ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ගෑස්, කිරිපිටි පෝලිම්වලින් ලොක්කන්ට හූ හඬ
ගෑස්, කිරිපිටි, භූමිතෙල් වැනි භාණ්ඩ මිල දී ගැනීම සඳහා දිවයිනේ විවිධ ප්‍රදේශවල පවතින දිගු පෝලිම් හේතුවෙන් දැන් දැන් මහජන විරෝධය ද උත්සන්න වී ඇත.
එය මේ වන විට රජයේ මැතිඇමතිවරුන් ඇතුළු ප්‍රධානීන් හට ප්‍රසිද්ධියේ "හූ කීම" දක්වා උත්සන්න වී තිබේ.
රටපුරා මේ වන විට පවතින ගෑස්, කිරිපිටි හිඟය හේතුවෙන් තමන් දැඩි ලෙස පීඩාවට පත්ව සිටින බව පාරිභෝගිකයෝ පවසති.
ආනයනික කිරිපිටි මිල ගණන් දෙසැම්බර් 30 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දමා තිබේ.
කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය පවසන්නේ පහත පරිදි එම මිල ගණන ඉහළ දැමූ බව යි:
- කිලෝග්‍රෑම් 01 පැකට්ටුවක මිල රු. 150කින් - නව මිල රු. 1,345 යි
- ග්‍රෑම් 400 පැකට්ටුවක මිල රු. 60කින් - නව මිල රු. 540 යි
මීට පෙර ඔක්තෝබර් මාසයේදී කිරිපිටි ඉහළ දැමුණි.
මිරිහානේ කිරිපිටි පෝලිම ගැන සොයන්න ජනපතිගෙන් උපදෙස්
ඉල්ලුමට සරිලන සැපයුමක් නොමැතිවීම හේතුවෙන් නුගේගොඩ, මිරිහාන ප්‍රදේශයේ දේශීය කිරිපිටි අලෙවිහලක් ඉදිරිපුට පසුගිය දිනවල දිගු පෝලිම් දක්නට ලැබුණි.
කෙසේ වෙතත් මේ වන විට එම ස්ථානයේ කිරිපිටි පෝලිම් නොතිබෙන අතර ටෝකන් ක්‍රමයට කිරිපිටි අලෙවි කරමින් ඇත.
"මෙතන පෝලිම තිබිච්ච එක නැති කරේ ජනාධිපතිට හූ කියපු හින්දා. නැත්නම් පාඩුවේ මිනිස්සු කිරි අරන් ගියා," කිරිපිටි මිල දී ගැනීමට පැමිණි එක් කාන්තාවක් මාධ්‍යට පැවසිය.
"ඒ කට්ටිය ඡන්දේ දීපු 69 ලක්ෂයට නෙවෙයි සලකන්නේ, එයාලට ඡන්දෙට වියදම් කරපු ජාවාරම්කාරයින්ට," තවත් නම හෙළි කිරීමට අකමැති වූ පාරිභෝගිකයෙකු පැවසිය.
ටෝකන් ක්‍රමයට ලබාදීමට තරම් හෝ ප්‍රමාණවත් කිරිපිටි අදාල වෙළඳසළේ නොවූ බැවින් බොහෝ පිරිසකට හිස් අතින් නිවෙස් වෙත යාමට සිදුව ඇති බවට අප වාර්තාකරුට දැක ගත හැකි විය.
මේ අතර, පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් පැවසූවේ, මිරිහාන ජුබිලි කණුව, ස්ටැන්ලි තිලකරත්න මාවතේ පිහිටි පැල්වත්ත කිරිපිටි නිශ්පාදන සමාගමේ නිශ්පාදන මිල දී ගැනීමට මහජනතාව දිගුපෝලිම්වල රැඳී සිටීමට හේතුව කුමක්දැ යි සොයාබලන ලෙස ජනාධිපතිවරයා බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්කෝන් වෙත උපදෙස් දී ඇති බව යි.
පෝලිම් ඇතිවීමට හේතුව අදාල අලෙවිහල මඟින් කිරිපිටි නිශ්පාදන නිකුත්කිරීමේ දී ඇති වන ප්‍රමාදයත්, එක් කවුළුවකින් පමණක් නිශ්පාදන අලෙවි කිරීමත්බව නීරීක්ෂණය වී ඇතැ යි පොලීසිය පවසයි.
