිලිවරි එකක රිස්ක් එකක් තියෙනවනේ? මොනවා ද? [බබාගේ] හාට්බීට් අඩුවෙන්න පුළුවන්, පෙකණිවැල එතෙන්න පුළුවන්, බබා ඉන්නේ හරහට නම්, බබා තට්ටමෙන් නම් ඉන්නේ එතකොට බබා ගන්න අමාරුවෙන්න පුළුවන් - තට්ටමෙන් ඉන්න බබෙක්ව [ගන්න] සාමාන්‍යයෙන් සීසර් කරනවා. ලේබර් එකේ දී ඇතිවෙන්න පුළුවන් ප්‍රශ්න, හාට්බීට් අඩුවෙන එක මොනිටර් කරන්න බැහැ, ඒ කියන්නේ බබාට කොහොමද කියලා මොනිටර් කරන්න බැහැ.

"ඊළඟට, අම්මා කෙනෙකුට වෙනත් කම්ප්ලිකේෂන් (සංකූලතා) තියෙනවා නම් අධික රුධිර පීඩනය වගේ, දියවැඩියාව එහෙම තියෙනකොට එහෙම එතකොට ප්‍රසූතියේ ප්‍රශ්න ඇතිවෙන්න පුළුවන්... ප්‍රසූතියේ දී එතකොට ඉරුණොත් ගොඩාක් බ්ලීඩ් වෙන්න පුළුවන්. ඒ වගේම, සමහර වෙලාවට පසු ප්‍රසව රුධිර වහනය වෙන්න පුළුවන්. ඒක එහෙම වුණොත් අපි මැනේජ් කරන්න ඕන ඒක බෙහෙත් දීලා, බෙහෙත් ජාති ගොඩාක් විදිනවා. විදලා හරියන්නේ නැත්නම් තදින් මසාජ් කරනවා, කරලා ගර්භාෂය සංකෝචනය වෙන්න පුළුවන් ද බලනවා. ඊළඟට වැදෑමහ - බබා හම්බුණාට පස්සේ - ඒක ගත්තට පස්සේ බ්ලීඩින් එන්න පුළුවන්," විශේෂඥ වෛද්‍ය විද්‍යාභූෂණ අප වෙත පැහැදිලි කළේ ය.

සෞඛ්‍ය අමාත්‍යංශය ද නිවෙස් ප්‍රසූති නිර්දේශ නොකරන අතර, එවැනි තත්ත්වයක් ඇති නොවීම සඳහා ගර්භනී මව්වරුන් තම ප්‍රදේශයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය සමඟ කල්තබා සාකච්ඡාකොට සුදුසු සැලසුම් සකස්කරගත යුතුයැ යි උපදෙස් දෙයි.

මේ වන විට විදෙස් රටවල නිවසේ දී දරු ප්‍රසූතිය සිදුකෙරුන ද ඒවා ශ්‍රී ලංකාව හා සංසන්දනය කළ නොහැකිබව වෛද්‍ය විද්‍යාභූෂණ අප හා ප්‍රකාශ කළේ ය.

"ඒගොල්ලන්ගේ ඇම්බියුලන්ස් තියෙනවා, මෙඩිකල් ටීම් එක ඉතාමත්ම හොඳ යි, හොඳ දක්ෂ යි. ඒ වගේම අඩු රිස්ක් එකක්, රිස්ක් එක අඩු අයට තමයි ඒගොල්ලන්ගේ හෝම් ඩිලිවරීස් කරන්නේ. දැන් අපේ හෝම් ඩිලිවරි එකක් කරන එක කිසිසේත්ම අනුමත කරන්න බැහැ අපේ තියෙන පහසුකම් සහ හැමදෙයක්ම එක්ක. මොකද මේ කාලේ හෝම් ඩිලිවරි කරන්න යන්නේ හොස්පිටල් එකට එන්න බැරි නිසා, සම්පත් නැති නිසා. ඒක ඉතාමත්ම අවදානම්. හැමවෙලේම තමන් බලන්න ඕනේ හොස්පිටල් එකට යන්න," ඔහු තරයේ අවධාරණය කළේ ය.

