"යුද්ධේ කරපු මහලොකු විරුවට එන්න කියපන් එළියට!" - හිරුණිකා ගෝටාභයට අභියෝග කරයි

කොළඹ , කොටුව ජනපති නිල නිවෙස ඉදිරිපිට අද (ජූලි 6) විරෝධතාවක් පැවැත්වූ සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුලු නව දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

කොටුව පොලීසිය අත්අඩංගුවට ගත් මෙම පිරිස මේ වන විට වරාය පොලීසියට ගෙනගොස් ඇත.අත්අඩංගුවට ගත් පිරිස අතර සමගි ජන බලවේගයේ තරුණ සංවිධානයේ උප සභාපති රෙහාන් ජයවික්‍රම, සමගි කාන්තා බලවේගයේ ලේකම්වරිය, උපසභාපතිනිය ද සිටිති. අත්අඩංගුවට පත්වූ බහුතරය කාන්තාවන්ය.

පිරිස ජනාධිපති මන්ධිරය ඉදිරියට රැස්ව තිබුණේ පවතින ආර්ථික අර්බුදය හමුවේ ජනතාවට විඳවීමට සිදුව ඇති දුෂ්කරතාවන්ට එරෙහි විරෝධය පෑමට ය.

මන්දිරයෙන් පිටතට පැමිණ තමා හමුවට එන්නැයි හිටපු මන්ත්‍රිනී ප්‍රේමචන්ද්‍ර ජනපතිට අභියෝග කළාය.

"රට කාපු පරයට, ළමයින්ට කන්න බොන්න නැතිකරපු පරයට, රටේ මිනිස්සුන්ට මහපාරේ පෝලිම්වල මැරිලා ඇදවැටෙනකොටත් පාර්ලිමේන්තුවේ ගිහින් බක බක ගගා හිනාවෙලා ඉන්න පරයට එන්න කියපන්!" ඇය ජනපති මන්දිර භූමියේ සිටි නිලධාරීන් හමුවේ පවසා සිටියා ය.

"යුද්දේ කරපු මහලොකු විරුවට එන්න කියපන් එළියට!" හිරුණීකා ප්‍රේමචන්ද්‍ර හඬ නඟන අයුරු වීඩියෝවල දක්නට ලැබේ.

"දැන් කියපන් ගෝටාභය රාජපක්ෂට එන්න කියලා. හිරුණිකා ඇවිල්ලා ඉන්නවා ගෑණු තුන් හතරදෙනෙක් එක්ක... උඹලා එකෙක්ටවත් හොයාගන්න බැරිවුණා මං මෙතෙන්ට එනකල්, මහලොකු බුද්ධි අංශ," ප්‍රේමචන්ද්‍ර ජනපති මන්දිරය ඉදිරියේ දී කෑගසා පැවසූවා ය.

ජනපති ගෝටාභය රාජපක්ෂගේ මිරිහාන නිවාස ඉදිරියේ ද උද්ඝෝෂණ කිරීමට පෙරමුණ ගත්තේ හිටපු මන්ත්‍රිනී ප්‍රේමචන්ද්‍ර ය.

ඇය පසුගිය දා කොටුව ප්‍රදේශයට ගිය අවස්ථාවක ද පොලීසිය මාර්ග බාධක දමා පොදු මාර්ගය අවහිර කරනු ලැබූ බවට සමාජ ක්‍රියාකාරීන් චෝදනා නැගීය.

ඒ අවස්ථාවේ දී තමා පැමිණියේ ජනපති හමුවට නොව බැංකුවක් වෙත යෑමට බව පැවසූ හිටපු මන්ත්‍රිනිය, ජනපති කාන්තාවන් කීපදෙනෙකුට බියව සිටින්නේ යැයි එහිදී ද ප්‍රකාශ කළා ය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ මිරිහාන නිවසට මෙන්ම, අනුරාධපුරයේ දේවාලයක් පවත්වාගෙන යන 'ඤාණා අක්කා "නමින් ප්‍රසිද්ධි කාන්තාවගේ නිවස අසලද හිරුණීකා ප්‍රේමචන්ද්‍ර ඇතුලු පිරිස මීට පෙර විරෝධතා පැවත්වූහ.

එහිදී ද පොලීසිය ඇතුලු ආරක්ෂක අංශ විරෝධතාකරුවන්ට නිවස දෙසට ඇතුලුවීම අවහර කළහ.අද දහවල් ජනාධීපති මන්ධිරය ඉදිරිපිට විරෝධතාකරුවන් අත්අඩංගුවට ගත් අවස්ථාවේ දී පොලිස් නිලධාරීන් විසින්, පිරිසගේ විරෝධය නොතකා ප්‍රේමචන්ද්‍රගේ දුරකථනය තම සන්තකයට ගැනීමට කටයුතු කළ අයුරු රෙහාන් ජයවික්‍රම සමාජ මාධ්‍ය වෙත නිකුත්කළ වීඩියෝවල දක්නට තිබේ.

"මහත්තයෝ කල්පනා කරලා බලන්න ගෙදර කන්න බොන්න තියෙනවා ද කියලා, අපිව උස්සන් එන්නේ පර බල්ලොයි කියලා." අත්අඩංගුවට පත් පිරිස අතර සිටි අයෙකු ප්‍රකාශ කළේ ය.

බස් රථය ජනපති නිල නිවෙස අසලින් පිටත්වන අවස්ථාවේ දී පිරිස පොලීසිය දෙසට හූ තැබීය.

මේ අතර සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් පිරිසක් විසින් සංවිධානය කරනු ලැබූ තවත් විරෝධතාවයක් අලුත්කඩේ සිට චැතම් වීදිය දක්වා පැමිණ තිබූ අතර පොලිස් මාර්ග බාධක බිඳ දමමින් ඉදිරියට ගමන් කිරීමට උත්සාහ කිරීමත් සමග එම විරෝධතාවය විසුරුවා හැරීම සඳහා පොලීසිය කදුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කර තිබේ.

පොලිස් ස්ථානයේ සිට රෙහාන් ජයවික්‍රම සමාජ මාධ්‍ය වෙත නිකුත්කළ වීඩියෝවක සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස පොලිස් ස්ථානයට පැමිණ සිටින අයුරු දැක්වුණ ද, මේ වන විට එම වීඩියෝව ඉවත්කොට තිබේ.