රංජිත් සියඹලාපිටිය යළි නියෝජ්‍ය කතානායකධුරයට පත්වීමෙන් හෙළි වන්නේ කුමක්ද?

අද (මැයි 5) සුළු මොහොතකට පෙර රංජිත් සියඹලාපිටිය නියෝජ්‍ය කතානායකධුරය සඳහා වැඩි ඡන්දයෙන් යළි තේරී පත්විය. යළි නියෝජ්‍ය කතානායකධුරයට පත්වීමෙන් පසු රංජිත් සියඹලාපිටිය පවසා සිටියේ විපක්ෂය අරගලය පාවා දුන් බවකි. නමුත්, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස චෝදනා කළේ "අද විවිධ කණ්ඩායම්වල පැටිකිරිය හෙළිවූ" බවයි.

රංජිත් සියඹලාපිටිය ඡන්ද 148ක් ලබාගත් අතර, ඉමිතියාස් බාකීර් මාකර්ට හිමිවූයේ ඡන්ද 65කි. ඡන්ද තුනක් ප්‍රතික්ෂේප විය.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අටදෙනෙක් නියෝජ්‍ය කතානායකවරයා තෝරා පත් කර ගැනීමේ ඡන්ද විමසීමට පැමිණ සිටියේ නැති අතර ඒ මයන්ත දිසානායක, උද්දික ප්‍රේමරත්න, සී.වී විග්නේෂ්වරන්, විමල් වීරවංශ, ආර්.සම්පන්ධන්, ජෝන් සෙනෙවිරත්න, විනෝ රාධලිංගම්, ඉම්රාන් මහරූෆ් යන මන්ත්‍රීවරුන් අටදෙනායි.

ඡන්දය පාවිච්චි නොකළ අනෙක් මන්ත්‍රීවරයා වන්නේ කතානායක මහින්ද යාපා අබේවර්ධනයි.

නියොජ්‍ය කතානායකධුරය සඳහා නිමල් සිරිපාල ද සිල්වා රංජිත් සියඹලාපිටියගේ නම යොජනා කළ අතර සුසිල් ප්‍රේමජයන්ත එම යෝජනාව ස්ථිර කළේ ය.

රංජිත් සියඹලාපිටිය මෙම ධුරයට පත් කිරීමට ආණ්ඩුවේ සහාය ලබාදෙන බව අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් සඳහන් කළේ ය.

සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර කියා සිටියේ, රංජිත් සියඹලාපිටියට සහාය දීමට ආණ්ඩුව තීරණය කර ඇති බැවින් තමන් වෙනත් අපේක්ෂකයෙකු යොජනා කරන බව යි.

ඒ අනුව ඔහු ඉමිතියාස් බාකීර් මාකර් මන්ත්‍රීවරයාගේ නම යෝජනා කළ අතර, ලක්ෂ්මන් කිරිඇල්ල එම යෝජනාව ස්ථිර කළේ ය.

විපක්ෂයේ එකමුතු බලවේගයක් නිර්මාණය කිරීම තම අරමුණ වුවත් විපක්ෂය ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන නොගැනීම ගැන තමන් බලවත් කණගාටුව පළකරන බවත් නියෝජ්‍ය කතානායක ලෙස අද නැවතත් තේරීපත්වූ රංජිත් සියඹලාපිටිය ඡන්ද විමසීමෙන් පසු පාර්ලිමේන්තුවට පැවසීය.ඔහු තවදුරත් පැවසුවේ මෙය "අර්බුදකාරී අවස්ථාවේ සටන පාවා දීමක් බවයි".

"අද උදෑසන වන විටත් තිබුණේ විපක්ෂයේ ද එකමුතුවෙන් මගේ නම යෝජනා කරන ස්වරූපයක්. අප විපක්ෂයට යාම, අද තත්ත්වය නිසා කිසි සේත්ම වෙනස් වන්නේ නැහැ," යනුවෙන් ද ඔහු වැඩිදුරත් පැවසිය.

නමුත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස චෝදනා කළේ, "අද විවිධ කණ්ඩායම්වල පැටිකිරිය හෙළිවූ" බවයි.

"අද සියඹලාපිටිය ආණ්ඩුවේ අතකොලුවක්, ආණ්ඩුවේ හෙන්චයියෙකු කියලා තෙරුණා," ඔහු චෝදනා කළේ ය.

"මේ වෙලාවේ මේ පාර්ලිමේන්තුවේ සිදුවන්නේ දේශපාලන ගේම්. අපි පැහැදිලිව ජනාධිපතිට විරුද්ධ යි. අගමැතිවරයාට විරුද්ධ යි. ආණ්ඩුවට විරුද්ධ යි. විරුද්ධ යි, විරුද්ධ යි, විරුද්ධ යි," සජිත් ප්‍රේමදාස පැවසීය.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඉමිතියාස් බාකිර් මාකර් කියා සිටියේ පාර්ලිමේන්තුව ඇතුළේ කෘතිම විදියට මොන විදියේ රඟපෑම් කළත් වැඩක් නොමැති බවයි.

"මේ සභාව ජනතාවගේ හඬ නියෝජනය කරන මධ්‍යස්ථානයක් විය යුතුයි. එහි හරස්කඩක් විය යුතුයි. ඒ නිසා මෙම වෙලාවෙ දි එම විශ්වාසනීයත්වය රැකගන්න බැරිවුනොත් එතන ප්‍රශ්නාර්ථයක්. "

"අද මේ පාලනයට එරෙහිව මේ රටේ ජන මතය යන අවස්ථාවෙදි මේ ඡන්දය පාවිච්චි කිරීම මට තේරුම් ගැනීමට බැරි දෙයක්. අපේ රටේ ජන මතයට ගරු කරමින් ඒ ප්‍රවනතාවය පෙන්නුම් කරමින් නිර්භීතව මේ අවස්ථාවේ දි ඡන්දය ප්‍රකාශ කළ මන්ත්‍රීවරුන්ට නැවතත් මගෙ ප්‍රණාමය පුද කරනවා."

"දැන්වත් මේ රටේ ජනතාවගේ හඬ තේරුම් ගන්න බලන්න. නැතිනම් පාර්ලිමේන්තුවේ විශ්වාසනීයත්වය නැති වෙනවා. ඒ තුළින් අපේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයට අභියෝගයක් ඇති වෙනවා."

"මේ සභාව ඇතුළෙ කෘත්‍රිම විදිහට මොන රඟපෑම් කළත් වැඩක් නෑ මේ රටේ ජනතාවගේ හඬ තේරුම් ගත්තෙ නැතිනම්. අන්න ඒක අවබෝධ කරගන්න කියලා ඉල්ලනවා"

පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා තම ට්විටර් ගිණුමේ සටහනක් තබමින් පැවසුවේ "අද පොදුජන පක්ෂයේ ගෝඨාභය රාජපක්ෂ සහ ඊනියා ස්වාධීන කණ්ඩායම අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 148 දෙනෙකු තම 'පොදු අපේක්ෂකයාට' සහය දීමේ 'ඩීල්' එකෙන් පැහැදිලි සාක්ෂියක් වන්නේ විපක්ෂයේ මන්ත්‍රීවරුන් 65 දෙනා පමණක් ජනතාව සමඟ සිට ඔවුන්ගේ #GoHomeGota හා #GoHomeRajapakshas අරගලයට සහය දෙන බවයි.

ද්‍රවිඩ සන්ධානයේ මන්ත්‍රී එම ඒ සුමන්දිරන් පවසුවේ "සියඹලාපිටිය වෙනුවට සියඹලාපිටිය! ගණන් ගැනීම දැන් පැහැදිලියි. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සැබෑ විපක්ෂය 65 (සමහරවිට අද නොපැමිණි තවත් +5) යි. "ස්වධිනවුවන්ගේ" නාටකය අද හෙළිදරව් විය."

"ශ්‍රීලනිපය සහ "විසම්මුතිකයින්" අද තවදුරටත් හෙළිදරව් වී ඇත්තේ ජනාධිපතිවරයාට එරෙහි විශ්වාසභංගය ප්‍රමාද කිරීමට ඔවුන්ට අවශ්‍ය බැවිනි. ඔවුන්ට අවශ්‍ය වී ඇත්තේ රජයට එරෙහි විශ්වාසභංග යෝජනාව මුලින්ම ගෙන ඒමට අවශ්‍ය වන්නේ "වෙනසක්" පෙන්වා ජනතාව ගොනාට අන්දවා නැවත ගෝඨාභය රාජපක්ෂ යටතේ තම තනතුරු ලබා ගැනීමටයි."

නිතීඥ ගෙහාන් ගුණතිලක පවසන්නේ "ඔබගේ දේශපාලන නැඹුරුව කුමක් වුවත්, කරුණු සෘජු යි: ජනතා විරෝධය සමග සිටින්නේ මන්ත්‍රීවරුන් 65ක් පමණයි, ජනාධිපතිවරයා ඉල්ලා අස්විය යුතු යැයි කියන මන්ත්‍රීවරුන් සිටින්නේ 65ක් පමණි, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම වෙනුවෙන් පෙනී සිටින්නේ මන්ත්‍රීවරුන් 65ක් පමණයි."

මේ අතර හරිනි අමරසූරිය පැවසුවේ "නියෝජ්‍ය කථානායකවරයා ලෙස රංජිත් සියඹලාපිටියගේ ඡන්දය ආණ්ඩුව කරකැවුයේ රජය කෙරෙහි විශ්වාසය පළ කිරීමක් වශයෙනි. පාර්ලිමේන්තුවෙන් පිටත සිදුවන දේ ගැන රජය තේරුම් ගන්නේ කෙතරම් අල්පවශයෙන්ද යන්න සහ ඔවුන් කොතරම් සැලකිල්ලක් නොදක්වන්නේද යන්න මෙයින් පෙන්නුම් කරයි."

මේ අතර ද්‍රවිඩ සන්ධානයේ මන්ත්‍රී ශානක්‍යන් රාසමනික්කම් පවසුවේ හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ හා හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන ගේ ක්‍රියාකලාපයන් ගැන ලැජ්ජාවන බවයි.

නිතීඥ සුරේන් ප්‍රනාන්දු පැවසුවේ "නියෝජ්‍ය කතානායක වරයා නියෝජ්‍ය කථානායක ධූරයට තරඟ කිරීමට ඉල්ලා අස්වෙයි... ස්වාධීන මන්ත‍්‍රීවරු ආණ්ඩුව සමග එකට වැඩ කරන්න ආණ්ඩුවෙන් ඉවත් වෙයි, හිටපු නියෝජ්‍ය කථානායකවරයා තවමත් නියෝජ්‍ය කථානායකවරයා වන අතර "ස්වාධීන මන්ත්‍රීවරුන්" තවමත් රජයේ මන්ත්‍රීවරුන්ය. ජනතාව නියෝජනය කිරීමට විපක්ෂයේ මන්ත්‍රීවරුන් 65ක් ඉතිරිව සිටිති."