රෝහලෙන් පිටත දී සිදුවන ප්‍රසූතියට වඩා ගබ්සාවක් සිදුවීම භයානක විය හැකිබව මාතෘ හා ළමා සෞඛ්‍ය උපදේශිකා ශ්‍යාමලී පතිරගේ අප හා ප්‍රකාශ කළා ය.

"දැන් බබෙක් හම්බවුණාම ඉබේම වැදෑමහ ගැලවිලා අයින්වෙනවා. එතකොට බබා නිරුපද්‍රිතව ඉන්නවද නැද්ද කියන එක තීරණය වෙන්නේ ඒ බබාට ලැබෙන සහායත් එක්ක. නමුත් ඇබෝෂන් එකක් වුණොත් ඊට වඩා හුඟක් භයානක යි, මොකද වැදෑමහ ඉබේ ගැලවෙන්නේ නෑ ඇබෝෂන් එකක් වුණොත්. ලේ ගිහිල්ලා මැරෙන්න පුළුවන් අම්මා කෙනෙක්. ඒක තමයි ප්‍රධාන භයානක තත්ත්වය," ඇය අනතුරු අඟවයි.

ඉහත ප්‍රකාශිත සංකූලතාවන් බහුතරය වළකාගෙන මාතෘ හා ළදරු මරණ අනුපාතය අවමකර ගැනීමට ශ්‍රී ලංකාව සමත්ව සිටින්නේ දැනට ලංකාවේ දරු ප්‍රසූතීන්ගෙන් 99.9%ක්ම රෝහල් තුළ සිදුවන හෙයිනි. දකුණු ආසියාවේ අඩුම මාතෘ මරණ අනුපාතය ද ශ්‍රී ලංකාව සතු ය.

Government advice on childbirth 27.06.2022

ඡායාරූප මූලාශ්‍රය, Health Promotion Bureau

ඡායාරූප ශීර්ෂ වැකිය, රජයේ දැනුම්දීම

ඔබේ ගර්භනීභාවය ගැන අවබෝධයෙන් සිටින්න

වර්තමාන අර්බුදය හේතුවෙන් වෙනදා රජය ගර්භනී මවුන් වෙත සපයන සෞඛ්‍ය, වෛද්‍ය හා අනෙකුත් සේවා එයාකාරයෙන්ම සැපයීමට අපහසු තත්ත්වයක් උදාවී තිබේ.

මෙනිසා සියලු ගර්භනී මවුන් සිය ගර්භනීබව පිළිබඳ මනා අවබෝධයෙන් ද, ප්‍රසූතිය සඳහා සූදානමෙන් ද සිටීම වැදගත්යැ යි මාතෘ හා ළමා සෞඛ්‍ය උපදේශිකා පතිරගේ පවසන්නී ය.

තමා සාමාන්‍ය සහ සැලසුම් කළ ප්‍රසූතියක් සිදුකරන්නේ ද, හදිසි ප්‍රසූතියක් සිදුකිරීමේ අවදානමක් තමාට ඇත්ද, සිසේරියන් සැත්කමක් සිදුකිරීමට සූදානම් වන්නේ ද, තමාට ඇති රෝග තත්ත්වයන් මොනවා ද, මින් පෙර ප්‍රසූතිවල දී මොනයම් හෝ ගැටළු මතුවී ඇත්ද යන කාරණා ද ඇතුළුව තමාගේ තත්ත්වය පිළිබඳ තම දැනුම් ප්‍රමාණයට සරිලන අවබෝධයක් සෑම මවක්ම ලබාගත යුතුබව ඇය ප්‍රකාශ කරයි.

ඇගේ යෝජනාව පරිදි, ගැබට සති 28 සම්පූර්ණව සිටින මවුන් පිළිපැදිය යුතු උපදෙස් මාලාවකි:

  • නිවසෙන් බැහැරට යන සෑම අවස්ථාවක දීම ගර්භනී මව් සටහන්පත තමා සන්තකයේ තබාගත යුතු ය. හදිසි අවස්ථාවක දී ගර්භනී මවගේ සෞඛ්‍ය තත්ත්වය සහ රෝග මත ඇය ඇතුළත්කළ යුත්තේ කුමන රෝහලටදැ යි තීරණය කිරීමට මෙම සටහන්පත වැදගත් වෙයි. ඊට අමතරව පෙකණි කටුවක් සහ හදිසි අවස්ථාවක දී තමාටත් දරුවාටත් අත්‍යවශ්‍ය විය හැකි ඇඳුම් වැනි දේ බහාලූ බෑගයක් තමා වෙත තබාගත යුතු ය.
  • සෑමවිටෙක දීම හදිසි අවස්ථාවක දී අවැසි විය හැකි දුරකථන අංක (උදාහරණ ලෙස තම ප්‍රදේශයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියගේ අංකය) තම දුරකථනයේ සේව්කර තබාගත යුතු ය.
  • තනිව ගමන්බිමන්හි නොයෙදිය යුතු ය. හැකි සෑමවිටම ඥාතියෙකු, මිතුරෙකු හෝ අවම වශයෙන් දැනුම් තේරුම් ඇති දරුවෙකු හෝ තමාගේ ගමනට සහභාගීකර ගත යුතු ය. පයින් ගමනේ නොයෙදිය යුතු ය.
  • ගමනක යෙදීමට පෙර, තමාගේ ගමනාන්තය වන ප්‍රදේශයේ දී ප්‍රසූතිය ඇරඹුනහොත් උපකාර ගතයුත්තේ කාගෙන්දැ යි ප්‍රථමයෙන් සොයාබැලිය යුතු ය. උදාහරණ ලෙස, ඒ අවට රෝහලක් තිබේ ද, ගිලන්රථ පහසුකම හෝ වෙනත් ප්‍රවාහන පහසුකමක් සපයාගත හැකි ද, අත්‍යවශ්‍ය විය හැකි දුරකථන අංක මොනවා ද යන්න ගමනට පෙර සොයාබැලිය යුතු ය.

"හැකි නම් ග්ලවුස් දෙකක් බෑග් එකට දාලා තියාගන්න, මොකද [හදිසියක දී] එයාට සහයට එන කෙනාට ඒ ග්ලවුස් දෙක දෙන්න පුළුවන්," මාතෘ හා ළමා සෞඛ්‍ය උපදේශිකා පතිරගේ වැඩිදුරටත් සඳහන් කළා ය.

"ඒ වගේම, අම්මට වඩා තාත්තා දැනුවත්ව ඉන්න ඕනේ. අම්මා කියන්නේ ප්‍රසූතියට මුහුණදෙන කෙනානේ, අනිවාර්යයෙන් රිස්ක් එක ගන්න කෙනා, බයවෙන කෙනා, එයාට සිහිය නැතිවෙන්න පුළුවන්; ඒක නිසා ස්වාමි පුරුෂයා පුළුවන් තරම් දැනුවත් වෙන්න ඕනේ... පුළුවන් තරම් හස්බන්ඩ් අම්මා ගාණනටම ඒ දැනුම ලබාගත යුතු යි. අම්මා ගමනක් එක්ක යනවා නම් තාත්තා අනිවාර්යයෙන් යන්න," ඇය යෝජනා කරයි.

දරු ප්‍රසූතිය ඇරඹී ද?

