"අද පවතින මෙම අර්බුදය ජනතාව ඉල්ලූ ඒ System Change එක කරන්න හොඳ අවස්ථාවක්"

නව කැබිනට් අමාත්‍යවරුන් 17 දෙනෙකු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ අද (අප්‍රේල් 18 වැනිදා) පෙරවරුවේ දිවුරුම් දුන්හ.

මේ අතර ශ්‍රී ලංකාව IMF වැඩසටහනකට යා යුතුව තිබුණේ මීට පෙර බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද ප්‍රකාශ කළ බවත් ගොවීන්ට රසායනික පොහොර ලබා නොදීම වරදක් යැයි තමා සිතන බවත් රජය නැවතත් රසායනික පොහොර ලබා දෙන බවට අද පෙරවරුවේ අමාත්‍යවරුන් දිව්රුම් දෙන අවස්ථාවට එක්වෙමින් ජනාධිපතිවරයා අද සඳහන් කළේය.

ඔහු තවදුරටත් පැවසුවේ "අද පවතින මෙම අර්බුදය ජනතාව ඉල්ලූ ඒ System Change එක කරන්න හොඳ අවස්ථාවක්. තමුන්නාන්සේලාට ඒ අවස්ථාව ලැබිලා තිබෙනවා. ඒ එක්කම මම මේ තරුණයන්ගෙන් ඉල්ලා සිටිනවා එයට උපකාර කරන්න කියලා."

එම නව අමාත්‍යවරුන් දිවුරුම් දීමෙන් අනතුරුව ජනපතිවරයා තවදුරටත් පැවසුවේ ඇමති තනතුර වරප්‍රසාදයක් නොවන බවත් එය විශාල වගකීමක් බවයි.

ඒ අතර ඔහු නව අමාත්‍යවරුන්ගෙන් ඉල්ලා සිටියේ කිසිඳු අමතර වරප්‍රසාදයක් භාවිතා නොකර අවංක, කාර්යක්ෂම, පිරිසිදු පාලනයකට කැපවන ලෙසයි.

"තමන් යටතේ ඇති ආයතන දූෂණයෙන් තොර, ජනතා සේවයට කැපවුණු ආයතන බවට පත් කළ යුතුයි. බොහෝ ආයතන බරපතළ මූල්‍ය අර්බුද තත්ත්වයක පවතින හෙයින් රැකියාවලින් ඒවා පිරවීමට කටයුතු නොකර, රැකියා නිෂ්පාදනය කරන ආයතන බවට පත් කිරීම අමාත්‍යවරයා සතු වගකීමක්" බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පැවසීය.

"ආර්ථික අර්බුදය නිසා මතු වූ ගැටලු රාශියකින් ජනතාව පීඩාවට පත්ව සිටිති. ඒ පිළිබඳ කනගාටු වන බව සඳහන් කළ ජනාධිපතිතුමා වර්තමාන අභියෝග සහ දුෂ්කරතා කළමනාකරණය කිරීමේ වගකීම පැහැර නොහරින බවත්," නව කැබිනට් අමාත්‍යවරු අමතා ජනාධිපතිතුමා සඳහන් කළේය.

ජනතාව පත්වී ඇති දුෂ්කරතාවයෙන් අයුතු ප්‍රයෝජන ලබන ජාවාරම්කරුවන් පිරිසක් බිහි වී සිටින බව පැවසූ ජනපතිවරයා පැවසුවේ මෙම තත්ත්වය පාලනය කිරීමට රජය මැදිහත් වන බවයි.

දේශපාලන හේතු මත දශක ගණනාවක් පුරා ප්‍රමාද වූ ඇතැම් තීන්දු තීරණ කොපමණ දුෂ්කර වුවත් ගත යුතුව ඇති බවද ඔහු තවදුරටත් පෙන්වා දුනි.

"මේ ආර්ථික අර්බුදය නිසා මතුවූ ගැටලු රාශියකින් අද ජනතාව පීඩනයට පත්ව තිබෙනවා. ඒ ගැන මම ඉතාමත්ම කණගාටු වෙනවා," යනුවෙන් ඔහු තවදුරටත් පැවසීය.

"ජීවන වියදම දරාගත නොහැකිව සිටින ජනතාවට අත්‍යාවශ්‍ය භාණ්ඩ ලබා ගැනීම සඳහා පෝලිම්වල කාලය ගත කිරීමට සිදුවීමෙන් ඇතිවන වේදනාව, අසහනය හා කෝපය ඉතාමත් සාධාරණයි."

"අතීතයේ කුමන අඩුපාඩු සිදු වී තිබුන ද, වර්තමාන අභියෝගයන් සහ දුෂ්කරතාවන් කළමනාකරණය කිරීමේ වගකීම තිබෙන්නේ ජනතාව විසින් තෝරා පත්කළ ජනාධිපතිවරයා වන මා අතයි. කුමන දුෂ්කරතාවයක් හෝ අභියෝගයක් මධ්‍යයේ වුවත් මා ඒ වගකීම පැහැර හරින්නේ නැති බව මා පත්කළ ජනතාවට මම පොරොන්දු වෙනවා," යනුවෙන් ජනපතිවරයා පැවසීය.

"මේ වන විට සමාජය මුහුණ දෙන විවිධ ගැටලු අතුරින් අපේ ප්‍රමුඛතාව වන්නේ ආර්ථික අර්බුදයට විසඳුම් සෙවීමයි. එය විසඳන්නේ නැතුව අනෙක් කිසිදු ගැටලුවක් විසඳන්නට බැහැ. ඒ නිසා රටේ ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීම සඳහා අවශ්‍ය වැදගත් තීන්දු කිහිපයක්ම මේ වන විටත් මා විසින් ගෙන තිබෙනවා."

ජනපතිවරයා තවදුරටත් පැවසුවේ ජනතාව විසින් තෝරා පත්කළ ජනාධිපතිවරයා ලෙස තමා හැමවිටම කටයුතු කරන්නේ ව්‍යවස්ථානුකූලව හා ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුළ බවයි.

"රටේ ව්‍යවස්ථාදායක බලය තිබෙන්නේ පාර්ලිමේන්තුව සතුවයි. ඒ නිසා ව්‍යවස්ථාවේ සිදුවිය යුතු වෙනස්කම් ගැන මෑතකාලීනව විවිධ දේශපාලන පක්ෂ විසින් ප්‍රකාශ කරන ලද අදහස් පාර්ලිමේන්තුව තුළ සාකච්ඡා කොට අවශ්‍ය වෙනස්කම් සම්මත කරගැනීමට අවකාශය තිබෙනවා. ඒ සම්බන්ධයෙන් අවශ්‍ය සහාය ඕනෑම අවස්ථාවක පාර්ලිමේන්තුවට ලබා දීමට මම සූදානම්."

"ඒ අනුව රටේ උත්තරීතර ව්‍යවස්ථාවට ගරු කරමින්, ඉදිරියටත් අවශ්‍ය වෙනස්කම් සිදු කොට මේ අර්බුදයෙන් රට මුදා ගැනීමට මා ඔබට පොරොන්දු වෙන අතර ඒ සඳහා ජනතාවගෙන් අවශ්‍ය සහාය ලබා දෙන ලෙස, මම ඔබ සියලු දෙනාගෙන් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිනවා." යනුවෙන් ඔහු පැවසීය.

ජනපතිවරයා මෙම නව අමාත්‍යරුන් 17 දෙනා පත්කෙරුණේ අප්‍රේල් මස තුන්වනදා අගමැති මහින්ද රාජපක්ෂ හැර කැබිනට් මණ්ඩලයේ සෙසු අමාත්‍යවරුන් තම ධූරවලින් ඉල්ලා අස්වීමෙන් ඇතිවූ පුරප්පාඩු වූ අමාත්‍ය මණ්ඩලය පිහිටුවීමටයි.

මෙයට පෙර ජනපතිවරයා නිවේදනයක් නිකුත් කරමින් පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ වලින් ඉල්ලා සිටියේ උද්ගතව ඇති ජාතික අර්බුදයට විසඳුම් සෙවීමට එක්වන ලෙසයි.

එහෙත් අද පත්කළ කැබිනට මණ්ඩලයට ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසස් ජාතික ලැයිස්තු මන්ත්‍රී නසීර් අහමඩ් හැර වෙනත් පක්ෂ වලින් කිසිවකු පත් වී නොමැත.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් සහ මුදල් අමාත්‍ය අලි සබ්රි දැරූ අමාත්‍ය ධුරවල සංශෝධනයක් නොවන බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේය.

ඒ අනුව නව කැබිනට් මණ්ඩලය මෙසේය.

  • දිනෙෂ් ගුණවර්ධන - ස්වදේශ කටයුතු, පළාත් සභා පළාත් පාලන අමාත්‍ය
  • ඩග්ලස් දේවානන්ද - ධීවර අමාත්‍ය
  • වෛද්‍ය රමේෂ් පතිරණ - අධ්‍යාපන, වැවිලි කර්මාන්ත අමාත්‍ය
  • ප්‍රසන්න රණතුංග - මහජන ආරක්ෂක, සංචාරක අමාත්‍ය
  • දිලුම් අමුණුගම - ප්‍රවාහන , කර්මාන්ත අමාත්‍ය
  • කනක හේරත් - මහාමාර්ග අමාත්‍ය
  • විදුර වික්‍රමනායක - කම්කරු අමාත්‍ය
  • ජානක වක්කුඹුර - කෘෂි කර්ම , වාරි මාර්ග අමාත්‍ය
  • ශෙහාන් සේමසිංහ - වෙළෙඳ අමාත්‍ය, සමෘද්ධි සංවර්ධන අමාත්‍ය
  • මොහාන් ප්‍රියදර්ශන සිල්වා - ජල සම්පාදන අමාත්‍ය
  • විමලවීර දිසානායක - වනජීවී සහ වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය
  • කංචන විජේසේකර - බලශක්ති , විදුලිබල අමාත්‍ය
  • තේනුක විදානගමගේ - තරුණ හා ක්‍රීඩා අමාත්‍ය
  • ආචාර්ය නාලක ගොඩහේවා - ජනමාධ්‍ය අමාත්‍ය
  • මහාචාර්ය චන්න ජයසුමන - සෞඛ්‍ය අමාත්‍ය
  • නසීර් අහමඩ් - පරිසර අමාත්‍ය
  • ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් - වරාය හා නාවික අමාත්‍ය

රාජ්‍ය අමාත්‍යවරුන් 24 දෙනෙකු ජනපති ඉදිරියේ දිව්රුම් දෙති:

  • මහාචාර්ය ජී.එල් පීරිස් - ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය
  • රෝහණ දිසානායක - පළාත් සභා හා පළාත් පාලන
  • අරුන්දික ප්‍රනාන්දු - වැවිලි රාජ්‍ය අමාත්‍ය
  • ලොහාන් රත්වත්තේ - නාගාරික සංවර්ධන රාජ්‍ය අමාත්‍ය
  • තාරක බාලසුරිය - විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය
  • ඉන්දික අනුරුද්ධ - නිවාස රාජ්‍ය අමාත්‍ය
  • සනත් නිශාන්ත - ජලසම්පාදන රාජ්‍ය අමාත්‍ය
  • සිරිපාල ගම්ලත් - මහවැලි රාජ්‍ය අමාත්‍ය
  • අනුරාධ ජයරත්න - වාරිමාර්ග රාජ්‍ය අමාත්‍ය
  • සිසිර ජයකොඩි - දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය
  • ප්‍රසන්න රණවීර - කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය
  • ඩී.වී චානක - සංචාරක රාජ්‍ය අමාත්‍ය , ධීවර රාජ්‍ය අමාත්‍ය
  • ඩී.බී හේරත් - පශු සම්පත් රාජ්‍ය අමාත්‍ය
  • කාදර් මස්තාන් - ග්‍රාමීය ආර්ථීක භෝග වගා හා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය
  • අශෝක ප්‍රියන්ත - වෙළෙඳ රාජ්‍ය අමාත්‍ය
  • ඒ.අරවින්ද කුමාර් - වතු නිවාස හා ප්‍රජා යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය
  • ගීතා කුමාරසිංහ - සංස්කෘතික හා ප්‍රාසාංගික කලා රාජ්‍ය අමාත්‍ය
  • ගුණපාල රත්නසේකර - සමූපකාර සේවා, අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය
  • කපිල නුවන් අතුකෝරල - සුළු අපනයන වැවිලි භෝග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය
  • ගයාෂාන් නවනන්ද - සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය
  • සුරේන් රාඝවන් - අධ්‍යාපන සේවා ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය
  • ඩයනා ගමගේ -ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යවරිය
  • සීතා අරඹේපොළ - අධ්‍යාපන හා තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය
  • විජිත බේරුගොඩ - වරාය හා නාවික රාජ්‍ය අමාත්‍ය