මෙරටින් පලාගිය ගෝඨාභය රාජපක්ෂ යළි දිවයිනට

මෙරටින් පලාගිය ගෝඨාභය රාජපක්ෂ යළි දිවයිනට

ජනතා විරෝධය හමුවේ මෙරටින් පලාගිය හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ තායිලන්තයේ සිට සැප්තැම්බර් 02 වැනිදා රාත්‍රී 11.47ට දිවයිනට පැමිණියේය.

ඒ සිංගප්පුරු ගුවන් සේවයට අයත් SQ 468 දරණ ගුවන් යානයෙනි.

ඒ මොහොතේ 30 දෙනකුට ආසන්න සංඛ්‍යාවක පිරිසක් ගුවන් යානය අසළට පැමිණ හිටපු ජනාධිපතිවරයා මල් මාලා දමා පිළිගත් බවත්, පසුව ප්‍රභූ පර්යන්ත පිවීසුමෙන් ඔහු ගුවන් තොටුපලෙන් නික්ම ගිය බවත් ගුවන් තොටුපළ ප්‍රකාශකයෙකු පැවසුවේය.

දිවයිනට පැමිණි හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට කොළඹ බුලර්ස් පටුමගේ නිවසක් රජයෙන් ලබා දී ඇති අතර ගුවන්තොටුපලේ සිට ඔහු එම නිවසට සැප්තැම්බර් 2 රාත්‍රියේ පැමිණියේය.

ගෝඨාභය රාජපක්ෂට කොළඹ බුලර්ස් පටුමගේ නිවසක්
ඡායාරූප ශීර්ෂ වැකිය, ගෝඨාභය රාජපක්ෂට කොළඹ බුලර්ස් පටුමගේ නිවසක්

මේ අතර හිටපු ජනාධිපතිවරයෙකුට නීතියෙන් සම්පාදනය කර ඇති වරප්‍රසාද හා පහසුකම් ගෝඨාභය රාජපක්ෂටද හිමි විය යුතු බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවද ජනාධිපති රනිල් වික්‍රමසිංහට දැනුම් දී තිබේ.

පලාගිය ගමන් මඟ

මෙරටින් පලාගිය හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ සිංගප්පුරුවේ සිට තායිලන්තයේ දොන් මුඇන්ග් ජාත්‍යන්තර ගුවන් තොටුපලට අගෝස්තු 11, එරට වේලාවෙන් රාත්‍රී 8.15 පමණ මීට පෙර ශ්‍රී ලංකාවට පැමිණීමට පෙර අවසන් වරට ළඟා විය.

ජුලි 13 වන දින මෙරටින් පළාගිය හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂගේ ගමන් මඟ
ඡායාරූප ශීර්ෂ වැකිය, ජුලි 13 වන දින මෙරටින් පළාගිය හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂගේ ගමන් මඟ

ජූලි 09 වැනිදා ගාලු මුවදොර ඇතුලුව රටපුරා ඇති වූ දැවන්ත ජන අරගලය හමුවේ බලයෙන් පහ කෙරුණු ගෝඨාභය රාජපක්ෂ ජූලි 13 වැනිදා අලුයම ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් යානයකින් මලදිවයින බලා පිටත්ව ගියේය.

ඒ සිය බිරිඳ හා ආරක්ෂක නිලධාරීන් දෙදෙනෙකු සමඟය.

හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ සිංගප්පුරුවේ සිට තායිලන්තයේ දොන් මුඇන්ග් ජාත්‍යන්තර ගුවන් තොටුපලට පැමිණි අවස්ථාව
ඡායාරූප ශීර්ෂ වැකිය, හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ තම බිරිඳ සමඟ සිංගප්පුරුවේ සිට තායිලන්තයේ දොන් මුඇන්ග් ජාත්‍යන්තර ගුවන් තොටුපලට පැමිණි අවස්ථාව

ඊට පසුදින ඔහු සෞදි ගුවන් සේවයට අයත් යානයකින් සිංගප්පුරුවට පැමිණියේ දින 14ක තාවකාලික සංචාරක වීසා බලපත්‍රයක් මතය. ඉන් පසු තවත් දින 14කට එම සංචාරක විසා බලපත්‍රයට දිගුවක් ලබා ගත් බලයෙන් පහකළ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මේවන විට දින 28ක පමණ කාලයක් සිංගප්පුරුවේ ගත කොට තිබේ.

හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මෙරටින් පලාගිය පසු ප්‍රථම වරට ප්‍රසිද්ධ මාධ්‍යයට නිරාවරණය වුයේ තායිලන්තයේදීය.
ඡායාරූප ශීර්ෂ වැකිය, හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මෙරටින් පලාගිය පසු ප්‍රථම වරට ප්‍රසිද්ධ මාධ්‍යයට මෙලෙස නිරාවරණය වුයේ තායිලන්තයේදීය.

තායිලන්ත විදේශ කටයුතු අමාත්‍ය මාධ්‍ය ප්‍රකාශක ටැනී සැන්ග්‍රාට් ප්‍රකාශ කළේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට තායිලන්තයට ඇතුලු වීමට ඉඩ දෙන ලෙස වත්මන් ශ්‍රී ලංකා ආණ්ඩු පාර්ශවයෙන් ඉල්ලීමක් ලැබී ඇති බවයි.