ඇතැම්විට ගර්භනී කාන්තාව බලාපොරොත්තු නොවන මොහොතක ප්‍රසූති වේදනා ඇරඹීමට හැකි ය. මෙනිසා, ප්‍රසූති වේදනාව ගර්භනී සමයේ දී ඇතිවන සාමාන්‍ය කැක්කුම් සහ වේදනාවන්ගෙන් වෙන්කොට හඳුනාගැනීමට දැනුවත්ව සිටිය යුතු ය.

ගර්භනී සමයේ අවසානභාගයේ දී ගර්භනී මවුන්ට කැක්කුම් වර්ග දෙකක් ඇතිවන්නේයැ යි සෞඛ්‍ය උපදේශිකා පතිරගේ සඳහන් කළා ය. මේවා 'සත්‍ය ප්‍රසව වේදනා' සහ 'ව්‍යාජ ප්‍රසව වේදනා' යනුවෙන් හැඳින්වේ.

ව්‍යාජ ප්‍රසව වේදනාවන් යනු කඩින් කඩ ගර්භාෂයේ මාංශ පේශීන් හැකිලීම හා ඉහිල්වීම යි. "බඩ තදකරනවාක්" වැනි සංවේදනයක් දනවන මෙය ගර්භනී සමයේ අවසන් කාලයේ දී නිතර ඇතිවිය හැකි අපහසුතාවකි.

මෙය සැබෑ ප්‍රසූතිය සඳහා ශරීරය සූදානම්වීමේ ක්‍රමය ලෙස හැඳින්විය හැකි නමුත්, සත්‍ය ප්‍රසූතිය ආරම්භවී ඇතිබවක් හෝ ආරම්භවීමට නියමිතබවක් මින් අදහස් නොවේ.

Pregnant woman at Gotagogama

ඡායාරූප මූලාශ්‍රය, Shiran Vimukthi Photography

ඡායාරූප ශීර්ෂ වැකිය, පවතින අර්බුදයට විරෝධය දැක්වීම සඳහා පසුගිය සමයේ දී ගර්භනී කාන්තාවෝ ද එක්ව සිටියෝ ය

"[සත්‍ය ප්‍රසවයේ දී] කැක්කුම ඉතා කෙටි කාලසීමාවක් තුළ සහ හොඳ පරතරයක් ඇතුව - ඒ කියන්නේ [කැක්කුම එන්නේ] විනාඩි හතෙන් හත නම්, විනාඩි හතකට පාරක් කැක්කුමක් එනවා, ආයෙ ටික වෙලාවක් නැතුව යනවා. ආයෙ කැක්කුමක් එනවා, ආයෙ ටික වෙලාවක් නැතුව යනවා... රිද්මයානුකූල, පරතරයක් සහිත, පොඩි වෙලාවක් පවතින කැක්කුමකින් පටන් අරන් ඒක එන්න එන්න පරතරය අඩුවෙනවා සහ කැක්කුම තියෙන කාලසීමාව වැඩිවෙනවා... ඒ කියන්නේ විනාඩි දෙකකට සැරයක් එනවා මුලින්, පොඩි වෙලාවක් තියෙනවා, නැතිවෙනවා; ඊට පස්සේ ඒක විනාඩියක් තුළ එනවා. කැක්කුම හැබැයි තියෙන කාලේ වැඩිවෙනවා.

"ඒ වගේම වතුර යනවා නම් - ඒ කියන්නේ මේ බිංදුවක් බිංදුවක් පෑන්ටි එකේ ගෑවෙන්න නෙවෙයි - එකපාරට අපට නිකන් මූත්‍රා පිටවුණා වගේ වතුර යනවා නම් ඉතාම හදිසි අවස්තාවක්. ලේ යනවා නම්, නිකන් සෙවල සෙවල වගේ ශ්ලේෂ්මල මිශ්‍රවෙලා ලේ යනවා නම් යෝනි මාර්ගයෙන් සහ අර විදියට කැක්කුම එනවා නම් තමයි ප්‍රසූතිය ආරම්භ වෙලා කියලා හිතෙන්නේ," ඇය පැහැදිලි කළා ය.

