අයවැය 2022: ඔබට බලපාන්නේ කොහොමද?

අයවැය 2022

ඡායාරූප මූලාශ්‍රය, Sri Lanka President's Media

2022 වර්ෂය සඳහා වන අයවැය වාර්තාව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ විසින් අද (නොවැ. 12) පස්වරු 02.00ට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම ඇරඹුණි.

මෙය මෙරට 76 වැනි අයවැය මෙන්ම, ජනපති ගෝටාභය රාජපක්ෂ ප්‍රමුඛ රජයේ දෙවැනි අයවැය ද, අමාත්‍ය බැසිල් රාජපක්ෂ මුදල් ඇමැතිධුරයේ සිට ඉදිරිපත් කළ මංගල අයවැය ද වේ.

අයවැය කියවීම අතරතුර අමාත්‍යවරයාගේ ඇතැම් ප්‍රකාශයන් කැපී පෙනේ.

ඇමතිවරයා පැවසුවේ මෙම අයවැය ඉදිරිපත් කරන්නේ ගෝලීය අර්බුද පහකට අවස්ථාවක බවත් කෝවිඩ් වසංගතය නිසා, දේශීය හා විදේශීය වශයෙන් සේවා සැපයීමෙන් අපට උපයා ගැනීමට තිබූ රු. බිලියන 500කටත් වඩා මුදලක් මේ වසරේ භාණ්ඩාගාරයට අහිමි වී ඇතැ යි ඔහු සඳහන් කළේ ය.

කෙසේ නමුත්, තම ආණ්ඩුව කී දේ කළ ආණ්ඩුවක් බව කියන අමාත්‍යවරයා, ශ්‍රී ලංකාව කොවිඩ් එන්නත්කරණ ඉලක්ක සපුරාලීම නිසා "Vaccinated nation in Asia" යනුවෙන් හැඳින්වෙන වග ද පැවසීය.

රට තුළ තව දුරටත් ත්‍රස්තවාදයට ඉඩක් නැතැ යි ද පැවසූ ඔහු, මෙරට ලෝකයේ ස්ථාවරම රටවලින් එකක්යැ යි ද කියා සිටියේ ය.

අයවැය දත්ත අනුව 2022 වසරේ රජයේ මුළු ආදායම රුපියල් බිලියන 2284කි. ඒ අතුරින් බදු ආදායම රුපියල් බිලියන 2274කි. රජයේ මුළු වියදම රුපියල් බිලියන 3912ක් වන අතර වර්තන වියදම රුපියල් බිලියන 2996කි.

2022 වසරේ රාජ්‍ය ආදායම දළ දේශීය නිෂප්දිතයේ ප්‍රතිශතයක් ලෙස සියයට 12.3ක් දක්වා ඉහලගොස් ඇත. එය 2021 වසරේ සියයට 9.5 කේ ලෙස ඇස්තමේන්තු කර ඇත. 2022 වසරේ රජයේ සමස්ත වියදම දළ දේශීය නිෂප්දිතයේ ප්‍රතිශතයක් ලෙස සියයකට 21.1ක් දක්වා වැඩි වී ඇත.

අයවැය පරතරය දළ දේශීය නිෂප්දිතයේ ප්‍රතිශතයක් ලෙස සියයකට 8.8ක් වේයැයි අපේක්ෂා කෙරේ. එය 2021 වසරේ සියයට 11.1ක් ලෙස අත්තමේන්තු කර ඇත.

අයවැය 2022

ඡායාරූප මූලාශ්‍රය, Sri Lanka President's Media

අයවැය යෝජනා: ආධාර, සහ රැකියා

  • ගුරු විදුහල්පති වැටුප් විෂමතා ඉවත් කිරීම සඳහා මෙවසරේ අගෝස්තු 30 දා ඉදිරිපත් කෙරුණු අමාත්‍ය මණ්ඩල තීරණ ක්‍රියාත්මක කිරීම සඳහා තවත් රු. මිලියන 30,000ක් වැටුප් ලෙස ඇතුළත් කිරීමට යෝජනා
  • දැනටමත් අභ්‍යාසලාභීන් ලෙස රජයට බඳවාගෙන ඇති 53,000ට අධික උපාධිධාරීන්ගේ සේවය 2022 ජනවාරි මස සිට ස්ථිර කෙරේ. ඒ සඳහා රු. මිලියන 27,600ක්
  • නව ව්‍යාපාර දිරිගැන්වීම සඳහා 2022 වසර සඳහා නව ව්‍යාපාර ලියාපදිංචි ගාස්තු අය නොකෙරේ
  • රට වසා තැබූ කාලය තුළ ආදායම් අහිමි වූ පාසල් වෑන්රථ හා බස් හිමියන්ට සහන සැලසීමට රුපියල් මිලියන 400ක්. ආදායම අහිමි වූ ත්‍රිරෝද රථ හිමියන්ට රුපියල් මිලියන 700ක්, සහ පුද්ගලික බස් රථ හිමියන් වෙනුවෙන් රුපියල් මිලියන 1500ක්
  • විශ්‍රාම වැටුප් විෂමතා ඉවත් කිරීමේ මූලික කටයුතු සඳහා රුපියල් මිලියන 500ක්
  • වෘත්තීයවේදීන්ගේ සංගම්වලට රු. මිලියන 100ක ප්‍රතිපාදනයක්
  • රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගන්නා වයස් සීමාව අවු. 65 දක්වා දීර්ඝ කෙරේ
  • රාජ්‍ය සේවකයින්ට යතුරුපැදි ලබා දීමේ වැඩ සටහන යළි ක්‍රියාත්මක කිරීමට රුපියල් මිලියන 500ක් වෙන් කෙරේ
  • ත්‍රිරෝද රථ සහ ඒ ආශ්‍රිත ගැටලු විසඳීමට ත්‍රීරෝද රථ නියාමන අධිකාරියක් පිහිටුවීමට යෝජනා
  • මුළු රටම ආවරණය වන පරිදි විදුලි සංදේශ ආවරණ ජාලයක් කඩිනමින් ස්ථාපිත කර, දිවයිනේ සියලු පාසැල් සඳහා ෆයිබර් ඔප්ටික් තාක්ෂණය ඔස්සේ අධිවේගී අන්තර්ජාල පහසුකම් ලබාදීමට විදුලි සංදේශ නියාමන කොමිසමට අවශ්‍ය මූල්‍ය හා තාක්ෂණික පහසුකම් සම්පාදනයට යෝජනා
  • වල් පැළ හරණය සඳහා විකල්ප දිරිගැන්වීමක් වෙනුවෙන් රුපියල් මිලියන 4,000 ක් වෙන් කෙරේ
  • වල් පැළ හරණය හා වල් පැළෑටි අවම වන පරිදි වගා බිම් සකස් කිරීම සඳහා හෙක්ටයාර 2 ක උපරිමයකට යටත්ව හෙක්ටයාරයකට රුපියල් 5000 බැගින් අධාර මුදලක් ලබා දීමට යෝජනා
  • කිරි නිෂ්පාදනය ඉහළ නංවා, දියර කිරි පරිභෝජනය ඉහළ නැංවීම සඳහා විසර්ජන පනතින් වෙන් කොට ඇති මුදලට අමතරව තවත් රුපියල් මිලියන 1000ක් වෙන් කිරීමට යෝජනා
  • දැනට විශ්‍රාම වැටුප් නොලබන ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා දායකත්ව විශ්‍රාම වැටුප් ක්‍රමයක් යොජනා කරනවා
  • ඇළ වේලී ප්‍රතිසංස්කරණය හා වැව් බැමි ආරක්ෂා කිරීමට රුපියල් මිලියන 2000ක්
  • ගැබිණි මව්වරුන්ට පෝෂණ මල්ල ලබා දීම මාස 24ක් දක්වා දීර්ඝ කිරීමට යෝජනා
  • දැනට වෙන් කර ඇති මුදලට අමතරව රාජ්‍ය සේවය ඩිජිටල්කරණය සඳහා තවත් රුපියල් මිලියන 500ක්
අයවැය 2022