එබැවින් පැල්වත්ත කිරිපිටි නිශ්පාදන සමාගමේ සභාපති ආරියශීල වික්‍රමනායක සමග බස්නාහිර පළාතභාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා මේ සම්බන්ධයෙන් සාකච්ඡාකර, අවශ්‍ය ප්‍රදේශවල සමාගමේ අලෙවි ස්ථාන වැඩිකොට නිශ්පාදන බෙදාහැරීමේ කටයුතු ආරම්භකර ඇති බව ද පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිකුත්කළ නිවේදනයේ සඳහන් වෙයි.
ඒ අනුව මහජනතාවට තදබදයකින් තොරව හා පෝලිම්වල රැඳී සිටීමකින් තොරව ස්ථාන කිහිපයක දී කිරිපිටි නිශ්පාදන මිල දී ගැනීමට අවස්ථාව සලසා දී ඇති අතර, අද (දෙසැම්බර් 31) සිට අලෙවි ස්ථාන තවදුරටත් වැඩි කිරීමට කටයුතු කරන බව අදාල සමාගම පොලීසිය වෙත දැනුම් දී ඇත, යනුවෙන් එම නිවේදනයේ තවදුරටත් සඳහන් විය.
මෙම සිද්ධිය පිළිබඳ සමාජ මාධ්‍ය ජාලාවල අසත්‍ය තොරතුරු පළ කරමින්, "පොලීසිය මඟින් කිරිපිටි අලෙවි ස්ථාන සීල් තැබීමට කටයුතුකර ඇතිබවට" වැරදි තොරතුරු පළ කර ඇති බවත්, මෙම අසත්‍ය ප්‍රචාරය තරයේ ප්‍රතික්ෂේප කරන බවත් පොලීසිය නිවේදනය කළේ ය.
එහෙත් ප්‍රදේශවාසීන් බීබීසී සිංහල සේවය සමග පැවසුවේ අදාළ සිදුවීම සිදුවූ දිනයේ එම කිරිපිටි අලෙවි සල මිරිහාන පොලීසිය විසින් වසා තැබූ බවයිි. ඊට පසුදින අදාළ කිරිපිටි අලෙවිහල විවෘත කළ ද දැඩි පොලිස් ආරක්ෂාවක් අදාළ ප්‍රදේශයේ දක්නට ලැබේ.
ගෑස් සිලින්ඩර "මංකොල්ලයක්"
ගෑස් මිලදී ගැනීමට ද ජනතාවට ගෑස් අලෙවි මධ්‍යස්ථානවල පැය ගණනාවක් පෝලිම්වල රැඳී සිටීමට සිදුව තිබේ. ගෑස් පෝලිම් මේ දිනවල සුලභ දසුනක් වී ඇත.
"අපේ මහජන මුදල්වලින් 225ක් අපි පෝෂණය කරනවා. අපේ ගෙවල්වල අපේ ළමයි පෝෂණය කරගන්න වෙන්නේ නැහැ. ජනාධිපතිතුමාට මේවා පෙන්නැත්තේ ඇයි කියලා අපි අහන්නේ. අපි ඡන්දෙත් දීලා දුක්විදිනවා," එක් පාරිභෝගික කාන්තාවක් මාධ්‍යට පැවසිය.
"රජයක් ඕනේ නැහැ ඇත්තටම, රජය කියලා කරන දෙයකුත් නැහැනේ," ගෑස් පොලිමක සිටින තවත් පාරිභෝගික කාන්තාවක් පැවසුවා ය.
ඒ අතරේ, පසුගියදා කොල්ලුපිටිය මල් පාරේ දී ගෑස් සිලින්ඩර ප්‍රවාහනය කරමින් තිබූ ලොරියක් නතරකළ කිසියම් පිරිසක් ගෑස් සිලින්ඩර තුනක් රැගෙන පලාගොස් ඇති බවට පොලිසිය පැවසිය.
පොලීසිය පැවසුවේ ත්‍රිරෝද රථයකින් පැමිණි පිරිසක් රුපියල් දෙදහසක් සහ භාවිතා කළ හිස් ගෑස් සිලින්ඩර් දෙකක් ලොරියේ සේවකයින් වෙත ලබා දී ඇති බව යි. අනතුරුව ඔවුන් ලොරියේ තිබූ නව ගෑස් සිලින්ඩර් තුනක් රැගෙන පලාගොස් තිබේ.
කොල්ලුපිටිය පොලීසියේ මෙහෙයවීමෙන් මේ පිළිබඳ වැඩිදුර විමර්ශන ක්රියාත්මකකර ඇත.
මේ අතර දෙසැම්බර් 05 වැනිදාට පෙර නිකුත් කළ, මෙතෙක් ගෑස් අවසන් නොවූ ලාෆ්ස් ගෑස් සිලින්ඩර නැවත භාරගැනීමට ලාෆ්ස් ගෑස් සමාගම තීරණයකර තිබේ.
