ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ශ්‍රී ලංකාවේ නීතිය, දුමින්ද සිල්වා සහ 'චොකා මල්ලී': 'කුමට එරට අධිකරණය නීතිය සහ විනිසුරන්?'
- Author, සුනෙත් පෙරේරා
- Role, BBC සිංහල
"තාත්තව මරලා දැම්මා මදිවට දේශපාලන ප්‍රතිවාදීන් මගේ තාත්තට සොහොනේ නිදා ගන්නවත් ඉඩ දෙන්නේ නැහැ."
"තාත්තගේ සොහොනත් ගමෙන් ගෙනියනවා. සොහොනකටත් මෙහෙම කරනවා නම් අපිට මේ රටේ සාධාරණයක් ගැන බලාපොරොත්තු වෙන්න පුළුවන්ද?"
ඉහත දැක්වෙන්නේ 2015 ජනාධිපතිවරණය අතරතුර ඝාතනය කරන ලද ශාන්ත දොඩංගොඩ හෙවත් ඩී.ජී සුනිල් පෙරේරාගේ සොහොන් කොතට හානි සිදු කිරීම පිළිබඳ ඔහුගේ පුත් සුමංග බීබීසී සිංහල සේවය වෙත පළ කළ අදහසයි.
2015 ජනවාරි 05 වෙනිදා අලුයම කහවත්ත නගරයේ දී එවක පොදු අපේක්ෂකයා වූ මෛත්‍රීපාල සිරිසේන වෙනුවෙන් සංවිධානය කෙරුණු ප්‍රචාරක රැළියක් සඳහා සැරසිලි කරමින් සිටි පිරිසකට වෙඩි තබා, ශාන්ත දොඩංගොඩ මරණයට පත් කිරීම පිළිබඳව 'චොකා මල්ලී' හෙවත් ප්‍රේමලාල් ජයසේකර ඇතුළු පිරිසක් මරණ දඬුවමට ලක්කරනු ලැබ සිටී.
අදාළ ඝාතනයට වරදකරු වී 2020 ජුලි මස එල්ලුම් ගස නියම වුණු ප්‍රේමලාල් ජයසේකර,2020 අගෝස්තු මස පැවති මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රත්නපුර දිස්ත්‍රීක් මනාප ලැයිස්තුවේ දෙවෙනියා බවට පත් විය.
ප්‍රේමලාල් ජයසේකර තමාට එරෙහිව එල්ල වූ ඝාතන චෝදනාව ප්‍රතික්ෂේප කරයි.
'දැන් අපේ ආණ්ඩුවක් තියෙන්නේ, උඹලා පරිස්සම් වෙලා හිටපන්'
මේ අතර අදාළ තීන්දුව අභියෝගයට ලක් කරමින් ප්‍රේමලාල් ජයසේකර මන්ත්‍රීවරයා විසින් අභියාචනාධිකරණයේ ගොනු කරනු ලැබ ඇති පෙත්සම නුදුරේදී විභාගයට ගැනීමට නියමිත බව සුමංග දොඩංගොඩ පවසයි.
කහවත්ත වැල්ලදුර පවුලේ සුසාන භූමියේ පිහිටි සිය පියාගේ සොහොන් කොතට යම් කිසි පිරිසක් හානි සිදු කර ඇත්තේ තමා ඇතුළු පවුලේ සාමාජිකයන්ට පණිවිඩයක් ලබා දීමේ අරමුණින් දැයි සැකයක් ඇතිවෙන බව ඔහු BBC වෙත කියා සිටියේය.
ඒ පිළිබඳ කහවත්ත පොලිසියට පැමිණිලි කර ඇති බවත් සුමංග සඳහන් කළේය.
"සොහොන් කොතේ තියෙන තාත්තගේ ඒ ෆොටෝ එක කඩන එකෙන් කියන්න හදන්නේ, 'දැන් අපේ ආණ්ඩුවක් තියෙන්නේ, උඹලා පරිස්සම් වෙලා හිටපන්' කියන එක ද දන්නේ නැහැ."