ඡායාරූප මූලාශ්‍රය, Sri Lanka President's Media

නව බදු

  • සිගරැට් මත අයකෙරෙන බද්ද වහාම ක්‍රියාත්මක වන පරිදි වැඩි කිරීමට යෝජනා. ඒ අනුව, එක් සිගරැට්ටුවක මිල රු. 5කින් වැඩි වනු ඇති
  • වහාම ක්‍රියාත්මක වන පරිදි සුරා බද්ද වැඩි කෙරේ
  • මෝටර් රථ අනතුරුවලට ලක්වන වාහත සම්බන්ධයෙන් ගාස්තුවක් අයකර ගැනේ. එම ගාස්තුව රක්ෂණයෙන් ප්‍රතිපූර්ණයකර ගැනීමට අවස්ථාව ලබා දේ.
  • වාහන නවීකරණය, වෙනස් කිරීම, හා වැඩි දියුණු කිරීම සඳහා ගාස්තුවක් අයකෙරේ. මීට අමතරව සමා කාලයක් ඇතුළත දඩ මුදලක් ගෙවීමට යටත්ව ධාවනය කිරීමට යෝග්‍ය නීත්‍යානුකූල නොවන මෝටර් වාහන සහ මෝටර් සයිකල් නීත්‍යානුකූලව ලියාපදිංචි කිරීමට අවස්ථාව ලබා දේ.
  • නිදහස්කර ගැනීමට අදාළ බදු මුදල නොගෙවීම හා වෙනත් විවිධ හේතූන් නිසා ශ්‍රී ලංකා රේගුවේ නවතා ඇති සියලු වාහන නිදහස් කෙරේ
  • බැංකු හා මූල්‍ය සේවා ආයතන විසින් මූල්‍ය සේවා සැපයීම සම්බන්ධයෙන් වන අගය එකතු කිරීම මත අයකරන බද්ද 15%සිට 18% දක්වා වැඩ කෙරේ. මෙය 2022 ජනවාරි 1 දා සිට 2022 දෙසැම්බර් 31 දා දක්වා සෑම මසකම ගෙවිය යුතු, පාරිභෝගිකයා වෙත යොමු නොකළ යුතු බද්දකි.
  • 2020/2021 තක්සේරු වර්ෂය සඳහා රු. මිලියන 2,000ට වඩා බදු අයකළ හැකි ආදායමක් උපයන ලද තැනැත්තන් හෝ සමාගම් මත එක් වරක් පමණක් අය කෙරෙන 25%ක අධිහාර බද්දක්
  • 2021 අයවැය මගින් යෝජනා කෙරුණු දැනට කෙටුම්පත් කර ඇති විශේෂ භාණ්ඩ හා සේවා බද්ද 2022 ජනවාරි මස සිට එම පනතින් ආවරණය වන භාණ්ඩ හා සේවා සඳහා ක්‍රියාත්මක කිරීමට යොජනා කරනවා
  • පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම ශ්‍රී ලංකා මහ බැංකුවේ ආචරධර්ම පද්ධතිය කඩකරමින් උපයන ලද රුපියල් බිලියන 8.5 මුදල මහා භාණ්ඩාගාරය වෙත මාරු කිරීමට යෝජනා කරනවා

වියදම් කළමනාකරණය සඳහා අයවැය කියවීමෙන් යෝජනා

  • රාජ්‍ය හා අර්ධ රාජ්‍ය ආයතනවලට නව කාර්යාල ගොඩනැගිලි ඉදිකිරිම වසර දෙකකට අත්හිටුවයි
  • අමාත්‍යවරුන්ට සහ රාජ්‍ය නිලධාරීන්ට ලබා දෙන මාසික ඉන්ධන දීමනාව ලීටර පහකින් අඩු කෙරේ
  • රාජ්‍ය ආයතනවල දුරකතන වියදම් 25%කින් කපා හැරේ
  • රාජ්‍ය ආයතනවලට සූර්ය බලයෙන් විදුලිය ලබාගැනීමට දිරිමත් කරනු වස් විදුලිබල ප්‍රතිපාදන 10%කින් අඩු කෙරේ
  • පාර්ලිමේතු මන්ත්‍රීවරයෙකු විශ්‍රාම වැටුප ලැබීම සඳහා සේවය කළ යුතු කාල සීමාව වසර 10ක් දක්වා දීර්ඝ කෙරේ. මෙය ඒකාබද්ධ අරමුදලෙන් වැටුප් ලබන ජනාධිපතිවරයා ඇතුළු සෑම ධුරයක් සඳහා අදාළ වේ
  • සෑම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුටම සිය කොට්ඨාසය තුළ සංවර්ධන කටයුතු සඳහා දැනට ලබාදෙන මන්ත්‍රී ප්‍රතිපාදන තවත් රුපියල් මිලියන 5කින් ඉහළට. සියලු මන්ත්‍රීවරුන් වෙනුවෙන් මිලියන 3,375 ක්

මීට අමතරව මාර්ග සංවර්ධනය සඳහා දැනට වෙන්කළ රු. මිලියන 260 000ට අමතරව තවත් මිලියන 20 000ක්, රසායනික වල් නාශකවලින් තොරව වල් පැළහරණය දිරිගැන්වීම සඳහා රු. මිලියන 4000ක්, නව කෘෂි තාක්ෂණය හඳුන්වා දීම සඳහා රු. මිලියන 22005ක්, ගම සමග පිළිසඳර යටතේ ග්‍රාම සේවා වසම් 14 021ක් වෙනුවෙන් රු. මිලියන 42 063ක් වශයෙන් ද මුදල් වෙන්කර තිබේ.