දැවැන්ත ජන විරෝධය හමුවේ ජනපති රටින් පළායයි: කවුද මේ ගෝඨාභය රාජපක්ෂ?

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
පොහොට්ටුව ලකුණ දරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉදිරිපත්ව ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ විධායක ජනාධිපතිබවට පත්වූ ගෝඨාභය රාජපක්ෂ අද උදෑසන සිය බිරිඳ ද කැටුව ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගුවන් යානයකින් මාලදිවයින බලා පළාගියේ ය.

වෘත්තීය දිවිය සහ යුද්ධය
1971 කැඩෙට් නිලධාරියකු ලෙස ශ්‍රී ලංකා යුද හමුදාවට එක්වුණු ගෝටාභය රාජපක්ෂ 1972 උප ලුතිනන්වරයකු වශයෙන් රාජකාරි ආරම්භකර ඇත. ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව, රජරට රයිෆල්ස්, හා ගජබා රෙජිමේන්තුවේ සේවයකර ඇති ඔහු 1992 වසරේ දී ලුතිනන් කර්නල් නිලයට පත්විය. ඔහු ඔපරේෂන් ලිබරේෂන්, ස්ට්‍රයික් හාර්ඩ්, ත්‍රිවිධ බලය යන හමුදා ක්‍රියාන්විතවලට සහභාගී වී තිබේ. රණ වික්‍රම පදක්කම, රණ සූර පදක්කම දිනා ඇත.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ඔහු 1992 හමුදා සේවයෙන් ස්වකැමැත්තෙන් විශ්‍රාමගොස් 1998 දී අමෙරිකා එක්සත් ජනපදයට සංක්‍රමණය විය.
නමුත් 2005 වසරේ ජනාධිපතිවරණය සඳහා එවක අග්‍රාමාත්‍ය, සොයුරු මහින්ද රාජපක්ෂට සහාය දක්වනු වස් ගෝඨාභය රාජපක්ෂ පෙරලා ශ්‍රී ලංකාවට පැමිණියේ ය. ජනාධිපතිවරණය ජයගැනීමෙන් පසුව මහින්ද රාජපක්ෂ විසින් 2005 නොවැම්බර් මාසයේ දී ඔහු ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්ධුරයට පත්කරනු ලැබුණි.
2006 දෙසැම්බර් මාසයේ දී ගෝඨාභය රාජපක්ෂ ගමන්ගත් රථය ඉලක්කකර කොළඹ පිත්තල හංදියේ දී LTTE සංවිධානය මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කළ අතර ඉන් ඔහුගේ ජීවිතයට හානියක් නොවීය.
2009 මැයි 19 වෙනි දින LTTEය යුදමය වශයෙන් පරාජයට පත්වීමෙන් පසු දකුණේ සිංහල බහුතරය අතර ගෝඨාභය රාජපක්ෂ කැපීපෙනෙන චරිතයක් වශයෙන් මතුවිය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
නගර අලංකරණය
2011 වසරේ දී, ආරක්ෂක අමාත්‍යංශය 'ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශය' යනුවෙන් ප්‍රතිනාමකරණය වූ අතර, ගෝඨාභය රාජපක්ෂ එහි ලේකම්වරයා වශයෙන් නගර අලංකරණය ඉලක්කකරගත් ව්‍යාපෘති කීපයක්ම දියත් කළේ ය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
එසේ ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශය මඟින් නව නගර අලංකරණ ව්‍යාපෘතියට ලක්කළ ප්‍රධාන ස්ථාන අතර බත්තරමුල්ල දියත උයන, නුගේගොඩ තෙත්බිම් උද්‍යානය, අපේ ගම පරිශ්‍රය, කොළඹ තුරඟ තරග පිටිය, වේරැස් ගඟ උද්‍යානය, ආකේඩ් වෙළඳ සංකීර්ණය, සහ කොළඹ හමුදා මූලස්ථානය වේ.
2015න් පසු

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
2015 ආණ්ඩු පෙරලියෙන් පසු ගෝඨාභය රාජපක්ෂ පරිපාලන හා දේශපාලන ක්‍ෂේත්‍රයෙන් ඈත්වී කටයුතු කළ අතර, ජනමාධ්‍ය ආයතනවලට සහ ජනමාධ්‍යවේදීන් ඉලක්කකරගෙන දියත්වූ ප්‍රහාර මෙන්ම දූෂණ වංචා සම්බන්ධයෙන් ද ඔහුට චෝදනා එල්ල විය.
කෙසේ නමුත් එකී චෝදනා ප්‍රතික්ෂේප කළ ගෝඨාභය රාජපක්ෂ තමන්ට එරෙහිව නැගෙන චෝදනා හඳුන්වනු ලැබුවේ 'දේශපාලන පළිගැනීම් සහ මඩගැසීම්' වශයෙනි.
රාජපක්ෂ ආණ්ඩු සමයේ සිදුවූබව පැවසෙන අපරාධ හා මූල්‍ය වංචා දූෂණ සම්බන්ධයෙන් මෛත්‍රීපාල සිරිසේන-රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව ආරම්භ කළ අපරාධ හා මූල්‍ය පරීක්ෂණ කීපයකට අදාළව පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔහුගෙන් අවස්ථා කීපයක දී ප්‍රකාශ ලබා ගෙන තිබේ.
කෙසේ නමුත් මේ බොහොමයක් නඩු ඔහුගේ පත්වීමෙන් පසු ඉවත දමනු ලැබුණි.
ලසන්ත ඝාතනය
සන්ඩේ ලීඩර් පුවත්පතේ කර්තෘ ලසන්ත වික්‍රමතුංග ඝාතන පරීක්ෂණයට මාස කීපයකට පෙර සිදුවූ මාධ්‍යවේදී කීත් නොයා පැහැරගෙනයාම සම්බන්ධයෙන් එවක ආරක්ෂක අමාත්‍යංශ ලේකම්ව සිටි ගෝඨාභය රාජපක්ෂගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව 2018 වසර අගභාගයේ දී ප්‍රකාශයක් ලබාගත්තේ ය.
සන්ඩේ ලීඩර් පුවත්පතේ හිටපු ප්‍රධාන කතෘ ලසන්ත වික්‍රමතුංග ඝාතනයට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ වගකිවයුතුයැ යි චෝදනා කරමින් ලසන්ත වික්‍රමතුංගගේ දියණිය අහිම්සා වික්‍රමතුංග ඇමෙරිකාවේ අධිකරණයක සිවිල් නඩුවක් ගොනු කළා ය.

ඡායාරූප මූලාශ්‍රය, Twitter
ජාත්‍යන්තර සත්‍ය හා සාධාරණය ව්‍යාපෘතිය (ITJP) ද දෙමළ ජාතික තරුණයකු වධ හිංසාවට ලක්කිරීමේ චෝදනා මත ගෝඨාභය රාජපක්ෂට එරෙහිව කැලිෆෝනියාවේ අධිකරණයක සිවිල් නඩුවක් පවරා තිබේ.
එකී චෝදනා ප්‍රතික්ෂේප කළ ඔහු ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා සිය නීතිඥයන්ට උපදෙස් දී ඇතිබව එවක කියා සිටියේ ය.
දූෂණ සහ අක්‍රමිකතා
ඩී. ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේ දී රුපියල් මිලියන 33.9ක රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළැ යි ඔහුට මූල්‍ය වංචා චෝදනාවක් එල්ල වී තිබේ.
ඊට අදාළව නීතිපතිවරයා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් සත්දෙනෙකුට එරෙහිව කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයේ නඩු පැවරූ නමුත් රාජපක්ෂ ශ්‍රේෂ්ඨාධිකරණයෙහි ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් මඟින් ඔහු අත්අඩංගුවට ගැනීම වැළකීය.
2022 මැයි 9 දා ගෝඨා ගෝ ගම විරෝධතා භුමියට එල්ලවුණු පහරදීම පිළිබඳ කිපුණු සාමාන්‍ය වැසියන් විසින් මෙම කෞතුකාගාරය සහ ස්මාරක විනාශයට පත් කළේය.
'ඇවන්ගාඩ්' පාවෙන අවි ගබඩාවට අනුමැතිය දීම තුළින් රජයට රුපියල් බිලියන 11.4ක පාඩුවක් සිදුකළ බවට චෝදනා යටතේ ගෝඨාභය රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් පිරිසකට එරෙහිව නඩු පවරා තිබුණි.
මීට අමතරව ගුවන් හමුදාවට මිග් යානා මිල දී ගැනීමේ දී සිදුව ඇතැ යි පැවසෙන අක්‍රමිකතා සම්බන්ධයෙන් ද ඔහුට චෝදනා එල්ල වේ.
කෙසේ වෙතත් ගෝඨාභය රාජපක්ෂ දිගින් දිගටම එම චෝදනා ප්‍රතික්ෂේප කරයි.
ඇමරිකානු පුරවැසිභාවය

ඡායාරූප මූලාශ්‍රය, Gotabaya Rajapaksa/FB
යුද හමුදාවෙන් විශ්‍රාම ගැනීමෙන් පසු ඇමරිකානු පුරවැසියකු වූ ගෝඨාභය රාජපක්ෂ, ජනාධිපතිවරණයට තරග කිරීම සඳහා එම ඇමෙරිකානු පුරවැසිභාවය ඉවත්කර ගත්තේ ද යන්න දැඩි අවධානයක් යොමුවූ කාරණයකි.
ඔහුට ජනාධිපති අපේක්ෂකත්වය පිරිනැමීම සම්බන්ධයෙන් තාක්ෂණික බාධකය වී තිබුණේ ඔහුගේ ද්විත්ව පුරවැසිභාවය යි. ඔහු ඇමරිකානු පුරවසිභාවයෙන් නිදහස්කළ බව දැක්වෙන ලිපි තමා සියැසින් දුටු බව පිවිතුරු හෙළ උරුමයේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මාධ්‍යයට පැවසීය.
ගෝඨාභය රාජපක්ෂ ශ්‍රී ලංකා ගමන් බලපත්‍රයක් ලබාගෙන තිබූ අතර, නව විදේශ ගමන් බලපතෙහි ද්විත්ව පුරවැසි මුද්‍රාවක් නොමැතිවීම තමා දැන් ශ්‍රී ලාංකික පුරවැසියකු බවට සහතිකයක්යැ යි ඔහු මාධ්‍යයට ප්‍රකාශ කළේ ය.
ජනපති අපේක්ෂකත්වය

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
19 වැනි සංශෝධනය මඟින් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂට නැවත වරක් ජනාධිපතිවරණයකට තරග කිරීමට ව්‍යවස්ථානුකූල වශයෙන් බාධාවක් මතුව ඇති වාතාවරණයක, කාරණය රාජපක්ෂ ජනාධිපතිවරණ අපේක්ෂකත්වයට නම්කළ යුතු බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන විශාල පිරිසක් දිගින් දිගටම කියා සිටියහ.
එහෙත් තමා ජනාධිපතිවරණය සඳහා තරග කිරීමට සූදානම් බවට දේශපාලනික වශයෙන් ගෝඨාභය රාජපක්ෂ පළමු වරට ඉඟියක් පළ කළේ 2019 අප්‍රේල් 21 වැනිදා එල්ල වූ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව මාධ්‍ය අමතමිනි.
පාස්කු ප්‍රහාරයට සම්බන්ධවූවන්ට දඬුවම් දෙන වග කියමින් මැතිවරණයට ඉදිරිපත්වූවත්, එම පොරොන්දු ඉටුකිරීම ගෝඨාභය රාජපක්ෂ පැහැරහැරියේ ය.
එකල ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මාධ්‍ය හමුවේ පැවසුවේ 2019 වසරේ දෙසැම්බර් 09 වෙනි දින "පොහොට්ටුවේ ජනාධිපතිතුමා" දිවුරුම් දෙන බවත් අපේක්ෂකත්වයට සුදුස්සා ගෝඨාභය රාජපක්ෂ බවත්ය.
පදවිප්‍රාප්තියෙන් පසු
ධුරයට පත්වීමෙන් අනතුරුව ජනපති ගෝඨාභය විසින් සිදුකරන්නට යෙදුනු කෘෂිකර්මය මුළුමනින් කාබනිකකරණය, බදු කපාහැරීම ආදී විශාල ව්‍යාපෘති රැසක් සිදුකිරීම මඟින් ශ්‍රී ලංකා ආර්ථිකයට දැඩි සේ හානි සිදුවිය.
ඔහු බොහෝ අමාත්‍යංශයන්හි ලේකම්ධුරවලට ද, කාර්ය සාධන බලකායන්හි ඉහළ තනතුරුවලට ද හමුදා නිලධාරීන් පත්කිරීම කැපී පෙනුණු කරුණකි.
ජනපතිවරයා කොවිඩ් වසංගතයේ පළමු රැල්ල පාලනය කළ ආකාරය සම්බන්ධයෙන් යම් ජනතා ප්‍රසාදයක් දිනාගත්තේ ය. එනමුත් 2020 මහා මැතිවරණය අළලා කොවිඩ් ලංකාවෙන් තුරන්කළබවට ප්‍රකාශ කිරීමෙන් කොවිඩ් ව්‍යාප්තිය පාලනය දැඩි සේ අපහසු වූබවට විශේෂඥයින්ගෙන් චෝදනා එල්ලවිය.
එසේම, මැතිවරණ පොරොන්දු හරහා ප්‍රකාශ කළ අන්දමට පාස්කු ප්‍රහාරයේ හා මහබැංකු වංචාවේ චූදිතයින් සොයා දඬුවම් නොකිරීම ද, ඔහුගේ රජයේ සහ ඥාති හිතමිත්‍රාදීන්ගේ වංචාව හා දූෂණය හෙළිවීම ද, ඔහුට සහ හිතමිත්‍රාදීන්ට එරෙහිව පනවා තිබූ නඩු ඉවත්කර දැමීම ද ජනපතිවරයාගේ ප්‍රසිද්ධිය පහත බැසීමට හේතුවිය.
ඩොලර් අර්බුදය විසින් ඇතිකළ ආර්ථික අර්බුදය හේතුවෙන් රටෙහි ඇතිවූ ඉන්ධන, ඖෂධ හා ආහාර ද්‍රව්‍ය හිඟකම සහ දිනෙන් දින ඉහළ යන උද්ධමනය විසින් ජනපතිට සහ රජයට එරෙහිව උද්ඝෝෂණයේ යෙදීමට මහජනතාව තල්ලුවිණි.
අවසානයේ දී, මාර්තු 31 දා සිට ජුලි 9 දා දක්වා පැවැත්වුණු ජනතා විරෝධයන් ජනපති මැදුර දක්වාම තල්ලුවීම හේතුවෙන් ජනපතිවරයා මේ වන විට මාලදිවයින් බලා පිටත්වගොස් තිබේ. වැඩ බලන ජනපති වන රනිල් වික්‍රමසිංහ මුළු දිවයිනටම හදිසි නීතිය පැනවීය.










