අගමැති හැර කැබිනට් මණ්ඩලයේ සෙසු අමාත්‍යවරුන් තම ධූරවලින් ඉල්ලා අස්වෙලාද?

කැබිනට් මණ්ඩලය ඉල්ලා අස්වෙයි.

ඡායාරූප මූලාශ්‍රය, Presidnets office

කැබිනට් මණ්ඩලයේ සියලු අමාත්‍යවරුන් තම අමාත්‍ය ධුර වලින් ඉල්ලා අස්වීමේ ලිපි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ වෙත භාර දී ඇති බවට රජයේ ප්‍රකාශකයකු බීබීසී සිංහල සේවය සමග පැවසීය එහෙත් නීති විශාරදයන් පවසන්නේ ඉලා අස්වීම නිත්‍යානුකුල වීමටනම් එය ජනපතිවරයාට බැහැරදිය යුතු බවයි.

කෙසේවෙතත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ තවදුරටත් අග්‍රාමාත්‍ය ධුරය දරණ බව අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මාධ්‍ය වෙත පැවසීය.

ඔහු පවසා සිටියේ සෙසු සියලු අමාත්‍යවරුන් ඉල්ලා අස්වීමේ ලිපි අග්‍රාමාත්‍යවරයා වෙත භාර දුන් බවයි.

පාර්ලිමේන්තුවේත් රටේත් කටයුතු පවත්වාගෙන යාමට අමාත්‍යවරු හතර දෙනෙක්

අද උදෑසන ජනපතිවරයා නිවේදනයක් නිකුත් කරමින් පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ වලින් ඉල්ලා සිටියේ උද්ගතව ඇති ජාතික අර්බුදයට විසඳුම් සෙවීමට එක්වන ලෙසයි

"ආර්ථික හා ගෝලීය කාරණා කිහිපයක් හේතුවෙන් වත්මන් අර්බුදකාරී තත්ත්වය හටගෙන තිබේ. ආසියාවේ ප්‍රජාතන්ත්‍රවාදී රටවල් අතර ප්‍රධාන පෙළේ රටක් ලෙස ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය තුළම ඊට විසඳුම් සෙවිය යුතුව ඇත."

"සමස්ත රටවැසියන් සහ උපනූපන් අනාගත පරපුර වෙනුවෙන් ජාතික අවශ්‍යතාවයක් ලෙස එකමුතුව ක්‍රියාකළ යුතුව තිබේ. ඒ සඳහා අමාත්‍ය ධුර භාරගෙන ජාතික අර්බුදයට විසඳුම් සෙවීමට එක්වන ලෙස පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂවලට ජනාධිපතිතුමා ඇරයුම් කර සිටියි," යනුවෙන් එම නිවේදනයේ සඳහන් වේ.

මේ අතර ඊට පැය කිහිපයකට පසු ජනතිපති මාධ්‍ය අංශය තවත් නිවේදනයක් නිකුත් කරමින් කැබිනට් මණ්ඩලයක් පත් වන තෙක් පාර්ලිමේන්තුවේ සහ රටේ අනිකුත් කටයුතු නීත්‍යානුකූලව ස්ථාවරව පවත්වාගෙන යාම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අමාත්‍යවරු හතර දෙනෙකු අද (අප්‍රේල් 4) පෙරවරුවේ පත් කරන ලද බවට පැවසීය.

"විදේශ කටයුතු සහ මුදල් කටයුතු අමාත්‍ය ධුර සහ පාර්ලිමේන්තුව පවත්වාගෙන යාම සඳහා සභානායකවරයෙක් සහ ප්‍රධාන සංවිධායකවරයෙක් පත් කර ගැනීම්ට අවශ්‍ය බැවින් මෙම ඇමතිවරුන්ගේ පත් කිරීම් සිදු කරන ලදී."

"රටේ පවතින ජාතික අභියෝග විසඳා ගැනීම සඳහා දායකත්වය ලබා දෙන ලෙස ජනාධිපතිතුමා දැනටමත් පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම දේශපාලන පක්ෂ වලින් ඉල්ලීමක් කර ඇත. ඔවුන් සමඟ ඉදිරියේදී සාකච්ඡා කර ස්ථිර කැබිනට් මණ්ඩලයක් පත් කිරීමට නියමිතයි," එහි වැඩිදුරටත් සඳහන් විය.

"රටක් ලෙස මුහුණ දෙන ආර්ථික අභියෝග ජයග්‍රහණය කර ගැනීමමට සහ රට ස්ථාවරව පවත්වාගෙන යාම යාමට සමස්ත ජනතාවගේ සහායද ජන ජනාධිපතිතුමා ඉල්ලා සිටියි."

කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේදී අද පෙරවරුවේ ජනාධිපතිතුමා ඉදිරියේ දිවුරුම් දුන් අමාත්‍යවරුන්:

  • දිනේෂ් ගුණවර්ධන- අධ්‍යාපන පාර්ලිමේන්තුවේ සභානායකවරයා
  • මහාචාර්ය ජී එල් පීරිස්- විදේශ කටයුතු
  • ජොන්ස්ටන් ප්‍රනාන්දු- මහාමාර්ග පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක
  • අලි සබ්රි- මුදල්

මේ අතර රාජ්‍ය අමාත්‍යවරුන් වන පියංකර ජයරත්න, ලසන්ත අලගියවන්න සහ දුමින්ද දිසානායක හා දයාසිරි ජයසේකර සිය රාජ්‍ය අමාත්‍යධුරවලින් ඉල්ලා අස්වී තිබේ.

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රකාශ කළේ තම මන්ත්‍රී කණ්ඩායම ආණ්ඩුවෙන් ඉවත් වී පාර්ලිමේන්තුව තුළ ස්වාධීනව කටයුතු කිරීමට තීරණය කර තිබෙන බවයි.

නාමල් රාජපක්ෂ

ඡායාරූප මූලාශ්‍රය, NAmal Rajapaksa

තරුණ හා ක‍්‍රීඩා, සංවර්ධන සම්බන්ධීකරණ හා අධීක්ෂණ සහ ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ තම අමාත්‍ය තනතුරු වලින් ඉල්ලා අස්වූ බවට අමාත්‍යවරයාගේ ප්‍රකාශකයකු බීබීසී සිංහල සේවයට පැවසීය.

Skip X post, 1
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of X post, 1

මේ අතර අමාත්‍ය නාමල් රාජපක්ෂගේ බිරිද, දරුවා හා බිරිදගේ පවුලේ සාමාජිකයන් ඉරිදා උදැසන රහසිගතව විදේශගත වී ඇති බවට මාධ්‍ය වාර්තා කළ අතර නාමල් රාජපක්ෂ බීබීසී සිංහල සේවය සමග පැවසුවේ ඔහු හෝ තම පවුලේ කිසිවකු ප්‍රශ්න වලින් පැන දුවන්නේ නොමැති බවයි.

ඔහු තවදුරටත් පැවසුවේ තම බිරිදගේ දෙමව්පියන් වසර 38ක පමණ සිට සංචාරක ව්‍යාපාරයේ යෙදෙන බැවින් ඔවුන් මේ වන විට සංචාරක කටයුත්තක් සඳහා නම හෙළි නොකළ යුරෝපයේ රටකට ගොස් සිටින බවයි.

රාජ්‍ය අමාත්‍ය රෝෂාන් රණසිංහ ද ඊයේ සිය රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් මෙයට පෙර ඉල්ලා අස්විය.

මේ අතර නිතීඥ සංගමයේ සභාපති ජනාධිපති නිතීඥ සාලිය පීරිස් මුහුණුපොතේ තම ගිණුමේ සටහනක් තබමින් පවසන්නේ අමාත්‍යවරුන්ගේ මෙම ඉල්ලා අස්වීම බල රහිත බවත් රටේ දැනටත් පැනනැගී ඇති අවිනිශ්චිතතාවය තවදුරත් මෙයින් වැඩි කර ඇති බවයි.

"කැබිනට් අමාත්‍යවරු සිය ඉල්ලා අස්වීම අගමැතිවරයාට නොව ජනාධිපතිවරයාට භාර දුන් විට ධූර දැරීම නවතියි. අමාත්‍යවරුන් සිය ඉල්ලා අස්වීම අග්‍රාමාත්‍යවරයා වෙත භාරදුන් බව අද දෙරණ පවසයි. එසේ නම් ඉල්ලා අස්වීම්වලට නීතිමය බලපෑමක් නැත. ජනාධිපතිතුමා, අගමැතිතුමා ඇතුළු අමාත්‍ය මණ්ඩලය ජනතාවට ණයගැතියි මේ සිදුවන දේ වහාම ජනතාවට පැහැදිලි කරන්න. මම හිතන්නේ නැහැ අපේ රටට සහ එහි ආර්ථිකයට දින කිහිපයක් අවිනිශ්චිතතාවයෙන් ඉන්න පුළුවන් කියලා," යනුවෙන් ඔහු පැවසීය.

සාලිය පීරිස්

ඡායාරූප මූලාශ්‍රය, Saliya Pieris

මහබැංකු අධිපති ඉලා අස්වෙයි

මේ අතර මහබැංකු අතිපති අජිත් නිවාර්ඩ් කබ්රාල් පැවසුවේ "සියලු ඇමතිවරු ඉල්ලා අස්වීම් ලිපි බාරදී ඇති මේ අවස්ථාවේදී, මා සේවය කළ ශ්‍රී ලංකා මහ බැංකු අධිපති තනතුරෙන් ඉල්ලා අස්වීමේ ලිපිය මා විසින් අතිගරු ජනාධිපතිතුමාට යොමුකොට ඇත." යනුවෙනි.

