ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වීම කතානායක නිල වශයෙන් ප්‍රකාශ කරයි

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වීම කතානායක නිල වශයෙන් ප්‍රකාශ කරයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයෙන් නිල වශයෙන් ඉල්ලා අස් වූ බව කථානායක මහින්ද යාපා අබේවර්ධන අද ජූලි (15) පෙරවරුවේ නිවේදනය කළේය.

ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් කාතානායකවරයා පැවසුවේ, "ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 38.1 (අ) වගන්තිය ප්‍රකාරව ගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා විසින් එවන ලද ඉල්ලා අස්වීමේ ලිපිය මා වෙත ලැබී ඇත. 2022 ජූලි 14 වැනිදා සිට ජනාධිපතිවරයා සිය ධුරයෙන් නීත්‍යානුකූලව ඉවත් වී ඇති බවයි."

මෙතැන් සිට නව ජනාධිපතිවරයෙකු තෝරාපත් කර ගැනීමේ ව්‍යවස්ථාමය ක්‍රියාදාමය ක්‍රියාත්මක වනු ඇතැයි ද ඔහු සඳහන් කළේය.

එම ක්‍රියාදාමය අවසන් වන තෙක් ජනාධිපති ධුරයේ බලතල, කාර්ය සහ කර්තව්‍යය ක්‍රියාත්මක කිරීම සහ ඉටු කිරීම සඳහා ව්‍යවස්ථා ප්‍රකාරව අග්‍රාමාත්‍යවරයා කටයුතු කරනු ඇති බවට කතානායකවරයා පැවසීය.

වීඩියෝ ශීර්ෂ වැකිය, ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වීම කතානායක නිල වශයෙන් ප්‍රකාශ කරයි

නව ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම පක්ෂ නායක රැස්වීමේදී තමා විසින් සියලුම පක්ෂ නායකයින් දැනුවත් කළ ආකාරයට 1981 අංක 2 දරණ ජනාධිපති තෝරා පත්කරගැනීමේ විශේෂ විධිවිධාන පනත සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 40 වගන්තිය ප්‍රකාරව ක්‍රියාත්මක කරනු ලබන බවද ප්‍රකාශකළේය.

ඔහු පෙන්වා දුන්නේ, මෙම ක්‍රියාදාමය ඉතා ඉක්මනින් සාර්ථක අවසන් කිරීම තමාගේ අරමුණ බවයි.

"දකුණු ආසියාවේ පැරණිතම ප්‍රජාතන්ත්‍රවාදී රටක් ලෙස ආඩම්බර වන අපේ රටේ මෙම ක්‍රියාදාමය උපරිම ප්‍රජාත්‍රන්වාදී රාමුවක් තුළ, විනිවිදභාවයෙන් යුතුව ක්‍රියාත්මක කිරීම අප රටේ පමණක් නොව ලෝක දේශපාලනය ඉතිහාසයට ද වැදගත් වන ඓතිහාසික සිදුවීමක් වනු ඇතැයි" කතානායකවරයා සඳහන් කළේය.

එබැවින් එම ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාදාමයට උපරිම සහයෝගය ලබා දෙන ලෙස සියලුම පක්ෂ නායකයින්ගේ රාජ්‍ය නිලධාරීන්ගෙන් සහ ආරක්ෂක අංශ නිලධාරීන්ගෙන් කතානායකවරයා ඉල්ලා සිටියේය.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වීම කතානායක නිල වශයෙන් ප්‍රකාශ කරයි

ඔහු ඉල්ලා සිටියේ විශේෂයෙන්ම ගෞරවනීය හා ආදරණීය මහජනතාවගෙන් ඉල්ලා සිටිනුයේ නිසි ප්‍රජාතන්ත්‍රවාදී පාර්ලිමේන්තු ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම මන්ත්‍රීවරුන් හට නිදහසේ තම හෘද සාක්ෂියට එකඟව කටයුතු කිරීමට හා රැස්වීම සඳහා සහභාගි වීමට සුදුසු සාමකාමී වාතාවරණයක් උදා කර දෙන ලෙසයි.

එවැනි සාමකාමී වාතාවරණයක් තුළ සියලු වගකිය යුත්තන්ගේ සහයෝගය ඇතිව දින හතක් වැනි කෙටි කාල සීමාවක් තුළ මෙම ක්‍රියාදාමය අවසන් කිරීම තමා කිරීමට මා බලාපොරොත්තු වන බවද කාතානායකවරයා අවධාරණය කළේය.

ඒ අනුව හෙට (ජූලි16 වන සෙනසුරාදා) පාර්ලිමේන්තුව රැස් වන බවත් සියලු මන්ත්‍රීවරුන්ට සහභාගිවන ලෙසත් කතානායකවරයා දන්වා සිටියේය.