"වරදක් නොකර, මුළු ලෝකෙටම බයේ හැංගිලා ඉන්න වෙලා වගේ දෙයක් අපිට වෙලා තියෙන්නේ. අපි දුක්මහන්සියෙන් හම්බ කරලා, අපි දුක්මහන්සියෙන් කීයක් හරි එකතු කරලා අන්තිමේ ලෝකෙට බයේ හැංගෙන්න වෙලා..." යනුවෙන් ඔහු පැවසීය.
සිය පියාගේ මරණයෙන් පසු දේශපාලන ප්‍රතිවාදීන්ගේ අඩන්තේට්ටම්වලට ලක්වීම නිසා සිය මව සහ තමාට ගම හැර යාමට සිදු වූ හැටි සුමංග සිහිපත් කරයි. ඔහු දැනට විදෙස් ගතව සිටින අතර සිය මව කොළඹ වෙසෙන සහෝදරියන් දෙදෙනා විසින් රැක බලා ගනු ලබන බව සුමංග පවසයි.
වසර 2500 ඉතිහාසයේ සිංහල ජාතියේ අසහාය වීරයා ලෙස සැලකෙන දුටුගැමුණු රජතුමා සිය ප්‍රතිවාදියා වූ එළාර පරාජය කොට ඔහුට ගෞරව පිණිස චෛත්‍යයක් ඉදි කළ බවත් ඉන් නොනැවතී ඒ අසල බෙර දවුල් වැයීමට පවා තහනම් කළ බවත් කියැවේ.
දුටුගැමුණු සතුරාටත් ගරු කළේ එහෙමය.
එහෙත් අද 21 වෙනි සියවසයේ "අප සොහොන් කොතෙනුත් පළිගන්නා ජාතියක් බවට පත්ව තිබීම" කණගාටුවට කරුණක් බව සුමංග සඳහන් කළේය.
එබැවින් නඩු කටයුතු අවසන් වූදාක කහවත්තේ මිහිදන් කර ඇති සිය පියාගේ දේහය කොළඹට රැගෙන ගොස් නිසි ගෞරව සහිතව යළි මිහිදන් කරන බව ඔහු කියා සිටියේය.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් දුමින්ද සිල්වාට ජනාධිපති සමාව දී නිදහස් කරනු ලැබීම තුළ ප්‍රතිවාදීන් මර්දනය කිරීමේ ක්‍රියාවල යෙදෙන පුද්ගලයන්ට "හයියක්" ලැබිය හැකි බව සුමංගගේ අදහසය.
සමාව ලබා දීමෙන් නොනැවතී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති ධුරයක් ප්‍රදානය කිරීම මගින් ජනාධිපතිවරයා සමාජයට ලබා දෙන පණිවුඩය කුමක් දැයි ඔහු ප්‍රශ්න කරයි.
"ජීවිතාන්තය දක්වා හිරේ ගිය, මරණ දඬුවම ලැබුණු මනුස්සයෙක්. නිදහස ලැබුණා විතරක් නෙමෙයි දින කිහිපයකින් රජයේ උසස් තනතුරකුත් ලබා ගෙන එළියේ ඉන්නවා කියන්නේ, ප්‍රසිද්ධියේ මුළු ලෝකෙම බලා ඉන්නැද්දී..."
"එතකොට රටේ නීතියට මොකක්ද තියන තත්ත්වේ? උසාවියකින් නඩු අහලා තීන්දුවක් දීලා මොකටද? ඉතින් රටකට අධිකරණයක් තිබිලා මොකටද?"
"මේ යන විදිහට අපිට නීතිය මගින් ඇත්ත සාධාරණයක් දකින්න බැරි වෙයි. මේ යන විදිහට අපි වගේ සාමාන්‍ය මිනිස්සුන්ට කිසිම බලාපොරොත්තුවක් තියා ගන්න බැහැ."
"මනුස්සයෙකුට අවසානයේ තියෙන්නේ නීතියේ පිළිසරණ. මනුස්සයෙක් ගුටි කෑවත් දුවලා ගිහින් පොලිසියටනේ කියන්නේ. එතනත් සාධාරණයක් නැතිනම් අපි වගේ සාමාන්‍ය මිනිස්සු කොතනටද යන්නේ?"
එසේම එවැනි තත්ත්වයක් තුළ තමා වැනි අගතියට පත් පුද්ගලයන් සහ එම පවුල්වල ආරක්ෂාව පිළිබඳ බියක් දැනෙන බව සුමංග පවසයි.
රත්නපුරේ සහ රටේ දේශපාලනය
"යමෙකුගේ උවමනාව" මත ඔහුගේ පියාගේ සොහොන් කොතට හානි කළ පුද්ගලයා දන්නා කියන අයෙකුම විය හැකි යෑයි සුමංග සඳහන් කළේය.
"අනිවාර්යයෙන්ම, අපේ ගෙදරින් බත් කටක් කාපු කෙනෙක්."
"ගමේ අසල්වැසියාට එරෙහිව අසල්වැසියා, ඥාතියාට එරෙහිව ඥාතියා, මිත්‍රයාට එරෙහිව මිත්‍රයා පාවිච්චි කිරීමට දේශපාලනඥයන්ට හයියක් ලැබී," ඇති බව ඔහුගේ අදහසය.
"මොකද දේශපාලනඥයෝ, අපේ දුප්පත් අසරණ මිනිස්සුන්ට එතනින් එහා ලෝකයක් පෙන්නන්නේ නැහැ. ළිඳේ ඉන්න මැඩියා වගේ වටේ තියෙන ටික විතරයි දකින්නේ. ඉතින් හැමදාම ළිඳට වෙලා උන් කියන ටික අහගෙන, උන් කියන ටික කරගෙන ඔහේ ඉන්නවා."
"අරක්කු බෝතලේටයි, රුපියල් පන්සීයටයි ඕනි දෙයක් කරයි. ඒ මිනිස්සු රටේ, ලෝකේ දැක්කනම් මේ දේශපාලුවන්ට ගමරටවල ඉන්න ලැබෙන්නෙත් නැහැ. මිනිස්සුම එකතු වෙලා ගහලා පන්නයි."
"හැබැයි මිනිස්සුන්ට සල්ලි නැති කරලා පල්ලෙහාට දැම්මම, ඒ දාලා එතනම තියා ගත්තහම මිනිස්සුන්ට කශේරුකාව කියන දේ නැති වෙනවා. ගෙදර ළමයි අඬනවා, බඩු මුට්ටුවක් නෑ. එතැනදී මිනිස්සුන්ට හිතෙනවා මොනවම හරි කරලා ළමයින්ට කන්න දෙන්න ඕනි කියලා."
"අන්න ඒක තමයි මේ රටේ දේශපාලනඥයෝ අපිට කරලා තියෙන්නේ. මිනිස්සුන්ව අතකොලු කරගෙන ඉවරයි, 'උඹලට දෙන්න නම් වරෙව් මා ළඟට' කියන තැනට රට ගෙනත් තියෙන්නේ."
රත්නපුර වැනි මැණික් පතල් සහ තේ වතු ආශ්‍රිත රැකියාවල යෙදී ජීවිතය ගැටගසා ගන්නා සමාජ ස්ථරයක් වෙසෙන ප්‍රදේශයක ඉහත කී තත්ත්වය හොඳින්ම දැකිය හැකි බව සුමංගගේ අදහසයි.
අදාළ ඝාතනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර ඇතුළු දේශපාලනඥයින් තිදෙනෙකුට රත්නපුර මහාධිකරණය විසින් 2020 ජුලි මස මරණ දඬුවම නියම කරනු ලැබීය.
කහවත්ත ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති වජිර දර්ශන සිල්වා සහ සබරගමු පළාත් සභා හිටපු මන්ත්‍රී නිලන්ත ජයකොඩි මරණ දඬුවම නියම වූ අනෙක් දෙදෙනාය.
පාර්ලිමේන්තුවේ දිවුරුම් දීමෙන් පසු ප්‍රේමලාල් ජයසේකර කියා සිටියේ සිය දෑතේ "ලේ ගෑවී නොමැති" බවය.
මේ ගැනත් කියවන්න: