ශ්‍රී ලංකාවේ කොවිඩ් සහ ඩෙල්ටා: 'වහා ඇඳිරි නීතිය ක්‍රියාත්මක කළොත් අමතර මරණ 1,200 ක් වලකා ගත හැකියි'

Mortuary workers carry unidentified bodies to be taken for a Covid-19 polymerase chain reaction (PCR) test at the Judicial Medical Officer's premises in Colombo on August 10, 2021. (Photo by ISHARA S. KODIKARA / AFP) (Photo by ISHARA S. KODIKARA/AFP via Getty Images)

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, "කැමැත්තෙන් තොර මනුෂ්‍ය ඝාතනයකට ලක් කිරීමක්"

වහා රට තුළ ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීමෙන් ඉදිරි දින 20 තුළ අමතර මරණ 1,200 ක් වත් වලකා ගත හැකි බව ප්‍රජා සෞඛ්‍ය විශේෂඥයෝ පවසති.

ශ්‍රී ලංකාවේ කොවිඩ් තත්ත්වය පුරෝකථනය කළ හැකි දත්ත ඒ බව පෙන්නුම් කරන බව රජරට විශ්වවිද්‍යාලයේ ප්‍රජා වෛද්‍ය විද්‍යා අංශයේ මහාචාර්ය සුනෙත් අගම්පොඩි පවසයි.

මිනිස් ජීවිත බේරා ගැනීමේදී කඩිනම් තීන්දු තීරණ ගැනීම අතිශය තීරණාත්මක බව ඔහු පෙන්වා දෙයි.

"තීරණ ගැනීමේදී දින 5 ක ප්‍රමාදයක්, අවම වශයෙන් 700 දෙනෙකුවත් නොසිතා ඝාතනයට ලක් කිරීමක් වනු ඇති," බව ඇමරිකාවේ යේල් විශ්වවිද්‍යාලයේ බෝවන රෝග පිළිබඳ විද්‍යාඥයෙකු වශයෙන් ද කටයුතු කරන මහාචාර්ය අගම්පොඩි නිකුත් කළ ට්විටර් පණිවුඩයක දැක්වේ.

සති දෙකක් තුළ ශ්‍රී ලංකාවේ දිනකට සිදුවන මරණ සංඛ්‍යාව 150 දක්වා ඉහළ යා හැකි බවට මහාචාර්යවරයා සෙනසුරාදා (අගෝස්තු 07) අනතුරු ඇඟවීය.

එවැනි තත්ත්වයක් ඇතිවීමට 90% ක පමණ ඉඩක් ඇතැයි දත්ත මගින් පෙන්නුම් කරන බව ද මහාචාර්ය අගම්පොඩි BBC සිංහල සේවය වෙත පැවසීය.

Skip X post
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of X post

අඟහරුවාදා (අගෝස්තු 10) තවත් කොවිඩ් මරණ 118 ක් වාර්තා වූ අතර ඇඳිරි නීතිය දැමීම අවසාන විකල්පය බව රජයේ ස්ථාවරය වී තිබේ.

රජයේ ප්‍රතිචාරය: "ඉතිරිය දෙවියන්ට භාරයි..."

අඟහරුවාදා අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක් වෙමින් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල කියා සිටියේ "කොවිඩ් ව්‍යසනයට තිබෙන හොඳම සහ ආසන්නතම වශයෙන් අංග සම්පූර්ණ විසඳුම" ලෙස ලොව පිළිගන්නේ එන්නත්කරණය බවය.

වයස අවුරුදු 18 ට අඩු සියලුම දෙනාට එන්නත ලබා දීම ආණ්ඩුවේ ඉලක්කය බවත් ඇමතිවරයා සඳහන් කළේය.

"අවුරුදු 18 ට වැඩි සියලුම දෙනාට එන්නත ලබා ගන්න හැකි තත්ත්වයට රට පත් කරනවා. මේක තමයි අපිට තිබුණු ලොකුම අභියෝගය. ඉන්දියාවේ ඇති වුණු විප්ලවීය තත්ත්වය තුළ ඔවුන්ට එන්නත් පනස් දාහක්වත් පිටට දෙන්න පුළුවන් තත්ත්වයක් තිබුණේ නැහැ."

"අපේ ඉලක්කය තමයි අන්න ඒ පහසුකම ලබලා දීලා ඉතිරි ටික දෙවියන්ට බාර දීම," යනුවෙන් අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල වැඩිදුරටත් පැවසීය.

'එන්නත්කරණය පමණක් ප්‍රමාණවත් නැහැ' - විශේෂඥ වෛද්‍යවරු

ආණ්ඩුවේ ස්ථාවරය එය වුවත් එන්නත්කරණයෙන් පමණක් වසංගතයක් පාලනය කළ නොහැකි බව සෞඛ්‍ය විශේෂඥයෝ දිගින් දිගටම අවධාරණය කරති.

රෝහල් ධාරිතාව උපරිමයක් කරා ළඟා වීම නිසා කොවිඩ් රෝගීන් පමණක් නොව අනෙකුත් රෝගීන් ද මරණයට පත්වීම නොවැලැක්විය හැකි බව ඔවුහු පෙන්වා දෙති.

එබැවින් කල් නොමරා හැකි ඉක්මනින් දැඩි සංචරණ සීමා පනවන ලෙස විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය ද ආණ්ඩුවෙන් ඉල්ලා සිටියි.

එන්නත්කරණය සම්පූර්ණ කිරීමට තවත් මාස 2-3 ත් අතර කාලයක් ගත වන බව පෙන්වා දෙන එම සංගමය, තවදුරටත් රෝගය පැතිරීම වැළැක්වීමට ඇති ප්‍රධානම අවිය දැඩි සංචරණ සීමා පැනවීම බව අවධාරණය කරයි.

"තව දින කිහිපයකින් රට ඉතාමත් විශාල අර්බුදයකට යෑමට ඇති හැකියාව සක් සුදක් සේ පැහැදිලිය," යනුවෙන් විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය නිකුත් කළ නිවේදනයක දැක්විණි.

එමගින් දැඩි පීඩනයකට හසුව සිටින සෞඛ්‍ය සේවයට "හුස්ම ගැනීමට යම් ඉඩක්" ලැබෙන බවත් එහි වැඩිදුරටත් සඳහන් විය.

"මගේ මතේ වැඩක් නෑ..." - අමාත්‍ය වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ

මේ අතර පවතින තත්ත්වය සම්බන්ධයෙන් ආණ්ඩුව ගනු ලබන තීන්දු තීරණ පිළිබඳ ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ නොසතුට පළ කරන ආකාරයක් පෙනෙන්නට තිබේ.

රටේ පවතින සෞඛ්‍ය සම්බන්ධයෙන්න් සිය අදහස කුමක්දැයි රාජ්‍ය අමාත්‍යවරියගෙන් මාධ්‍යවේදියෙකු විමසන අවස්ථාවේ, "මගේ මතේ වැඩක් නැහැනේ. මගේ මතේ වැඩක් නැහැ... තීන්දු ගන්න අය තීන්දු ගනියි. නමුත් අවදානමක ඉන්නේ," යනුවෙන් ඇය ප්‍රතිචාර දක්වන අයුරු දැක්වෙන වීඩියෝවක් 'Headline News' වාර්තා කර තිබිණි.

"ඒ නිසා රටේ ජනතාවට මම කියන්නේ රජය කරයි, සෞඛ්‍ය අමාත්‍යාංශය කරයි කියලා බල බල ඉන්න එපා. මේ ජීවිතයේ වටිනාකම තිබෙන්නේ ඔබට. තමුන්ගේ පවුල ආරක්ෂා කර ගන්න. ඒ නිසා නීති දානකම් ඉන්න එපා. තම තමන් ආරක්ෂා වෙන්න දැන ගන්න. සෞඛ්‍ය උපදෙස් ටික පිළිපදින්න. අනවශ්‍ය ගමන්, අනවශ්‍ය සාද ටික නවත්වන්න," යනුවෙන් ඇය ජනතාවගෙන් ඉල්ලා සිටියාය.

මේ ගැනත් කියවන්න: