ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
පවුලේ ආර්ථික බර හමුවේ දරුවන්ගේ හා ගැබිණියන්ගේ බර අඩුවෙයි!
ශ්‍රී ලංකාව මේ දිනවල මුහුණ දෙමින් සිටින්නේ නිදහසින් පසු ඉතිහාසයේ දරුණුතම ආර්ථික අර්බුදයට යි. එය මේ වන විට මෙරට සෑම පවුලකටම පාහේ අඩුවැඩි වශයෙන් දැනී තිබේ.
ඉන්ධන ලබාගැනීම සඳහා පන්ති භේදයකින් තොරව පෝලිම්වල කාලය ගෙවා දැමීමට සැමට සිදුව ඇති අතර, ඉන්ධන සැපයීම ද දැන් අත්‍යවශ්‍ය සේවාවලට පමණක් සීමාකර ඇත.
අතමිට මුදල් ඇති පුද්ගලයින්ටත් සහල්, කිරිපිටි ඇතුළු අත්‍යාවශ්‍ය භාණ්ඩ සපයා ගැනීම අභියෝගයකිඒ රටේ පවතින භාණ්ඩ හිඟය නිසාවෙනි. දෛනික වැටුප් ලබන හෝ කුලී රැකියාවකින් දිවි සරිකර ගන්නා ජනතාව මෙම අර්බුදය හමුවේ ඊටත් වඩා දැඩි අපහසුතාවකට මුහුණ පා සිටින්නේ අහාර ද්‍රව්‍යවල මිල ගණන් දිනපතාම පාහේ සීඝ්‍රයෙන් ඉහළ යෑම හේතුවෙනි.
පවුලේ ආර්ථික බර මේවන විට කුඩා දරුවන්ගේ මෙන්ම ගැබිනි මව්වරුන්ගේ සෞඛ්‍යයට ද අහිතකර අන්දමින් බලපා ඇතැ යි සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි. මේ විමසා බැලීම ඒ පිළිබඳව යි.
ගර්භනී මව්වරුන්ගේ සහ කුඩා දරුවන්ගේ බර අඩුවෙයි
ගර්භනී මව්වරුන්ගේ සහ කුඩා දරුවන්ගේ බර අඩුවීමේ තත්ත්වයක් නිරීක්ෂණය වන බව පවුල් සෞඛ්‍ය නිලධාරීන් පෙන්වා දෙයි. රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගමයේ සභාපති දේවිකා කොඩිතුක්කු කියා සිටියේ මෙය දුරබැහැර ප්‍රදේශවලින් වැඩි වශයෙන් වාර්තා වන බව යි.
"මේ වෙනකොට නිසි පෝෂදායී ආහාර වේල් නොලැබීම සහ මානසික අවපීඩනය, මේ සෑම කාරණයක් එක්කම ගර්භනී මවගේ අපි දකිනවා බර අඩුවීමක් පෙන්නුම් කරනවා, දුෂ්කර ප්‍රදේශයන්වල මව්වරුන්ගේ. මේ දුෂ්කර පළාත්වල සිටින අම්මාවරුන්ගේ පෝෂණ ඌණතා පෙන්නුම් කරනවා සුළු වශයෙන් මේ වන විට," ඇය පැවසුවාය.
"දරුවන්ගේ බර තිබුණු බරට වැඩිය සුළු වශයෙන් අඩුවෙලා තියෙනවා. පනස්දෙනෙක් ගත්තොත් දරුවෝ, එයින් 20%ක වගේ පෙන්නුම් කරනවා සුළු බර අඩුවීමක්, මේ ආර්ථික අර්බුදය පටන්ගත්තාත් සමගම."
"ඉදිරියට අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් උග්‍ර බර අඩු දරුවන්. එවගේම සෑම දරුවෙක්ගේම බර අඩුවීම්, මේවා බලාපොරොත්තු වන්න පුළුවන්. ඒක නිසා අපි පැහැදිලිවම කියනවා මේ දරුවන්ගේ සහ ගර්භනී මව්වරුන්ගේ පෝෂණය ගැන රජය මීට වැඩිය සිතිය යුතු යි කියලා," දේවිකා කොඩිතුවක්කු ප්‍රකාශ කළා ය.
මේ අතර පවුල් සෞඛ්‍ය කාර්යංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලී ද සිල්වා සඳහන් කළේ, ගැබිණි මව්වරුන්ගේ පෝෂණ ඌණතා හඳුනාගැනීමට මේ වන විට දීපව්‍යාප්ත සමීක්ෂණයක් ආරම්භ කර ඇති බව යි.
"වෙලාවකට හිතෙනවා කොරෝන හැදිලා මැරිලා ගියානම් කියලා"
පවතින ආර්ථික තත්ත්වය සහ ජීවන වියදම පිළිබඳව කැස්බෑව ප්‍රදේශයේ පදිංචි පෙදරේරුවෙකු වන සුනිල් විජේසිරි BBCයට අදහස් දැක්වමින් පැවසුයේ මේ වන විට ජිවත් වීමට ඉතාමත් දුෂ්කර වී ඇති බවයි.
"ආසාවකට මාලු කෑල්ලක්, කුකුළු මස් කෑල්ලක් කන්න බැහැ මහත්තයෝ දැන්. හාල් කිලෝ එකක මිල කීය ද? සීනිත් 340 යි. බලන්නකෝ අපි කන්නේ කොහොමද කියලා," සුනිල් විජේසිරි පැවසීය.
"කෙළවල්ල, තලපත් ග්‍රෑම් 500 රුපියල් 1500ක් 1600ක් වෙනවා. ලොකු මාලු කන්න වෙන්නේ නැහැ. පොඩි ලින්නෝ කූරියෙක් අරන් ආවේත් රුපියල් 400ක් දීලා."
"මම මේසන් වැඩ කරන්නේ, දැන් අපිට වැඩත් අඩු යි. ජීවත් වෙන්නෙ හරිම අමාරුවෙන්. වෙලාවකට හිතෙනවා කොරෝන හැදිලා මැරිලා ගියානම් කියලා," ඔහු BBCය සමග කියා සිටියේ ය.
පවත්තා අර්බුදය අංකවලින්
- මිලියන 5.7ක ජනතාවකට මානුෂීය සහාය අවශ්‍යව ඇත
- මිලියන 4.9ක ජනතාවකට ආහාර අනාරක්ෂිත බවක් ඇත
- මිලියන 1.7ක ජනතාවකට මානුෂීය සහය ලබාදීමට ඉලක්ක කර ඇත
- 2022 ජූනි-සැප්තැම්බර් සඳහා ප්‍රමුඛතා සැලැස්මක්
ලෝක ආහාර වැඩසටහන පෙන්වා දෙන්නේ මීට පෙර ඩොලර් මිලියන 130ක් වූ ශ්‍රී ලංකාවේ ආහාර ආනයනය මසකට ඩොලර් මිලියන 50 දක්වා පහත වැටී ඇති බව යි. විදේශ විනිමය සංචිත හිඟය මීට ප්‍රධාන හේතුව යි.
එනිසා ආනයනකරුවන්ට සැපයුම්කරුවන් සමග ණය මාර්ග භාවිතා කළ නොහැකි තත්ත්වයක් උද්ගතව තිබේ.
පුද්ගලික අංශයේ පාර්ශවකරුවන්ට 2022 දී ආහාර මෙට්‍රික් ටොන් මිලියනයක හිඟයක් මතුවනු ඇතැ යි ගණන් බලා ඇත.
අර්බුදයට පෙර සමග සැසඳීමේ දී එළවලු මිල දෙතුන්ගුණයකින් ඉහළගොස් තිබේ. එහෙයින් එළවළු සහ තවත් දේ වෙනුවෙන් පාරිභෝගිකයන් වියදම් කරන මුදල පහත වැටී තිබේ.
රජය සහල් මත මිල පාලනයක් පනවා ඇත. සහල් කිලෝග්‍රෑමයක් රුපියල් 210-260 අතර මිලකට අලෙවි වෙයි. පාරිභෝගිකයින් ද ඉතා අඩු මිලදීගැනීම් සඳහා යොමු වී ඇත.
ලෝක ආහාර වැඩ සටහනට අනුව, ශ්‍රී ලංකාවේ ප්‍රධාන ආර්ථික මධ්‍යස්ථානය වන දඹුල්ල වෙළඳපොළේ එළවලු අලෙවියෙහි 50%ක පමණ අඩුවීමක් දක්නට ඇත.
මිලියන පහකට ආසන්න ජනතාවක් හෙවත් ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් සියයට 22ක් ආහාර අනාරක්ෂිතව සහ ආධාර අවශ්‍යව සිටින බවට එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහන (WFP) පවසයි.
බොහෝ අඩු ආදායම්ලාභී පවුල් සඳහා එළවළු, පලතුරු සහ ප්‍රෝටීන් බහුල නිෂ්පාදන වැනි පෝෂ්‍යදායී ආහාර දැන් ලබා ගත නොහැක.
එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහනෙහි මෑත සමීක්ෂණවලින් පෙන්නුම් කළේ පවුල්වලින් සියයට 86 ක් අඩුවෙන් ආහාර ගැනීම, අඩු පෝෂ්‍යදායී ආහාර අනුභව කිරීම සහ ආහාර වේල් සම්පූර්ණයෙන්ම අත්හැරීම ඇතුළුව අවම වශයෙන් එක් සටන් යාන්ත්‍රණයකට යොමු වන බවට එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහන නිවේදනයක් නිකුත්කරමින් පැවසීය."ගැබිනි මව්වරුන් දිනපතා පෝෂ්‍යදායී ආහාර අනුභව කළ යුතු නමුත් දුප්පත්ම අයට මූලික අවශ්‍යතා සපුරාලීම දුෂ්කර හා ඉතාමත් දුෂ්කර යි. ඔවුන් ආහාර වේල මඟහරින විට ඔවුන් ඔවුන්ගේ සහ ඔවුන්ගේ දරුවන්ගේ සෞඛ්‍ය අවදානමට ලක් කරයි," කොළඹ හා ආසියා සහ පැසිෆික් කලාපය සඳහා WFP නියෝජ්‍ය ප්‍රාදේශීය අධ්‍යක්ෂ අන්තියා වෙබ් පැවසීය.
"නගරවල දුප්පත් පවුල් සහ වතුවල වැඩ කරන අයගේ ආදායම පහත වැටී ඇති අතර වෙළඳපල මිල ඉහළ ගොස් තිබේ. ගතවන සෑම දිනකම ගෝලීය වශයෙන් ආහාර සහ ඉන්ධන මිල ඉහළ යාමක් දක්නට ලැබෙන අතර, අප දැන් ක්‍රියා කිරීම අත්‍යවශ්‍ය වේ," යනුවෙන් ඇය වැඩිදුරත් සඳහන් කළාය.
නන් දෙසින් ආධාර
ලෝක ආහාර වැඩසටහනට (WFP) වෙත මේ වන විට ඩොලර් මිලියන 2.6ක් ලැබී ඇත. ඕස්ට්‍රේලියාවේ, ජපානයේ, සහ නවසීලන්තයේ ආණ්ඩුවලින් එම ආධාර ලැබී තිබේ.
වේගයෙන් උත්සන්න වන අවශ්‍යතා අනුව, ලෝක අහාර වැඩසහන එහි වර්තමාන ඩොලර් මිලියන 10 වැඩසටහන සංශෝධනය කිරීමටත්, 2022 දී තවත් ඩොලර් මිලියන 60ක් එකතු කිරීමටත්, එය දීර්ඝ කිරීමටත් පියවර ගෙන ඇත.
ඒ අනුව ආධාර ලබන ප්‍රතිලාභීන් 430 000, 2022 අවසානයේ මිලියන 3 දක්වා ළඟා වේ.
උද්ධමනය තවත් ඉහළට
ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මඟින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2022 අප්‍රේල් මාසයේ පැවති 33.8%හි සිට 2022 මැයි මාසයේ දී 45.3%ක් දක්වා ඉහළ ගියේ ය. මෙම අගය ඉහළ යෑම සඳහා ආහාර සහ ආහාර නොවන කාණ්ඩ දෙකෙහිම අයිතමවල මිල ගණන්හි සිදුවූ මාසික ඉහළයෑම් හේතු වී ඇත.
ඒ අනුව, ආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2022 අප්‍රේල් මාසයේ පැවති 45.1%හි සිට 2022 මැයි මාසයේ දී 58.0% දක්වා ඉහළ ගිය අතර, ආහාර නොවන කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2022 අප්‍රේල් මාසයේ පැවති 23.9%හි සිට 2022 මැයි මාසයේ දී 34.2% දක්වා ඉහළ ගියේ ය.
2022 මැයි මාසයේ දී ජා. පා. මිළ දර්ශකයෙහි මාසික වෙනස 9.67%ක් ලෙස වාර්තා වූ අතර, ආහාර සහ ආහාර නොවන කාණ්ඩ දෙකෙහිම අයිතමවල මිල ගණන් පිළිවෙළින්, 5.41%කින් සහ 4.26%කින් ඉහළයෑම මීට හේතු විය.
ආහාර කාණ්ඩය තුළ, සහල්, කිරිපිටි, එළවළු, නැවුම් මත්ස්‍ය සහ පාන් මිල ගණන් ඉහළගොස් තිබේ. ආහාර නොවන කාණ්ඩය තුළ 2022 මැයි මාසයේ දී, ප්‍රවාහන (පෙට්‍රල්, ඩීසල් සහ බස් ගාස්තු), නිවාස, ජලය, විදුලිය, ගෑස් සහ වෙනත් ඉන්ධන (නඩත්තු කටයුතු සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය/ පිළිසකරකිරීම් සහ එල්.පී. ගෑස්), ගෘහ භාණ්ඩ, ගෘහ උපකරණ සහ ගෘහ ඒකක නඩත්තුව, සහ විවිධ භාණ්ඩ සහ සේවා (මෝටර් රථ රක්‍ෂණ ගාස්තු සහ සබන්) යන උප කාණ්ඩයන්හි අයිතමවල මිල ගණන් ඉහළගොස් තිබේ.
වාර්ෂික සාමාන්‍ය උද්ධමනය 2022 අප්‍රේල් මාසයේ පැවති 13.0%හි සිට 2022 මැයි මාසයේ දී 16.3% දක්වා ඉහළ ගියේ ය.
ආර්ථිකයේ යටිදැරි උද්ධමනය පිළිබිඹු කරන වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත මූලික උද්ධමනය 2022 අප්‍රේල් මාසයේ පැවති 27.9%හි සිට 2022 මැයි මාසයේ දී 37.7% දක්වා ඉහළ ගිය අතර, වාර්ෂික සාමාන්‍ය මූලික උද්ධමනය 2022 අප්‍රේල් මාසයේ පැවති 10.2%හි සිට 2022 මැයි මාසයේ දී 13.0% දක්වා ඉහළ ගියේ ය.