ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ශ්‍රී ලංකාවේ අර්බුදය: ආහාර සහ ඉන්ධන හිඟය ගැබිණි මව්වරුන්ට බලපාන හැටි
- Author, සුනෙත් පෙරේරා
- Role, BBC ලෝක සේවය
"මගේ බඩට මාස අටක්. රටේ තියන තත්ත්වයත් එක්ක දරු ප්‍රසූතිය ගැන හිතද්දී මහා බයක් දැනෙන්නේ."
"මගේ ඇඟේ යකඩ අඩු යි, දරුවා වැඩිලා මදි කියලා දොස්තර මහත්තයා කිව්වා. බෙහෙතුයි, විටමිනුයි ලියලා දුන්නා පාමසියෙන් ගන්න කියලා. මේ තියන තත්ත්වෙත් එක්ක අපි කොහොමද ඕවා ගන්නේ?"
"අපි දැන් කන්නේ එක වේල යි. ඉතිරිය බඩගින්නේ ඉන්නේ."
මේ, වව්නියාවේ කුඩාකච්චකොඩිය ගම්මානයේ පදිංචි 27 හැවිරිදි ගැබිණි මවක වන තක්ෂිලා නිරෝෂිනී BBCය වෙත පැවසූ අදහස් ය.
සල්ලි නැති නිසා කෑම නෑ
ශ්‍රී ලංකාවේ බොහොමයක් මව්වරුන් මෙන් ඇය ද සිය නවහැවිරිදි කුඩා දියණියගේ සහ නූපන් දරුවාගේ කුස පිරවීමේ අරගලයක යෙදී සිටින්නී ය.
බොහෝ දිනවල ඔවුන්ගේ බත්පතට එකතු වන්නේ පලාකොළ මැල්ලුමකි. හැකි සෑම විටම අඩුම මිලට ඇති සෝයා මාළුවක් ඊට එක්කර ගැනීමට ඇය උත්සාහ දරන්නී ය. ඒ කුස සිටින දරුවාට ප්‍රෝටීන සහිත අහරක් අවශ්‍ය බැවිනි.
කුලියක් මලියක් කර එදා වේල පිරිමසාගත් තක්ෂිලාගේ සැමියාට මාස දෙකක පමණ සිට රැකියාවක් නොමැත. රටේ පවතින තත්ත්වය හමුවේ කුලී වැඩක් සොයා ගැනීම දුෂ්කර වී ඇත.
"අපිට කලින් පෝෂණ මල්ලක් ලැබුනා, දැන් ඒක හම්බවෙන්නෙත් නෑ. අපිට දැන් හැමදේම ගන්න වෙලා තියෙන්නේ පාමසියෙන්. ඒත් ඒවට කොහෙන්ද සල්ලි?"
ගාන වැඩියි, බඩු හිඟයි
ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව මැයි මස භාණ්ඩ උද්ධමනය 57.4% දක්වා ඉහළගොස් ඇත. එය අත්‍යවශ්‍ය භාණ්ඩවල මිළෙහි වාර්තාගත වැඩිවීමකි.
අනෙක් අතින් ඉන්ධන මිලට ගැනීම සඳහා දින ගණනාවක් පෝලිම්වල රැඳී සිටීමට ද සිදුව තිබේ.
'පෙට්‍රල් නැතිව රෝහලට යන්නේ කොහොමද?'
කුසට අහරක් සොයාගැනීම තරමටම තක්ෂිලා වැනි ගැබිණි මවුන්ට ඉන්ධන හිඟය ද ගැටළුවක් වී තිබේ.
"දරුවා ලැබෙන්න යන්න ඉන්නේ වව්නියාව දිස්ත්‍රික් රෝහලට. අපේ ගෙදර ඉඳන් කිලෝමීටර් අටක් යන්න ඕනි. පෙට්‍රල් නැති නිසා හදිස්සියක් වුණොත් ඉස්පිරිතාලෙට කොහොම යා ගන්නද කියලා හිතා ගන්න බෑ," ඇය පවසන්නී ය.
"ගිය සතියේ ස්කෑන් එකක් තිබ්බා. පාරේ බස් නැති තරම්. බස් එකක් ආවත් සෙනග පිරිලා. පාරේ පැය ගානක් ඉඳලා ලොරියක නැගලා තමයි ඉස්පිරිතාලෙට යන්න ඕනි."
ඉන්ධන හිඟය නිසා ඇය සිය කුස තුළ සිටින දරුවා පිළිබඳ බියෙන් පසුවෙයි.
"මිඩ්වයිෆ් මිස් කිව්වා හදිස්සියක් වුනොත් කෝල් කරන්න කියලා. ඒත් පෙට්‍රල් තිබුනොත් විතරයි මිස්ටත් එන්න පුළුවන් වෙන්නේ."
වෛද්‍යවරුන්ගේ අනුමැතිය සහිතව, දරු ප්‍රසූතියට සති දෙකකට පෙර රෝහල්ගත වීම ඇගේ බලාපොරොත්තුව යි.
සෞඛ්‍ය සේවා සහ ගිලන් රථ
කලාපයේ සෙසු රටවල් හා සැසඳීමේ දී ශ්‍රී ලංකාවේ මාතෘ මරණ අනුපාතය සහ ළමා සෞඛ්‍ය සේවා අතින් හොඳ මට්ටමක සිටියි.
නමුත් වත්මන් ආර්ථික අර්බුදය හමුවේ, ළමුන් මිලියන 2.3ක් ඇතුළු මිලියන 5.7ක් ජනයා වෙත මානුෂීය ආධාර අවශ්‍යව ඇති බව යුනිසෙෆ් සංවිධානය පවසයි.
මේ අතර ශ්‍රී ලංකා සෞඛ්‍ය අමාත්‍යංශය පවසන පරිදි මෙරට දරු ප්‍රසූතිවලින් 99.9%ක් සිදුවන්නේ රෝහල් තුළ ය. එහෙත් මේ වන විට ඇතැම් රෝහල් තුළ ඖෂධ සහ සැපයුම් හිඟයක් ද පවතියි.
වත්මන් තත්ත්වය පිළිබඳ අදහස් දක්වමින්, රුහුණු විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාරිනී, ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය ඉරේෂා මාම්පිටිය BBCය වෙත කියා සිටියේ යකඩ ඌණතාවෙන් පෙලෙන ගැබිණි මව්වරුන් සංඛ්‍යාවේ වර්ධනයක් දැකිය හැකි බව ය.
එමෙන්ම ආර්ථික අර්බුදය සහ ඉන්ධන හිඟය මාතෘ සායන පවත්වාගෙන යාම සහ සැපයුම් වෙත බලපා ඇති බව ද ඇය ප්‍රකාශ කළා ය.
"රක්තහීනතාව නිසා රුධිර පාරවිලයනයට යොමුකෙරෙන ගැබිණි මව්වරුන්ගේ ඉහළ යාමක් දකින්න පුළුවන්," විශේෂඥ වෛද්‍යවරිය පවසයි.
හදිසි අවස්ථාවක දී රෝහල් වෙත පැමිණීමට ප්‍රමාණවත් ඉන්ධන නොමැති වේදැ යි බියෙන් පසුවීම ගැබිණි මව්වරුන් වෙත අතිරේක පීඩනයක් ගෙන දී ඇති බව ඇය පෙන්වා දුන්නා ය.
ශ්‍රී ලංකාවේ හදිසි ගිලන් රථ සේවය වන '1990 සුව සැරිය' සතු ගිලන් රථ ප්‍රමාණය 297කි.
ඉන්ධන හිඟය නිසා ඇතැම් දිස්ත්‍රික්ක තුළ සිය සේවා අත්හිටුවා ඇති බව එම සේවය ජුලි 11 දා නිවේදනය කළේ ය.
සිය සේවය ඉල්ලා තමා වෙත ලැබෙන දුරකථන ඇමතුම් ප්‍රමාණය ඉහළගොස් ඇති බව සුව සැරිය පවසයි.
"අපි පුළුවන් තරම් මිනිස්සුන්ට සේවය ලබා දෙන්න උත්සාහ කරනවා. අපේ සේවා මුරය (shift) ඉවරවූ පසුවත් ලෙඩ්ඩු රෝහල් වෙත ගෙනියනවා," යනුවෙන් එහි ගිලන් රථ රියදුරුවරයෙකු පැවසීය.
"මේ වන විට ගැබිණි මව්වරුන්ගෙන් ලැබෙන දුරකථන ඇමතුම් ප්‍රමාණය දෙගුණයකින් පමණ ඉහළගොස් තිබෙනවා. අපිට දරාගත නොහැකි මට්ටමකට ළඟා වෙලා තිබුණත් අපි අපේ උපරිමය කරන්න උත්සාහ කරනවා."
ජීවිත අවදානමේ හෙලන ප්‍රමාදයන්
පවුලේ සාමාජිකයන් ඉන්ධන හෝ රෝහල වෙත යා හැකි ක්‍රමවේදයක් සොයන අතරේ ඇතැම් මව්වරුන්ට නිවසේ දී දරු ප්‍රසූතිය කිරීමට සිදුව ඇත.
"ඒ වගේම රෝහලට ගෙන එන අතරේ මහමඟ දී දරු ප්‍රසූතිය සිදුවන අවස්ථා ඉහළගොස් තිබෙනවා. බොහෝ විට මේ අම්මලා රෝහල් වෙත එන්නේ ත්‍රීරෝද රථවලින්," යනුවෙන් විශේෂඥ වෛද්‍ය මාම්පිටිය පැවසීය.
"ත්‍රීරෝද රථ තුළ දරු ප්‍රසූතිය සිදුවන අවස්ථාත් ඉහළගොස් තිබෙනවා."
"සති දෙකකට විතර කලින් අපේ OPD එක ගාව අම්මා කෙනෙක් කෑගහනවා ඇහුනා. අපේ වෛද්‍යවරු එතනට දිවගියා. අම්මා කෙනෙක් ත්‍රීරෝද රථය තුළ දරුවා ප්‍රසූත කරලා.
"අපේ වෛද්‍යවරු සහ කාර්ය මණ්ඩලය වහාම ක්‍රියාත්මක වෙලා අවශ්‍ය ඉතිරි කටයුතු සිදු කළා."
"නිවසේ කෙරෙන දරු ප්‍රසූතියක දී අධික රුධිර වහනය වැනි සංකූලතාවක් ඇති වෙලා, මව රෝහලට ගෙන ඒම සැලකිය යුතු ලෙස ප්‍රමාද වුවහොත් ජීවිත අවදානමක් ඇති විය හැකියි," වෛද්‍යවරිය අනතුරු අඟවයි.
කෙසේ වුවත්, රෝගීන් කෙසේ හෝ රෝහල් වෙත පැමිණිය ද වෛද්‍යවරු සහ සෙසු සෞඛ්‍ය සේවකයෝ ද ඉන්ධන හිඟය නිසා දැඩි පීඩාවකට මුහුණ දී සිටිති.
"මේ අර්බුදය නිසා ළදරු සහ මාතෘ මරණවල ඉහළ යාමක් සිදුවේවි ද කියා අපිට ලොකු බියක් දැනෙනවා," විශේෂඥ වෛද්‍ය ඉරේෂා මාම්පිටිය පැවසීය.
මේ අතර රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගමය BBCය වෙත කියා සිටියේ මොනයම් හෝ තත්ත්වයක් තුළ තමන් නිවසේ දී දරු ප්‍රසූතිය නිර්දේශ නොකරන බව ය.
පවුල් සෞඛ්‍ය නිලධාරිනියන් ඇතුළු සියලුම සෞඛ්‍ය සේවකයන්ට නොකඩවා ඉන්ධන ලබාදීම මේ මොහොතේ ඉතා අත්‍යවශ්‍ය බව එම සංගමයේ සභාපතිනිය දේවිකා කොඩිතුවක්කු පෙන්වා දෙයි.
"මේ තත්ත්වය ඇතිවීමට පෙර පවුල් සෞඛ්‍ය නිලධාරිනියන් මසකට වරක් නිවෙස් වෙත ගොස් මව සහ දරුවා පිළිබඳ පරීක්ෂා කළා."
හදිසි අයවැයක්?
පවතින තත්ත්වය පිළිබඳ කළ විමසීමක දී වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ කාර්යාලය කියා සිටියේ ගැබිණි මව්වරුන් සහ දරුවන් මුහුණ පා සිටින තත්ත්වය පිළිබඳ සොයාබලා හැකි ඉක්මනින් විසඳුම් ලබාදීමට කටයුතු කරමින් සිටින බවයි.
ගැබිණි මව්වරුන් ඇතුළු අඩු ආදායම් පවුල් වෙත සහන සැලසීමට අගෝස්තු මස හදිසි අයවැයක් ගෙන ඒමට සැලසුම් කර ඇති බව වැඩබලන ජනාධිපතිවරයාගේ පාර්ශ්වය නියෝජනය කරන හිටපු අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් BBCය වෙත පැවසීය.
ජුලි 20, පාර්ලිමේන්තුව මඟින් නව ජනාධිපතිවරයෙක් තෝරාගත් පසු සෞඛ්‍ය ඇතුළු සෙසු සේවා සඳහා නව කැබිනට් අමාත්‍ය මණ්ඩලයක් පත්වනු ඇත.
කෙසේ වුවත් වත්මන් ආර්ථික අර්බුදය හමුවේ වින්දිතයන් බවට පත්ව ඇත්තේ ගැබිණි මවුන් සහ නූපන් දරුවන් පමණක්ම නොවේ.
ඉන්ධන හිඟය නිසා පාසල් වසා දැමීමත් සමඟ ශ්‍රී ලංකාවේ පාසල් දරුවන්ගේ අධ්‍යාපනය ද ඇණහිට තිබේ.
හතරවෙනි ශ්‍රේණියේ ඉගනුම ලබන තක්ෂිලාගේ දියණිය වැනි දරුවන් විශාල පිරිසකට නිවසේ රැඳී සිටීමට සිදුව ඇත.
"මගේ දුව, ඉපදෙන්න ඉන්න දරුවා මේ දෙන්නගෙම අනාගතය ගැන මට මහා බයක් දැනෙනවා. මට හිතෙන්නේ, අපිට මෙහෙම වෙලා තියෙන්නේ දේශපාලනඥයන්ගේ වරදින්. ඒත් අපි වගේ මිනිස්සු මොනවා කරන්න ද මේ අපේ කරුමේ කියලා හිත හදා ගන්නවා ඇරෙන්න?" ඇය කියා සිටියාය .