Skip X post, 2
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of X post, 2

'අග්‍රාමාත්‍යවරයා ඉල්ලා අස්වන කතාව අසත්‍යයක්'

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ද ඉල්ලා අස්වීමට සූදානම් වන බවට වාර්තා පළ වුවත් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව එම වාර්තා ප්‍රතික්ෂේප කළේය.

අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේ, අග්‍රමාත්‍යවරයා ඉල්ලා අස්වීමට සූදනම් වන බවට පැතිර යන කටකතාවල කිසිදු සත්‍යතාවක් නොමැති බවයි.

ඉන්ධන, ගෑස් සහ විදුලි සැපයුම සම්බන්ධයෙන් උද්ගතවී ඇති ගැටළු නිරාකරණය සඳහා නව වැඩපිළිවෙලක් සකස් කරමින් පවතින බවද අග්‍රාමාත්‍ය කාර්යාලය පැවසීය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රමඛ ආණ්ඩුවට එරෙහිව මේවන විට දැඩි විරෝධයක් මතුව තිබේ.

මේවන විට රට පුරා ඇඳිරි නීතිය පනවා ඇති අතර එය අප්‍රේල් 04 වැනිදා උදෑසන 6 දක්වා ක්‍රියාත්මකයි.

අප්‍රේල් 03 රටපුරාම විරෝධතා පැවති අතර පේරාදෙණිය සරසවි සිසු විරෝධතාව විසුරුවා හැරීමට පොලීසිය කඳුළු ගෑස් හා ජලප්‍රහාර එල්ල කළේය.

මීට අමතරව, ටොරින්ටන්, හැව්ලෝක් ටවුන්, නුගේගොඩ විජේරාම, මීගමුව, මහරගම, පිළියන්ද ඇතුලු නගර රැසක විරෝධතා පැවැත්විණි. ශ්‍රී ලංකාව තුළ පැවැත්වීමට නියමිතව තිබූ විරෝධතාවන්ට සහය දක්වමින් ලොව පුරා විවිධ රටවල වෙසෙන ශ්‍රී ලංකිකයින් ද එම රටවල විරෝධතා පැවැත්වීය.

විමල්ලාගේ පැලැස්තර විසදුම්වලින් රාජපක්ෂ විරෝධය යට කරන්න බෑ

මේ අස්වින නිසි ආකාරව සිදුවී නොමැති බවත් මේ පැලැස්තර විසදුම් ලබා නොදී රටේ පවතින අර්බූදයට ස්ථිර විසදුම් ලබා දී හොරා කාපු සල්ලි රටට නැවත ලබාදී රාජපක්ෂ පවුලම ඉල්ලා අස්විය යුතු බවට සමගි ජනබලවේගයේ මන්ත්‍රී මනුෂ නානායක්කාර අද පවතී මාධ්‍ය හමුවකදී පැවසීය.

"විමල් වීරවංශලා ගෙන එන පැලැස්තර විසදුම්වලින් රාජපක්ෂ විරෝධය යටපත් කළ නොහැකි බවත්, ජනතාවගෙන් හොරා කන ලද මුදල් නැවත රටට ලබාදී රාජපක්ෂ පවුලම ඉල්ලා අස්වී ගෙදර යා යුතුයි," පාර්ලිමේන්තු මන්ත‍්‍රී මනුෂ නානායක්කාර පැවසීය.

"රාජපක්ෂලා රටෙන් හොරකම් කරන ලද මුදල් නැවත රටට ලබාදෙන තුරු ජන අරගලය අවසන් නොවන බවද මන්ත‍්‍රීවරයා පැවසීය.

"රට ඇතුලේම ජනතාව එක මතයකට ගොනු වෙලා තියෙන වෙලාවක, ගෝඨා ගෝ හෝම් කියලා කියන්නේ රාජපක්ෂ රෙජීමයම ගෙදර යා යුතු නිසා. මේ රටේ සමපත් හූරා කාපු, මේ රට මේ තත්වයට ඇදලා දාපු ගෝඨාභය රාජපක්ෂ ඇතුළු සියලු නඩයම ගෙදර යා යුතු නිසා තමයි ගෝඨ ගෝ හෝම් කියලා කියන්නේ."

"ඒකට විසදුමක් විදියට, නූල් සූත්තර දාලා, වෙන පාරකින් රාජපක්ෂලා රකින්න, රාජපක්ෂලාගේ ජීවිත ආරක්ෂා කරන්න, රාජපක්ෂලාගේ දේපල ආරක්ෂා කරන්න දැන් විමල් වීරවංශලා පෙරට ඇවිත් තියෙනවා. අන්තර් කාලීන සර්ව පාක්ෂික ආණ්ඩුවක් හදන්න යෝජනා කරනවා. මේ වන විට ඉල්ලා අස්විම් ලිපි භාරදී තිබෙන ක‍්‍රමයත් නීත්‍යානුකූල නෑ. ජනාධිපතිවරයාට නීත්‍යානුකූලව ඉල්ලා අස්වීම් ලබාදී නැහැ," යනුවෙන් ඔහු චෝදනා නැගීය.