නමුත් ප්‍රසව වේදනා ඇරඹුණු විගස දරුවා බිහිවන්නේ නැත. කාන්තාවකගේ පළමු ප්‍රසූතියේ දී සාමාන්‍යයෙන් පැය 10කවත් කාලයක් ප්‍රසව වේදනා ඇතිවෙයි.

මෙනිසා පළමු ප්‍රසූතියේ දී වතුර බෑගය කැඩීගිය ද රෝහල්ගතවීම සඳහා ඕනෑතරම් කාලය තිබේයැ යි ප්‍රසව හා නාරි විශේෂඥ වෛද්‍ය විද්‍යාභූෂණ ප්‍රකාශ කරයි.

"පළවෙනි ගර්භනීභාවයේ දී පේන්ස් ඇවිල්ලා හොස්පිටල් එකට යන්න වෙලාව තියෙනවා, මොකද එක පාරටම [බබා] හම්බවෙන්නේ බොහොමත්ම, ඉතාමත්ම කලාතුරකින්. මේකේ [ප්‍රශ්නේ] තියෙන්නේ පළවෙනියා සාමාන්‍ය දරු ප්‍රසූතියකින් ලැබුණු, දෙවැනි තුන්වැනි හතරවැනි [බබා හම්බවෙන්න ඉන්න] අයට. මොකද ඒ අයට ප්‍රසූති වේදනා මතක නැතිවෙන්න පුළුවන්. කාන්තාවක් ප්‍රසූති වේදනාව මතක නැති නිසා තමයි දෙවැනි පාරට ප්‍රෙග්නන්ට් වෙන්නේ... මේ පේන්ස් එනකොට ඒගොල්ලෝ හිතන්නේ නෑ මේ පේන්ස් කියලා. දැන් එකපාරට ප්‍රසූත වේදනාවට කලින් වතුර බෑග් එක කැඩුනොත් හොඳ යි, එතකොට දැනගන්න පුළුවන් දැන් වතුර බෑග් එක කැඩුනා, දැන් වතුර යනවා කියලා. එතකොට ඉස්පිරිතාලෙට යන්න පුළුවන්."

නමුත් දෙවැනි දරු උපතේ දී ප්‍රසූත වේදනාව ඇරඹී උපත සිදුවීම දක්වා ගතවන කාලය, පළමු ප්‍රසූතියේ දී ගතවූ කාලයට වඩා කෙටිවිය හැකි ය.

"එතකොට අපි පරක්කු වුණොත් මඟ දී හම්බවෙන්න පුළුවන්, ගෙදර දී හම්බවෙන්න පුළුවන්. ඒක තමයි භයානක."

හදිසියේ නිවසේ දී දරු ප්‍රසූතිය සිදුවුවහොත්?

නිවසේ දී දරු ප්‍රසූතිය සිදුවීම කිසිසේත්ම සුදුසු නොවේ. එය මවගේ සහ දරුවාගේ ද සෞඛ්‍යයට බරපතල තර්ජන ඇතිකළ හැකි තත්ත්වයකි. නිවසේ දී දරු ප්‍රසූතිය සිදුකිරීම සෞඛ්‍ය අමාත්‍යංශය හෝ වෛද්‍ය හෝ සෞඛ්‍ය වෘත්තිකයින් විසින් අනුමත නොවේ.

නමුත් හදිසි අවස්ථාවක දී රෝහලෙන් පිටත ස්ථානයක දරු ප්‍රසූතියක් සිදුවුවහොත් කටයුතු කළ යුතු ආකාරය පිළිබඳ දැනුවත්ව සිටීම ඇතැම්විට මවකගේ හෝ දරුවකුගේ දිවි ගලවාගැනීමට ප්‍රයෝජනවත් විය හැකි ය.

මෙහිදී කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව විශේෂඥ වෛද්‍ය විද්‍යාභූෂණ මෙසේ උපදෙස් දෙයි: "දරුවා බිහිවුණ හැටියෙම පෙකණි වැල කපන්න ඕනේ. පෙකණි වැල කපනවා කියන්නේ නිකන් නෙවෙයි, කැපුවොත් දෙපැත්තෙන්ම රුධිර වහනය වෙනවා. ඒක නූලකින් හරි මොකකින් හරි තැන් දෙකකින් බැඳලා තමයි [ඒ මැදින්] කපන්න ඕන. මොකද පෙකණි වැල කැපුවම පෙකණි වැලෙන් ලේ එනවා; බබාගේ ලේ මේ පැත්තෙන් එනවා, වැදෑමහේ ඉඳලා ලේ අනිත් පැත්තෙන් එනවා.

"ඊට පස්සේ වැදෑමහ එනවා. බොහෝදුරට නිකන්ම වැදෑමහ එනවා. වැදෑමහ ආ හැටියෙම බඩට අත තියලා ගර්භාෂය මසාජ් කරන එක හොඳ යි, මොකද බෙහෙත් මොනවත් නෑනේ. මසාජ් කරපුවම ගර්භාෂය සංකෝචනය වෙන්න උදව් වෙනවා," ඔහු විස්තර කළේ ය.

මෙහිදී හදිසි රුධිර වහනයක් සිදුවේ නම් ගෝස් වැනි යමක් තබා, යටිබඩ ප්‍රදේශය ද සම්භාහනය කරන අතරේ පීඩනය යොදා රුධිර වහනය නැවැත්වීමට සිදුවේ. ස්වභාවික දරු ප්‍රසූතියේ දී ඉරීම් ද සිදුවිය හැකි ය. මෙවැනි තත්ත්වයන් කළමනාකරණය කිරීම ඒ සම්බන්ධ පුහුණුවක් නොමැත්තෙකුට පහසු ක්‍රියාවක් නොවන අතර මාරාන්තික ප්‍රතිඵල ඇතිකළ හැකි ය.

එසේම උපතේ දී මවට පමණක් නොව දරුවාට ද කළයුතු සත්කාරයන් තිබේ. උදාහරණ ලෙස, ඇතැම්විට දරුවාට පපු තෙරපුම් ලබා දී ශ්වසනය පහසු කළ යුතු අවස්ථා එළැඹේ. රෝහලේ දී වෛද්‍යවරුන් මෙම සත්කාරයන් හා ප්‍රතිකාරයන් සිදුකරනමුත් නිවසේ දී මේ කටයුතු සිදුකිරීම අප්‍රායෝගික වේ.

මෙනිසා මෙවැනි අවස්ථාවන්හි දී හැකි ඉක්මණින් ගිලන්රථයක් කැඳවා මව රෝහල්ගත කිරීම හෝ, ප්‍රදේශයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියට ඇමතුමක් ලබාදීම ඉතාමත්ම සුදුසු වන්නේ ය.

1990 අංකය ඇමතීමෙන් සුව සැරිය ගිලන්රථ සේවාව හා සම්බන්ධවිය හැකි ය.

ඊට අමතරව, මාතෘ හා ළමා සෞඛ්‍ය උපදේශිකා ශ්‍යාමලී පතිරගේ ඇතුළු ස්වේච්ඡා සෞඛ්‍ය වෘත්තිකයින් පිරිසක් විසින් සිදුකෙරෙන Online Clinic නම් වැඩසටහන ඔස්සේ ද දිවයින පුරා ගර්භනී කාන්තාවන්ට හා මවුවරුන්ට ඕනෑම හදිසි අවස්ථාවක දී 076 606 6777 දුරකථන අංකය ඔස්සේ උපදෙස් හා සහයෝගය ලබාගත හැකි ය.