ශ්‍රීලනිප - පොදුජන පෙරමුණු වාග් සංග්‍රාමය උග්‍රවෙයි. ආණ්ඩුවේ දෙදරීමක් ද?

පාලක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ආණ්ඩුවේම හවුල්කාර පක්ෂයක් වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ දිනවල එළිපිටම වාග් සංග්‍රාමයක නියැලී සිටියි ඒ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හවුල්කාර පක්ෂ කිහිපයක් මේ වන විටත් රජයේ ක්‍රියාවන් විවේචනය කරන පසුබිමකය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් ආණ්ඩුව තුළ සිටිනා අතරතුරම ආණ්ඩුවේ ප්‍රතිපත්ති තැන තැන විවේචනය කරන බවට පොදුජන පෙරමුණ චෝදනා කරන අතර, ඔවුන් දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ප්‍රකාශ කරනුයේ ආණ්ඩුව තුළ සිටීමට නොහැකි නම් ගෞරවාන්විතව ආණ්ඩුවෙන් ඉවත් වන ලෙස යි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන සුසිල් ප්‍රේමජයන්ත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යධුරයෙන් ඉවත් කිරීමට පියවර ගැණුනේ මෙම පසුබිම තුළ ය.

"සුසිල්ව අස්කෙරුවා පොළේ ගිහින් කියපු කතාවට. ලංසා ඇමතිතුමා ඔයිට වඩා දරුණු ප්‍රකාශයක් කළා. හැබැයි ලන්සට නැහැ ඉල්ලා අස්වීමක්," ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායක, හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මාතලේ පැවති පක්ෂ නියෝජිත සමුළුවක දී කියා සිටියේ ය.

"සමහර මන්ත්‍රීවරු කියනවා 69 ලක්ෂය ඒ ගොල්ලන්ගෙම තමා කියලා. මේ ආණ්ඩුව හදන්න දේශපාලන පක්ෂ 13ක් එකට එකතුවෙලා සන්ධානේ හැදුවේ. අද පාර්ලිමේන්තුවේ ප්‍රබලම තුන්වෙනි පක්ෂය අපි, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය."

වත්මන් ආණ්ඩුව 2020 මහා මැතිවරණය තුනෙන් දෙකක බලයක් සහිතව විශිෂ්ට ලෙස ජයගත්තේ, හවුල්කාර පක්ෂයක් ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ද ලබාදුන් දායකත්වයෙනි.

2020 මහා මැතිවරණයේ දී ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය යටතේ තරග කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයින් තිස්දෙදෙනා අතරින් දහහතර දෙනෙකු පාර්ලිමේන්තුවට තේරී පත්විය. ජාතික ලැයිස්තුවෙන් දෙදෙනෙකු නම්කර තිබූ අතර ඉන් එක් අයෙකු තේරී පත්විය.

පක්ෂ නායක හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මනාප ඡන්ද 111137ක් ලබා ගනිමින් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පළමු ස්ථානයට පත්වූ අතර, පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති නිමල් සිරිපාල ද සිල්වා බදුල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් මනාප 141901ක් ලබා ගනිමින් දිස්ත්‍රික්කයේ පළමු ස්ථානය හිමිකර ගත්තේ ය. අංගජන් රාමනාදන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යටතේ තරගකර යාපනය දිස්ත්‍රික්කයෙන් මනාප 36365ක් ලබා ගනිමින් පළමු ස්ථානය හිමිකර ගනිමින් පාර්ලිමේන්තු වරම් දිනාගන්නා ලදී.

පොළොන්නරුව හා බදුල්ල යන දිස්ත්‍රික්ක දෙකේම පොදුජන පෙරමුණ ලැයිස්තුවේ පළමු තැන හිමිකර ගැනීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හැකිවුණි. ඒ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායක මෛත්‍රීපාල සිරිසේන හා ජ්‍යෙෂ්ඨ උප සභාපති නිමල් සිරිපාල ද සිල්වා යි.

යුගදනවි බලාගාරය වැනි ගනුදෙනු සම්බන්ධයෙන් ආණ්ඩුව විවේචනය කරන බවට සෙසු හවුල්කාර පක්ෂවල නායකයින් වන විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර, හා උදය ගම්මන්පිලට ද මීට පෙර චෝදනා එල්ලවිය.

යුගදනවි බලාගාරයේ කොටස් හා ස්වභාවික ද්‍රව වායු සැපයුම් අමෙරිකානු සමාගමකට ලබාදීමේ ගිවිසුම අභියෝගයට ලක්කරමින් ගොනුකර ඇති පෙත්සම්වල දී ඔවුන් තිදෙනා අතරමැදි පාර්ශවයන් ලෙස අධිකරණයට කරුණු දැක්වූයේ පෙත්සම්වලට සහාය දෙමිනි.

සුසිල් ප්‍රේමජයන්ත රාජ්‍ය අමාත්‍යධුරයෙන් ඉවත් කිරීම පිළිබඳව අදහස් දක්වමින් අමාත්‍ය වාසුදේව නානායක්කාර කියා සිටියේ "සාමූහික වගකීම් කියන සංකල්පය අනුව කිසිවෙකුටත් වෙනත් ලෙස කතා කළ නොහැකි" බව යි.

