ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
මහා සංඝරත්නය ජනාධිපතිවරයාට ගෞරව නාමයක් පිරිනැමුවේ ඇයි?
මහාවිහාරවංශික කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රීධර්ම මහා සංඝසභාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත "ශ්‍රී ලංකාධීශ්වර පද්මවිභූෂණ" යන ගෞරව නාමය පිරිනමනු ලැබී ය.
ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, "මාතෘ භූමියට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ අධිපතිත්වය හා අවශ්‍යතාව මෙන්ම ඔහුගේ අතීත සහ වර්තමාන නොකැළැල් පැවැත්ම සංකේතවත් කරමින්" මෙම ගෞරව නාමය පිරිනැමුණු බව යි.
මේ ගෞරව නාමය පිරිනැමුණේ පොහොර, ගෑස්, කිරිපිටි, විදුලි, ඉන්ධන ඇතුළු අර්බුද සම්බන්ධයෙන් රජයට දැඩි විවේචන එල්ලවෙමින් පවතින, දිනපතාම පාහේ රජය කෙරෙහි මහජන විරෝධය උත්සන් වෙමින් පවතින පසුබිමක දී වීම විශේෂත්වයකි.
"පරාජයක් ලැබූ විට වරද නායකයා වෙත"
අදාල සන්නස් පත්‍රය කියවීමෙන් පසු කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රීධර්ම මහා සංඝසභාවේ මහානායක, ආචාර්ය අතිපූජ්‍ය ඉත්තෑපාන ධම්මාලංකාර මාහිමියෝ ජනාධිපතිවරයා වෙත "ශ්‍රී ලංකාධීශ්වර පද්මවිභූෂණ" ගෞරව නාමය පිරිනැමූහ.
මෙහිදී, ගතවූ කාලයට වඩා වැඩි කාලයක් රට ගොඩනැගීම සඳහ ඉතිරිව ඇති බැවින්, ඉදිරි වසර තුන මැනවින් කළමනාකරණයකර රට ගොඩනැගීමට මහා සංඝරත්නයේ ආශිර්වාදය පිරිනමන බව ප්‍රධාන අනුශාසනාව කරමින් කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රීධර්ම මහා සංඝසභාවේ ප්‍රධාන ලේඛකාධිකාරී, පේරාදෙණිය විශ්වවිද්‍යාලයයේ පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ අංශාධිපති අග්ගමහා පණ්ඩිත මහාචාර්ය අතිපූජ්‍ය කොටපිටියේ රාහුල අනුනාහිමියෝ පැවසූහ.
ජයග්‍රහණයක් ලැබූවිට එය බෙදාගැනීමට බොහෝ අය සිටියත්, උත්සාහයක් වැරදි පරාජයක් ලැබූ විට එම වරද නායකයා වෙතම පැවරෙනු ඇතැ යි වදාළ උන්වහන්සේ, මෙය සාමාන්‍ය තත්ත්වයක් බවත්, දේශපාලනයේ දී ලබන අමිහිරි අත්දැකීම් හමුවේ නොසැලී ඉදිරි කාලයේ රට ගොඩනැංවීමට ශක්තිය ප්‍රාර්ථනා කරන බවත් සඳහන් කළහ.
මූලාසනයේ අනුශාසනාව කළ කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රීධර්ම මහා සංඝසභාවේ මහානායක මාහිමිපාණන්වහන්සේ මෙම ආශිර්වාදාත්මක ගෞරව නාම ප්‍රදානය ජනාධිපතිතුමාගේ ජීවිතයට මහා ශක්තියක් සහ බලයක් වනු ඇතැ යි ප්‍රකාශ කළහ.
මහා සංඝරත්නයේ ආශිර්වාදය, ශක්තිය සහ ධෛර්යය ජනාධිපතිතුමා වෙත ලබාදීමට සැමවිටම ක්‍රියාකරන බව ද උන්වහන්සේ කියා සිටියහ.
"නින්දා අපහාස විඳදරා ගැනීමේ ශක්තිය මට තියෙනවා" - ජනපති
මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශ කළේ, තමාට නින්දා අපහාස කළත් ඒවා උපේක්ෂාවෙන් විඳදරා ගැනීමේ ශක්තිය තමා සතු බව යි.
"පුරා දෙවසරක් තිස්සේ ලෝකයම වෙලාගත් වසංගත තත්ත්වය සාර්ථකව පාලනය කිරීමට අපට හැකිවුණා. එහෙත් මෙරට ජනතාව තුළින් ඇතිවූ යම් ආර්ථික හා සමාජ පීඩනය හේතුවෙන් පැණ නැඟුනු අපහසුතා නිසා ඇතැම් පුද්ගලයින් මා හට නින්දා අපහාස කළත්, මට ඒවා උපේක්ෂාවෙන් විඳදරා ගැනීමේ ශක්තියක් තියෙනවා," ජනාධිපතිවරයා පවසා සිටියේ ය.
"මට අපහාස කරන කිසිවෙකුත් මගේ ජීවිත කාලය තුළ මා රටට කර ඇති සේවාවෙන් බිඳක්වත් කර ඇතැ යි සැක සහිත යි. මෙතෙක් අප ආ ගමන් මඟේ දී මුහුණ දීමට සිදුවූ බාධක මඟහරවා ගනිමින් නව ගමනක් යෑමට මා මේ රටේ ජනපති ලෙස තෝරාපත් කළ ජනතාවගේ අභිලාශයන් මුදුන්පත් කර දීමට මා සූදානම්. ඒ සඳහා ගත යුතු තීන්දු තීරණ ගන්න මා සූදනම් බවත් මහා සංඝරත්නය ඉදිරියේ වගකීමෙන් ප්‍රකාශ කරනවා," ඔහු අවධාරණය කළේ ය.
මේ අතරේ, ඓතිහාසික සිතුල්පව්ව රාජමහා විහාරස්ථානය පූජා භූමියක් බවට පැවරීමේ සන්නස් පත්‍රය ජනාධිපතිවරයා විසින් විහාරාධිපති පූජ්‍ය මැටරඹ හේමරතන හිමියන් වෙත පිළිගැන්වීම වෙනුවෙන් පැවැති උත්සවයේ දී උන්වහන්සේ ජනාධිපති හමුවේ සඳහන් කළේ, "සෞභාග්‍යයේ දැක්ම තුළින් ඔබ යන ගමන නිවැරදියි. එය සාර්ථක කරගැනීමට හැකි වුවහොත් ඉදිරි පරපුරට එහි ප්‍රතිඵල අත්විඳීමට හැකි වේවි" යනුවෙනි.
"කුමන හොඳ දේ කළ ද ඊට අකුල් හෙළන, විදේශ මුදල් මත යැපෙන පිරිසක් මෙරටේ සිටිනබව" උන්වහන්සේ කියා සිටියෝ ය.
වස විසෙන් තොර ආහාර වේලක් ලබා දී නීරෝගිමත් ජාතියක් බිහි කිරීමට ජනාධිපතිවරයා පිරිසිදු චේතනාවෙන් ගෙන යන වැඩපිළිවෙළට ද ඔවුහු අකුල් හෙළන බව උන්වහන්සේ කියා සිටියහ.
"සෞභාග්‍යයේ දැක්ම" සාර්ථක කර ගැනීමට හැකි වුවහොත් රට ඉතා වාසනාවන්ත බව ද, රටේ දියුණුවට ඊර්ෂ්‍යා කරමින් බලය ලබා ගැනීමට සහ සෞභාග්‍යයේ දැක්මෙහි ප්‍රතිඵල වෙනුවෙන් තවත් වසර කිහිපයක් ඉවසිය නොහැකි පිරිසක් සිටින බව ද මැටරඹ හේමරතන හිමියෝ පැවසූහ.
"අපේ ජනාධිපතිතුමා හොඳ අරමුණින් යුතුව වස විසෙන් තොර ආහාර ලබා දෙන්න, ඔබතුමා හොඳ ක්‍රියාමාර්ගයක් අනුගමනය කළේ. නමුත් මේ එන්.ජී.ඕ. කපුටෝ ටික දකින්නේ වෙන විදියකට. අපිට හරි කණගාටුයි සෞභාග්‍යයේ දැක්ම ඔබතුමාගේ ඒ ශ්‍රේෂ්ඨ ඉදිරි ගමන තව කාලයක් ගියා නම් අපේ රට හරි වාසනාවන්ත යි. ඔබතුමාගේ සෞභාගයේ දැක්ම අපිට පෙන්නේ තව අවුරුදු කිහිපයක් ගියාම."
සමාජ මාධ්‍යයෙන් විවිධ අදහස්
ජනාධිපතිවරයාට මෙවන් අවස්ථාවක ගෞරව නාමයක් පිරිනැමීම පිළිබඳ සමාජ මාධ්‍ය ඔස්සේ මෙන්ම, ජනාධිපතිවරයාගේ ෆේස්බුක් පිටුවෙහි පවා විවේචන මෙන්ම විවිධ මත ද පළවී තිබිණි.
ඇතැමුන් ජනපතිවරයාට මෙම සම්මානය ලබාදීම අගය කරන වග පෙනුණත්, ඒ හා සමාන පිරිසක් මෙය උපහාසයට ලක්කරනුත්, භික්ෂූන්වහන්සේට දොස් පවරන අයුරුත් දක්නට ලැබුණි.