දේශපාලන රැකවරණ ඉල්ලා නැහැ

දෙරට අතර දීර්ඝ කාලීන සුහද සබඳතා මත මෙම සලකා බැලීම සිදු වූ බව තායිලන්ත විදේශ අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.

"ශ්‍රී ලංකා රාජ්‍ය තාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක හිමිකරුවෙකු ලෙස හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට දින 90ක කාලයක් සඳහා වීසා නොමැතිව තායිලන්තයට පැමිණීමට හැකියාව ඇත. ඒ, තායිලන්තය සහ ශ්‍රී ලංකාව අතර වීසා නිදහස් කිරීම පිළිබඳ 2013 අතිකර ගත් ගිවිසුමට අනුවය."

ගෝඨාභය රාජපක්ෂ තායිලන්තයේ රැඳී සිටීම ඉදිරියේදී වෙනත් ස්ථානයකට යාමට අරමුණ කරගත්, තාවකාලික ස්වභාවයක් ගත් සංචාරයක් බව තායිලන්ත විදේශ අමාත්‍යංශය සඳහන් කළේය.

ඔහු දේශපාලන රැකවරණ පතා නොමැති බවද තායිලන්ත විදේශ කටයුතු අමාත්‍යංශය අවධාරණය කළේය.

මෙයට පෙර කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කළේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිංගප්පූරුවේ සිට යළි දිවයිනට පැමිණීමට අපේක්ෂා කරන බවයි. එහිදී කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන මාධ්‍යවේදීන් අමතමින් කියා සිටියේ හිටපු ජනාධිපතිවරයා රටින් පලාගොස් හෝ සැඟවී නොසිටින බවයි. එහෙත් ඔහු ආපසු මෙරටට පැමිණෙන දිනයක් තමන් නොදන්නා බවත් ය.

එහෙත් ජනපති රනිල් වික්‍රමසිංහ පසුගියදා මාධ්‍යයට පැවසුවේ හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂට ශ්‍රී ලංකාවට පැමිණීමට සුදුසු කාලය තවමත් උදාවී නොමැති බවයි.

ජූලි 13 වැනිදා ශ්‍රී ලංකාවෙන් මාලදිවයින බලා ගුවන් හමුදා ගුවන් යානයකින් පලාගිය ගෝඨාභය රාජපක්ෂ ජූලි 14 වැනිදා සිංගප්පූරුව වෙත පියාසර කළේය. එහිදී ඔහුට දින 14ක් එරට රැඳී සිටීමට අවසර ලබාදුනි.

ජූලි 20 දා සිංගප්පුරුවේ ආගමන හා මුරපොල අධිකාරිය (ICA) එරට මාධ්යය නැගූ ප්‍රශ්නවලට ප්‍රතිචාර දක්වමින් පවසා සිටියේ සමාජ සංචාර සඳහා සිංගප්පූරුවට ඇතුලු වන ශ්‍රී ලාංකික අමුත්තන්ට සාමාන්‍යයෙන් දින 30ක් දක්වා කාලයක් සහිත කෙටි කාලීන සංචාරක බලපත්‍රයක් නිකුත් කරන බවයි.

හිටපු ජනාධිපතිවරයා එහි පැමිණිමෙන් පසු සිය ඉල්ලා අස්වීම ඉදිරිපත් කළ අතර එය ජූලි 15 වන දින කතානායකවරයා විසින් නිල වශයෙන් එය පිළිගනු ලැබීය.

ඔහුට තවදුරටත් රාජ්‍ය නායකයෙකු ලෙස නීත්‍යානුකූල මුක්තියක් නොමැත.

මීට පෙර ඔහු එක්සත් අරාබි එමීර් රාජ්‍යයට යනු ඇතැයි ඇතැමුන් අනුමාන කිරීමත් සමඟ ඔහුගේ ඉදිරි සැලසුම් පිළිබඳව වැඩි දෙනෙක්ගේ අවධානය යොමු විය.

කෙසේ වෙතත්, නම සඳහන් නොකළ ශ්‍රී ලාංකික මන්ත්‍රීවරයකු උපුටා දක්වමින් බ්ලූම්බර්ග් පුවත් සේවාව එවකට සඳහන් කොට තිබුණේ ‍ගෝඨාභය රාජපක්ෂ නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට කැමැත්තෙන් සිටින බවයි.

Skip X post
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of X post

දශක ගණනාවක් තුළ ඇති වූ දරුණුතම ආර්ථික අර්බුදයට ‍චෝදනා එල්ලවී ඇත්තේ රාජපක්ෂ පාලනයට ය.

මාස ගණනාවක් පුරා දෛනික විදුලිය විසන්ධි කිරීම්, ඉන්ධන, ආහාර සහ ඖෂධ වැනි අත්‍යාවශ්‍ය ද්‍රව්‍යවල හිඟතාවන් වලින් ජනතාව තවදුරටත් පීඩා විඳිමින් සිටියි.

රාජපක්ෂ වෙනුවට ඔහුගේ සමීප සගයකු වන රනිල් වික්‍රමසිංහ ජනාධිපති ලෙස මේ වන විට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ඡන්දයෙන් ජනපති ලෙස පත් වී ඇති නමුත් ඔහුද නිවැරදි ජන මතයක් නියෝජනය කරමින් දරදඬු පාලනයකට උත්සාහ කරන බවට චෝදනා එල්ල වී තිබේ.