ශ්‍රී ලංකාවේ අර්බුදය: යුද වීරයින් දුෂ්ටයන් බවට පත්වූ හැටි

මිලියන 22ක ජනතාවගේ ජීවිත උඩු යටිකුරු කරන ආර්ථික අර්බුදයකින් ශ්‍රී ලංකාව පීඩා විඳිමින් සිටියි. සිවිල් යුද්ධය ජයග්‍රහණය කිරීමේ වීරයන් ලෙස බොහෝ දෙනා විසින් හුවා දැක්වෙන රාජපක්ෂ සහෝදරයෝ අද නායකයින් ලෙස හෑල්ලුවට ලක්ව සිටිති. මෙය සිදුවූයේ කෙසේ ද? ඊළඟට කුමක් සිදුවේ ද?

අප්‍රේල් මස මුල සිටම විරෝධතාකරුවන් ඉල්ලා සිටියේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ ඔහුගේ සහෝදරයා වන අගමැති මහින්ද රට ආර්ථික විනාශයකට ගෙනයාම නවතා ඉල්ලා අස්විය යුතු බව යි. නමුත් පසුගිය තෙසතිය තීරණාත්මක විය.

පළමුව, සිය ආධාරකරුවන් විසින් රට පුරා මාරාන්තික ගැටුම් ඇති කරමින් ආණ්ඩු විරෝධී විරෝධතාකරුවන්ට පහර දීමත් සමග මහින්ද රාජපක්ෂ ඉල්ලා අස්විය. දේශපාලනඥයන්ගේ නිවාස දුසිම් ගණනක් ගිනිබත් කෙරුණු අතර එයින් ඇතැම්වා රාජපක්ෂලාට අයත් විය.

මහින්ද රාජපක්ෂගේ නිල නිවස වන අරලියගහ මැදුර කෝප වූ ජනයා වැටලීමෙන් පසු එයින් ඉවත්ව යෑමට ඔහුට සිදුවිය.

ඔහු තම ආරක්ෂාව සඳහා ත්‍රිකුණාමලයේ නාවික හමුදා කඳවුරක රඳවනු ලැබිණි. දෙවරක් ජනාධිපති වූ ඔහු වැනි පුද්ගලයෙකුට දැඩි අවමානයක් ගෙනදෙමින්, ඔහුට රටින් පිටවීම ද උසාවියකින් තහනම් කෙරිණි.

ඔහු නික්ම ගිය ද, ඔහුගේ 72-හැවිරිදි බාල සොහොයුරා මත වැඩෙන පීඩනය ලිහිල් වූයේ නැත.

මේ වන විට ජනතාව වෙත යම් සහන ලබා දීමට ජනාධිපතිවරයාට සිදුවී ඇතත්, ඉල්ලා අස්වන ලෙස කරන ලද ඉල්ලීම් ඔහු නොසලකාහැර ඇත. ඔහු සතු විධායක බලතල කිහිපයක් පාර්ලිමේන්තුවට පැවරීමට ඔහු එකඟ වූ අතර, යෝජිත බහුපක්‍ෂ ආණ්‌ඩුව‌ මෙහෙයවීමට නව අගමැති ලෙස රනිල් වික්‍රමසිංහ පත්කර ගත්තේ ය.

නමුත් ඔහුගේ දේශපාලන අනාගතය තවමත් වැට උඩ පවතින අතර ඇතැමුන් විශ්වාස කරන්නේ ඔහුට ද ධුරය හැරයෑමට සිදුවීම වැඩි ඈතක නොවන බව යි.

බ්‍රිතාන්‍යයෙන් නිදහස ලැබීමෙන් පසු මුහුණදුන් දරුණුතම ආර්ථික අර්බුදයට පත්ව සිටින ශ්‍රී ලංකාවට තවත් දේශපාලන අස්ථාවරත්වයන් දරාගත නොහැකි ය. ඉහළ යන මිල ගණන්, ආහාර හා ඉන්ධන හිඟය හේතුවෙන් ජනතාව කෝපයෙන් දැවෙමින් සිටිති.

දශකයකට වැඩි කාලයක් ශ්‍රී ලංකා දේශපාලනයේ ආධිපත්‍යය දැරූ පවුලකට මෙය අහසින් බිමට වැටුනාක් මෙනි.

ඔහුගේ පළමු ජනාධිපතිධුර කාලය තුළදී ඇරඹී, 2009 දී කොටි ත්‍රස්තවාදීන් මර්දනය කර දශක තුනකට ආසන්න කාලයක් පැවති සිවිල් යුද්ධය අවසන් කළ මහින්ද රාජපක්ෂ, බහුතර සිංහලයන් විසින් වරක් වීරයෙකු ලෙස සලකනු ලැබීය.

යුද්ධය අවසන් වූ විගස පැවැත්වුණු ජයග්‍රාහී පෙළපාලි සහ මහජන උත්සවවල දී ඔහු පැරණි සිංහල බෞද්ධ රජවරුන්ට සමාන කෙරිණි.