කෙසේවෙතත්, "මම හිතන්නේ ඒක අපිට ගැලපෙන සංකල්පයක්ම නොවේ. අපට ඒ වෙනස් මතය පළ කරන්න බැරිනම් ඒක අපේ දේශපාලනයට කර ගන්න හානියක්යැ,"යි ද ඔහු පැවසුවේ ය.

"ආණ්ඩුව ඇතුළේ ඉන්නවා නම් ආණ්ඩුවේ ඕන දෙයක් කතා කරන්න පුළුවන්. එළියට ගිහිල්ලා කතා කරන්න බැහැ. ඒක වැරදියි. සදාචාර විරෝධියි. ඒ නිසා මෛත්‍රීපාල මහත්තයටත් එක යි, සුසිල් මන්ත්‍රීතුමාටත් එක යි, ඉන්නවා නම් ඉන්න ඕනේ, බැරිනම් යන්න ඕනේ," කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මාධ්‍ය වෙත කියා සිටියේ ය.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුවේ සංයුතිය:

දේශපාලන පක්ෂය ආසන සංඛ්‍යාව

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 145

සමගි ජන බලවේගය 54

ඉලංකෙයි තමිල් අරසු කච්චි 10

ජාතික ජන බලවේගය 3

ඊලාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය 2

අකිල ඉලංකෙයි තමිල් කොංග්‍රස් 2

තමිළ් මක්කල් විඩුදලෛප් පුළිකල් 1

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 1

මුස්ලිම් ජාතික සන්ධානය 1

තමිල් මක්කල් තේසිය කූට්ටනි 1

අහිල ඉලංගෙයි මහජන කොංග්‍රසය 1

ජාතික කොංග්‍රසය 1

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය 1

එක්සත් ජාතික පක්ෂය 1

අපේ ජන බල පක්ෂය 1

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට පාර්ලිමේන්තුවේ ආසන 145ක් හිමි අතර, ඉන් 14ක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන්ගෙන් සමන්විත වේ.

2015 වසරේ දී ජනාධිපති මහින්ද රාජපක්ෂගේ එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවෙන් ඉවත්වූ මෛත්‍රීපාල සිරිසේන විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස ජනපතිවරණයට තරගකර ජය ලැබීය.

2020 මහා මැතිවරණයේ දී ඔහු නැවත වතාවක් මහින්ද රාජපක්ෂගේ නායකත්වයෙන් යුත් පොදුජන පෙරමුණ හා සන්ධානගතව මහා මැතිවරණයට තරගකර පාර්ලිමේන්තු වරම් දිනා ගත්තේ ය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින්ම ආණ්ඩුව විවේචනය කරන්නේ ඇයි?

පැල්මඩුල්ල ප්‍රදේශයේ ජනවාරි 11 වැනිදා පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ බල මණ්ඩල රැස්වීමකට එක්වෙමින් අදහස් දැක්වූ මෛත්‍රීපාල සිරිසේන, "මම තනියම ආණ්ඩුවක් ගෙනිච්චා මේ වගේ හිඟමනට වැටෙන්නේ නැතුව. මෙහෙම ගෑස් ප්‍රශ්න යි, තෙල් ප්‍රශ්න යි, පොහොර ප්‍රශ්න යි නැතිව. මේවා රටේ මිනිස්සු හදපු ප්‍රශ්න නෙමෙයි නේ. මේවා ඔක්කෝම ආණ්ඩුව හදාගත්ත ප්‍රශ්න. ඒවා ගැන අපි කතා කරාම කෝපවෙනවා,"යි කීය.

"මේ කොහේවත් යන පාස්කු බෝම්බයක් පුපුරලා, ඒක මගේ ඇඟේ දාන්න හැදුවට මම පත්කරපු කොමිසම. හැබැයි එක මිනිහෙක්වත් කතා කරන්නේ නෑ වංචා දූෂණ පිළිබඳ මම පත්කරපු කොමිසම් 4 ගැන. ඒ ඔක්කෝම කොමිසම් හමස් පෙට්ටියට. මාව හිරේ දාගන්න ඕන කට්ටිය තමයි පාස්කු කොමිසම ගැන කතා කරන්නේ," මෛත්‍රීපාල සිරිසේන කියා සිටියේ ය.

"මෛත්‍රීපාල සිරිසේන වෙනුවෙන් අධිකරණයේ කිසිම දේකට මැදිහත් වෙන්නේ නැහැ"

මේ අතරේ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාලක ලේකම් රේණුක පෙරේරා ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සන්ධානයෙන් ඉවත්වීමට බාධාවක් නැතැ යි යනුවෙනි.

"යන එක යි තියෙන්නේ, අපිට සිරිසේන ජනාධිපතිවරයා මේ ආණ්ඩුව හදන්න ඕන වුණෙත් නැහැ. එයට ඕන නිසා තමා එයා පස්සෙන් ආවේ."

"මෙයාට ඉන්න හිටින්න තැනක් හොයාගන්න ආරක්ෂා වෙන්න තමා ආවේ, වෙන දේකට ආවේ නැහැ. අදත් එයා එයාගේ රැකවරණය තමා බලන්නේ, අපිට ගහලා. අදත් මේ තක්කඩි දේශලපාලනය කරන්නේ එයාගේ පැවැත්ම සඳහා," ඔහු චෝදනා කළේ ය.

"දැන් සිරිසේන ජනාධිපතිවරයා කිව්වානේ තීන්දුවක් ගන්නවා කියලා, ඉතින් ඕක කිය කිය ඉන්නැතිව ගන්න කියලා අපි කියන්නේ," රේණුක පෙරේරා අවධාරණය කළේ ය.

"නැවත මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා බලය ඉල්ලන්නේ ඇයි? මේ රටේ හාල් මාෆියාව මෙහෙයවන්නේ එතුම යි. කාබනික පොහොර ප්‍රශ්නයට විරුද්ධව අරගලයක් මතු කරේ ඔහුගේ ගෝලයෝ දම්මලා විරෝධතාවය මතුකළේ එතුම යි. අද එතුමා මේ රජයට ප්‍රහාරයක් එල්ල කරනවා. මෙතුමා රජයට විරුද්ධව මහ බලවේග ඇති කරත් අපිට අදාල නෑ. අපි එයා වෙනුවෙන් අධිකරණයේ කිසිම දේකට මැදිහත් වෙන්නේ නෑ."

මෛත්‍රීපාල සිරිසේනට චෝදනා නැගූ රේණුක පෙරේරා තව දුරටත් කියා සිටියේ "ශ්‍රි ලංකා නිදහස් පක්ෂය විනාශ කළේ මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා" බව යි. හිටපු ජනපතිවරයා සිය පෞද්ගලික ආරක්ෂාව සඳහා සිය පක්ෂය "පාවිච්චි කරන්න උත්සහ කරනවා"යි ද ඔහු කියා සිටියේ ය.

කෙසේ වෙතත්, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අනුරාධපුර දිස්ත්‍රික් සම්මේලනයට එක්වෙමින් අවධාරණය කළේ තමන් "කාගේවත් නැට්ටක්" නොවන බව යි.

"ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අපි කිසිවෙකුගේ පස්සේ යන්නේ නැහැ. අපිට එහෙම යන්න උවුමනාවකුත් නැහැ.

අපේ ප්‍රතිපත්ති මාලාව, ජාතික වැඩපිළිවෙල හදලා අපි රටට ඉදිරිපත් කරනවා. ඒ වැඩ පිළිවෙලට කවුද එකතු වෙන්නේ, අන්න ඒ එකතු වීමට තමයි අපේ එකතුව තියෙන්නේ. එහෙම නැතිව කාගේවත් නැට්ටක් වෙන්නැහැ කියන එක මම බොහොම පැහැදිලිව කියනවා," හිටපු ජනාධිපතිවරයා ප්‍රකශ කළේ ය.

"ගෞරවාන්විතව එළියට යන්න"

තැන තැන ආණ්ඩුව විවේචනය නොකර, අවශ්‍ය නම් ගෞරවාන්විතව ආණ්ඩුවෙන් ඉවත්වන්නැ යි ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ කියා සිටියේ ය.

"අපි ලෑස්තියි ඕනම වෙලාවක ඡන්දයකට යන්න. මාධ්‍යයේ මම දැක්කා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් නායකයින් නොයෙක් මත ප්‍රකාශ කරනවා. ඉතින් මම හිතන්නේ තැන් තැන්වල කියවන්නේ නැතිව පක්ෂනායක රැස්වීමේ කියලා ගියොත් හොඳයි."

"ජනතාව එදා ඔවුන්ටත් ඡන්දය දුන්නේ මේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න. ඉතින් අවසානයේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක නොකර ඒ අයත් කැබිනට් මණ්ඩලයේ ඉන්නවනේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් අපේ කැබිනට් මණ්ඩලය නියෝජනය කරනවා. රාජ්‍ය අමාත්‍යවරු ඉන්නවා. ඒ වගේම ආණ්ඩුව නියෝජනය කරනවා. ඒ අය හිතනවා නම් යම් යම් තීන්දු තීරණවලට ඒ අය වගකිව යුතු නෑ අනිත් අය විතරයි වගකියන්න ඕනේ කියලා, එහෙම වෙන්නේ නෑ. මේ ආණ්ඩුවේ හැම තීරණයකට ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වගකියන්න ඕනේ සහ සන්ධානය වගකියන්න ඕනේ," නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා කියා සිටියේ ය.

"අපි ආණ්ඩුවක් විදිහට, කැබිනට් මණ්ඩලයක් විදියට සාමූහික වගකීමක් තියෙනවා. යම් හෙයකින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ප්‍රතිපත්ති හරියන්නේ නැත්නම්, ඒ අය ඉල්ලන්නේ, වෙන ප්‍රතිපත්ති නම් තැන් තැන්වල කියවන්නේ නැතුව පක්ෂ නායක රැස්වීමේ දී කියලා ගෞරවාන්විතව එළියට ගියා නම් හොඳයි," ඔහු වැඩිදුරටත් පැවසුවේ ය.