ලාෆ්ස් ගෑස් සමාගම පැවසුවේ, කොළ පැහැති මුද්‍රාව ඉවත් කළ ද ගෑස් සිලින්ඩර් නැවත භාරදීමට කැමැත්තක් දක්වන පාරිභෝගිකයින්ට ඒ සඳහා අවස්ථාව පවතින බව යි.
ලාෆ්ස් සමාගමේ ක්ෂේත්‍ර විකුණුම් කළමනාකරු හෝ බෙදාහැරීමේ නියෝජිතවරයා හා සම්බන්ධ වී එම සිලින්ඩර භාරදිය හැකි බව සමාගම පැවසී ය.
භාර දිමේ දී සිලින්ඩරය කිරා බලා, එහි ඉතිරී වි ඇති ගෑස් ප්‍රමාණයේ මූල්‍යමය වටිනාකම ගෙවීමට හෝ එම වටිනාකම අඩුකර වෙනත් ගෑස් සිලින්ඩරයක් නිකුත් කිරීමට හෝ පියවර ගන්නා ලෙස නිලධාරීන්ට උපදෙස් දී ඇති බව ලාෆ්ස් ගෑස් සමාගම ප්‍රකාශ කළේ ය.
මේ අතර ලිට්රෝ ගෑස් ලංකා සමාගම පවසන්නේ ඉදිරි දින කිහිපය තුළ ලිට්රෝ ගෑස් සිලින්ඩර් එක්ලක්ෂ අසූදහසක් වෙළෙඳපොළට නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව යි.
තම දෛනික පිරවීම් හා බෙදාහැරීම් පැය 24 පුරා ක්‍රියාත්මක බව එම සමාගම ප්‍රකාශ කරයි.
මේ වන විට දෛනික ලිට්රෝ ගෑස් අවශ්‍යතාවය ඉතා විශාල වශයෙන් ඉහළගොස් ඇතැ යි ද එම සමාගම සඳහන් කළේ ය.
ඉදිරියේ දී ප්‍රමාදයකින් තොරව වෙළෙඳපොළට ගෑස් සැපයුම ලබාදිය හැකිබව ලිට්රෝ ගෑස් ලංකා සමාගම නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
ඩොලර් අර්බුද මැද සපුගස්කන්ද පිරිපහදුවත් වැසේ
සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුව ජනවාරි 3 වනදා සිට වසා දමන බව බලශක්ති අමාත්‍යංශය පවසයි.
අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ, විදේශ විනිමය අර්බුදය හේතුවෙන් බොරතෙල් මිල දී ගැනීමේ දුෂ්කරතා මත එලෙස වසා දමන ඉන්ධන පිරිපහදුවේ මෙහෙයුම් ජනවාරි 30 වැනිදාට පෙර යලි ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව යි.
ශ්‍රී ලංකාව දිගු කාලීන බොරතෙල් සැපයීම කොන්ත්‍රාත්තුව ප්රදානය කර ඇති සිංගප්පූරු සමාගම බොරතෙල් සැපයීම ආරම්භ කරන්නේ ජනවාරි 26 වනදා සිට බවයි.
බොරතෙල් මිල දී ගැනීමේ ක්‍රියාවලියේ දී සපුගස්කන්ද පිරිපහදුවේ භාවිත වන මර්බන් වර්ගයේ බෙරතෙල් මිල දී ගැනීමට දින 90කට පෙර අදාල සමාගමට දැනුම් දිය යුතු බවත්, හදිසි මිල දී ගැනීමක් ලෙස විකල්ප බොරතෙල් මිලට ගැනීම ද විදේශ විනිමය හිඟය නිසා ව්‍යර්ථ වී ඇති බවත් අදාළ නිවේදනයේ සඳහන් ය.
එහි වැඩිදුරටත් සඳහන් වන්නේ, ශ්‍රී ලංකාව ණය ශ්‍රේණිගතකිරීම්වල පහළට වැටී ඇති හෙයින් ණය පදනමින් බොරතෙල් මිල දී ගැනීම ද දුෂ්කර වී ඇති බව යි.
කෙසේ වෙතත්, සපුගස්කන්ද තෙල් පිරිපහදුවෙන් රටේ පෙට්‍රල් අවශ්‍යතාවෙන් 14%ක් සහ ඩීසල් 29%ක් පමණක් සපයන බැවින් තාවකාලිකව තෙල් පිරිපහදුව වසා දැමීමෙන් රට තුළ තෙල් හිඟයක් ඇති නොවන බව බලශක්ති අමාත්‍යංශය අදාල නිවේදනය මඟින් සහතික වී සිටියි.