"නිදහසින් පස්සේ ශ්‍රී ලංකාවේ හිටපු ජනප්‍රියම සිංහල බෞද්ධ නායකයා ඔහු යි. ඇතැමුන් ඔහුව මහරජාණන් ලෙස පවා හැඳින්වූවා," ප්‍රවීණ දේශපාලන විශ්ලේෂක කුසල් පෙරේරා පවසයි.

2017 වසරේ ඔහු විසින් රචිත Rajapaksa: The Sinhala Selfie කෘතියෙහි, මෙරට දේශපාලනය තුළ රාජපක්ෂ පවුලේ භූමිකාව සහ මහින්ද ක්‍රමයෙන් බලය ලබාගත් ආකාරය පෙරේරා පෙන්වා දෙයි.

මහින්දගේ පියා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ අතර මහින්ද ක්‍රමක්‍රමයෙන් පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකධුරයේ සිට 2004 දී අගමැති දක්වා ඉහළට පැමිණියේ ය.

ඉන් වසරකට පසුව ඔහු ජනාධිපති බවට පත්වූ විට ගෝඨාභය ආරක්ෂක ලේකම් බවට පත් කළේ ය. ශ්‍රී ලංකා හමුදා සේවයෙන් විශ්‍රාම ගොස් එක්සත් ජනපදයේ නිහඬ ජීවිතයක් ගතකළ ගෝඨාභයට එය විශාල වෘත්තීය පිම්මක් විය.

ගෝඨාභය සිය සොහොයුරාගේ ප්‍රචාරක ව්‍යාපාරය සඳහා නැවත පැමිණි අතර, එහිදී ප්‍රසිද්ධියට පත්වූයේ අනුකම්පා විරහිතභාවය පිළිබඳ කීර්තියක් අත්කර ගනිමිනි.

වැඩි කල් නොගොස් තවත් සහෝදරයන් සහ ඥාතීන් රජයට එකතු විය. රාජපක්ෂ අධිරාජ්‍යය පිහිටුවීමට හේතුභූත වූයේ පවුලේ මූලිකයා වූ මහින්ද ය.

මේ දක්වා සහෝදරයන් සෑමවිටම එකමුතුව සිටියේ ය. නමුත් මෑතක සිට ඔවුන් අතර ඉරිතැලීම් ඇතිවීම ඇරඹී තිබෙන බව පෙනෙන්නට තිබේ. විශේෂයෙන් විරෝධතාකරුවන්ගේ ඉල්ලීම් සමනය කිරීම සඳහා "අපි හැමෝම වෙනුවෙන් ඉවත් වන්නැ"යි ගෝඨාභය මහින්දගෙන් ඉල්ලා සිටීමෙන් පසුව එය ඇරඹුණ බවක් වාර්තාවෙයි.

තම බාල සොහොයුරා බලයට ගෙන ආ මිනිසාගෙන් එසේ ඉල්ලීම විශාල නින්දාවක් විය. ඔහුට තම දේශපාලන ජීවිතය අවසන් කිරීමට අවශ්‍යව තිබුණේ මේ ආකාරයට නොවන බව නිසැක ය.

"ඔහුට විරෝධතා හසුරුවාගන්න බැරිවුණා. තරුණ විරෝධතාකරුවෝ ඔහුව බිත්තියට හිරකරලා යන්න කියලා බල කළා. දැන් වයසත් එක්ක ආයේ [දේශපාලනයට] එන්න අමාරු යි," පෙරේරා කියයි.

මහින්දගේ වැඩිමහල් පුත් නාමල්, රාජපක්ෂ සහෝදරයන් අතර ප්‍රශ්නයක් ඇතැ යි යන මතය ප්‍රතික්ෂේප කරයි.

"නමුත් නියත වශයෙන්ම ජනාධිපතිවරයා සහ [හිටපු] අගමැති අතර ප්‍රතිපත්තිමය වෙනසක් තියෙනවා," නාමල් ඉල්ලා අස්වීමට පෙර BBCයට පැවසීය.

තම පියා සෑම විටම ගොවීන් සහ ජනතාව සමඟ සිටි බවත්, ගෝඨාභය රාජපක්ෂට "ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඡන්දයට වඩා පාවෙන ඡන්ද දෙස බලන" වෙනස් ප්‍රවේශයක් තිබූ බවත් ඔහු පැවසීය.

මහින්ද රාජපක්ෂ ඉල්ලා අස්වීම ගැන විරෝධතාකරුවෝ සතුටුවනවා විය හැකිමුත්, ගෝඨාභය ද එසේ කළ යුතු ය යන දැඩි අධිෂ්ඨානයෙන් පසුවෙති. නමුත් ඔහුගේ ආධාරකරුවන් එය ප්‍රතික්ෂේප කරයි.

"ඉතා සාධාරණ හේතු නිසා - අපි ඔක්කොම ඒ ගැන එකඟ යි - එළියේ අවුල් ඇතිවෙලා තිබුණට එයින් අදහස් වෙන්නේ නැහැ ඔහු ඉල්ලා අස්විය යුතු බව," හිටපු මාධ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා BBCයට පැවසීය.

2019 දී තමා බලයට පත්කළ ඡන්දදායකයින්ගේම සහයෝගය අහිමි වී සිටින ජනාධිපතිවරයා මීළඟට කුමක් සිදුකරයි ද යන්න පැහැදිලි නැත.

තමාට දෙවන ධුර කාලයක් සඳහා උනන්දුවක් නොමැති නමුත් ආර්ථික අර්බුදයෙන් රට ගොඩ ගැනීමට අවශ්‍ය බව රාජපක්ෂ ඔහුගේ සමීප පුද්ගලයින්ට පවසා ඇති බව වාර්තා වේ.

රාජපක්ෂ-විරෝධී මනෝභාවය රට තුළ පැතිරී ඇති හෙයින් එසේ සිදුකිරීමට ඔහුට ඉතිරිව ඇති විකල්පයන් සීමිත බව පෙනේ. මේ වන විට මුල්ලකට කොටුව ඇතත්, දැඩි ක්‍රියාමාර්ග පිළිබඳව ප්‍රසිද්ධියට පත් මෙම ජනාධිපතිවරයා බලයේ රැඳී සිටීම සඳහා හමුදාව භාවිතා කිරීමට උත්සාහ දරනු ඇතැ යි ද සැක මතුව පවතියි.

බරපතල මානව හිමිකම් කඩකිරීම්, සුළුජාතීන්ට අයහපත් ලෙස සැලකීම, සහ මාධ්‍ය වෙත මිනීමරු ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවුව ද, වසර ගණනාවක් තිස්සේ රාජපක්ෂවරු සිංහල ජනතාව අතර ඉමහත් ජනප්‍රියත්වයට පත්ව සිටියහ. සිංහල බහුතරය අතරින් වැඩි දෙනෙකු එදා ඊට එරෙහිව නැගී සිටියේ නැත.

නමුත් දැන් මුළු රටම දුක් විඳිමින් සිටියි. ජීවන වියදම් අර්බුදය නිසා වාර්ගික ප්‍රජාවන් එක්සත් වී ඇති අතර සිංහල විරෝධතාකරුවන් සුළුජාතීන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පවා හඬ නඟයි.

"ආර්ථික දුෂ්කරතාවය ඇත්ත වශයෙන්ම මහජාතියේ ප්‍රජාවට බලපෑව නිසා ඒ අය එකසැරේම වෙනස්වුණා. මම හිතන්නේ, දශක ගණනාවක් තිස්සේ බොහෝ දේවල්වලින් ගැලවෙන්නට සමත්වුණු රාජපක්ෂලා, මිනිස්සුන්ගේ මෙච්චර විශාල කේන්තියක් තිබීම ගැන පුදුම වුණා," මානව හිමිකම් නීතීඥ භවානි ෆොන්සේකා පවසයි.

එහෙත් රාජපක්ෂලා එතරම් පහසුවෙන් පාලනය අත්හැරීමට අකැමති වනු ඇත. ඔවුහු තම දේශපාලන අනාගතය ගැන පමණක් නොව, නව රජයක් බලයට පත්වූ විට තම ආරක්ෂාවට කුමක් සිදුවේ ද යන්න ගැන ද සැලකිලිමත් වන්නෝ ය.

මීළඟ අගමැති ලෙස රනිල් වික්‍රමසිංහ පත් කිරීමෙන්ම එය පැහැදිලි වේ. වික්‍රමසිංහ, රාජපක්ෂවරුන් සමග යහපත් සබඳතාවක් ඇත්තෙකු ලෙස සැලකෙයි.

කෙසේ වෙතත්, බොහෝ ශ්‍රී ලාංකිකයන් ජනාධිපතිවරයාගේ උපක්‍රම නිසා කලකිරී සිටින අතර, ඔවුන්ගේ ඉවසීම කෙමෙන් ගිලිහී යමින් පවතියි.

ස්ථාවර රජයක් නොමැතිව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ණය සම්බන්ධ සාකච්ඡා සිදුකිරීම හෝ ණය ප්‍රතිව්‍යුහගත කිරීම අපහසු වනු ඇත. නමුත් මීළඟට පත්වන ආණ්ඩුව ඉක්මණින්ම එය ඉටුනොකළහොත් විදුලි කප්පාදුව හා ඉන්ධන හිඟයන් දීර්ඝ හා බරපතල වනු හැකි ය.

"මේ රට කවුරු පාලනය කළත් අපට අවශ්‍ය අපේ මූලික අවශ්‍යතා සපුරාගන්න එක විතරයි," කොළඹ පදිංචිකාරිණියක් වන චාන්දනී මානෙල් පවසන්නී ය.

"මට කන්න දෙන්න දරුවෝ දෙන්නෙක් ඉන්නවා, බලාගන්න පවුලක් ඉන්නවා. දේශපාලකයින්ට තමන්ගේ ධනයෙන් ජීවත් වුණාට අපිට එහෙම බෑ," ඇය කියා සිටියි.