ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ඊශ්‍රායලයේ නව අගමැති නෆ්තාලි බෙනට් ජාතිය එක්සත් කිරීමට ප්‍රතිඥාදෙයි
වසර දෙකක් තුළ මැතිවරණ හතරකින් පසුද දේශපාලන අස්ථාවර භාවයට පත් වී ඇති ජාතිය එක්සත් කිරීමට ඊශ්‍රායලයේ නව අගමැති නෆ්තාලි බෙනට් ප්‍රතිඥා දී තිබේ.
තම රජය "සියලු ජනතාවගේ යහපත උදෙසා කටයුතු කරවා" යනුවෙන් පැවසූ ඔහු, අධ්‍යාපනය, සෞඛ්‍යය හා අනවශ්‍ය රෙගුලාසි ආදිය ඉවත්කිරීම යන ප්‍රතිසංස්කරණ තම ප්‍රමුඛතාව බව තවදුරටත් පැවසීය.
දක්ෂිණාංශික ජාතිකවාදියකු වූ ඔහු පෙර නොවූ විරූ පක්ෂ සන්ධානයකට නායකත්වය දෙන්නේ ඉරිදා පෙරවරුවේ පැවති ඡන්ද විමසීමේදී 60-59 ක් ලෙස මන්ත්‍රීවරුන්ගේ සහය තමන්ට හිමිකර ගැනීමෙන් අනතුරුවය.
ඔහු ඊශ්‍රායලයේ නව අගමැති වශයෙන් පත්වූයේ වසර 12 ක බලයේ සිටි බෙන්ජමින් නෙතන්යාහු හට බලයෙන් ඉවත්වීමට මග පාදමිනි.
යමිනා පක්ෂයේ නායක බෙනට් 2023 සැප්තැම්බර් දක්වා අගමැති ධුරයේ කටයුතු කරනුයේ බලය බෙදා ගැනීමේ ගනුදෙනුවක කොටසක් ලෙසය.
ඉන්පසුමධ්‍යගත යේෂ් ආටීඩ් පක්ෂයේ නායක යායිර් ලැපිඩ් වෙත තවත් වසර දෙකක කාලයක් සඳහා ඔහු අගමැතිකම භාර දෙනු ඇත.
ඊශ්‍රායලයේ දීර්ඝ කාලයක් සේවය කළ අගමැති නෙතන්යාහු දක්ෂිණාංශික ලිකුඩ් පක්ෂයේ ප්‍රධානියා ලෙස දිගටම රැදී සිටින අතර විපක්ෂයේ නායකයා බවට පත්වනු ඇත.
ජෙරුසලමේ නෙසෙට් (පාර්ලිමේන්තුව) හි ඉරිදා පැවති විවාදය අතරතුර, පරාජිත නෙතන්යාහු පොරොන්දු දෙමින් පැවසුවේ "අපි නැවත බලය ලබාගන්නවා" යනුවෙනි.
නීති සම්පාදකයින් ඡන්දය ප්‍රකාශ කිරීමෙන් නව සභාග ආණ්ඩුව පත්වීමෙන් පසු නෙතන්යාහු බෙනට් වෙත ගොස් අතට අත දී සුභ පැතීය.
49 හැවිරිදි බෙනට් සිය කතාවේදී පැවසූවේ : "මෙය ශෝක දිනයක් නොවේ. ප්‍රජාතන්ත්‍රවාදයක දී ආණ්ඩු වෙනසක් ඇතිවේ. එපමණයි.
"කිසිවෙකු බිය නොවිය යුතු වන පරිදි අපි අපට හැකි සෑම දෙයක්ම කරන්නෙමු ... ඒ වගේම මම අද රාත්‍රිය සැමරීමට අදහස් කරන අයට කියනවා, අන් අයගේ වේදනාව මත නටන්න එපා. අපි සතුරන් නොවේ; අපි එක ජනතාවක්."
පලස්තීනුවන්ගේ නියෝජිතයන් හෙළාදකින සුලු ස්වරයකින් ඊශ්‍රායලයේ නව රජයට ප්‍රතිචාර දක්වා ඇත.
"මෙය ඊශ්‍රායලයේ අභ්‍යන්තර කටයුත්තක්. අපගේ ස්ථාවරය සැමවිටම පැහැදිලියි. අපට අවශ්‍ය වන්නේ 1967 දී පැවති මායිමේ වලට අනුව ජෙරුසලම අගනුවර වන පලස්තීන රාජ්‍යයක්" යැයි පලස්තීන ජනාධිපති මහමුද් අබ්බාස් ගේ ප්‍රකාශකයකු සඳහන් කළේය.
"මෙය අත්කරගැනීමක් සහ යටත් විජිත ව්‍යුහයක්. එයට අප විරුද්ධ විය යුතු අතර අපගේ අයිතිවාසිකම් නැවත ලබා ගැනීම සඳහා අප බලය යෙදිය යුතුයි," යනුවෙන් ගාසා තීරය පාලනය කරන ඉස්ලාමීය කණ්ඩායමක් වන හමාස් හි ප්‍රකාශකයෙකු පැවසීය.
එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් බෙනට් ට සිය සුබ පැතුම් යවමින් කියා සිටියේ "සමීප හා චිරස්ථායී" ද්විපාර්ශ්වික සම්බන්ධතාව ශක්තිමත් කිරීමට තමන් අපේක්ෂා කරන බවයි.
මෙය සිදු වූයේ ඇයි?
නෙතන්යාහු මේ වන විට වාර පහක් අගමැතිවරයා වශයෙන් සේවය කර ඇත, පළමුව 1996 සිට 1999 දක්වා, පසුව 2009 සිට 2021 දක්වා අඛණ්ඩව ඔහු අගමැති ධුරය දැරීය.
ඔහු 2019 අපේ‍්‍රල් මාසයේ මැතිවරණයක් කැඳවූ නමුත් නව සභාග රජයක් පිහිටුවීමට ප‍්‍රමාණවත් සහයෝගයක් ලබා ගැනීමට අපොහොසත් විය. ඉන් අනතුරුව තවත් අසම්පුර්ණ මැතිවරණ දෙකක් පැවැත්විණි.
තෙවැනි මැතිවරණයෙන් පසු ඔහු එවක විපක්ෂ නායක බෙනී ගැන්ට්ස් සමඟ ජාතික සමගි රජයක් පිහිටුවා ගත් නමුත් එම සම්මුතිය බිඳ වැටුණු අතර මාර්තු මාසයේදී ඊශ්‍රායලය නැවත මැතිවරණයට ගියේය.
ලිකුඩ් විශාලතම පක්ෂය බවට පත්වූ නමුත් නෙතන්යාහුට නැවත ආණ්ඩුවක් පිහිටුවීමට නොහැකි වීමෙන් පසුව, එම කාර්යය දෙවෙනි ස්ථානයට පත්වූ පක්ෂයේ නායක ලැපිඩ් ට පැවරිණි.
නෙතන්යාහු බලයේ රැඳී සිටීමට ඇති විරෝධය වැඩිවිය, වම හා මධ්‍යගත පක්ෂ අතර පමණක් නොව, යමිනා ඇතුළු ලිකුඩ් සමඟ සාමාන්‍යයෙන් දෘෂ්ටිවාදාත්මකව බැඳී සිටින දක්ෂිණාංශික පක්ෂ අතර ද එම විරෝධය වර්ධනය වී තිබේ.
යමිනා පක්ෂය මැතිවරණයෙන් පස්වෙනි ස්ථානයට පත්වූයේ ආසන හතක් පමණක් ලබාගෙන වුවද එහි සහයෝගය තීරණාත්මක විය. සති ගණනක සාකච්ඡාවලින් පසු ලැපිඩ් යමිනා පක්ෂය එකඟතාවකට ගෙන ආවේ නෙතන්යාහු ධුරයෙන් ඉවත් කිරීම එකම පොදු ඉලක්කය වූ පක්ෂ රාශියක කොටසක් ලෙසිනි.
බහුතරයක් සඳහා අවශ්‍ය ආසන 61 සමඟ කන්ඩායම් අටක් සම්බන්ධ කර ගත් ගිවිසුම ජුනි 2 වන දින අත්සන් තබන ලදී. නියමිත කාල සීමාව ඉකුත්වීමට පැය භාගයකට පෙර නෙතන්යාහු ඉරණම තීරණය විය.
නව රජය කෙබඳු වනු ඇත්ද?
බෙනට් ගේ රජය ඊශ්‍රායලයේ අවුරුදු 73 ක ඉතිහාසයේ පෙර පැවති රජයට වඩා වෙනස් වනු ඇත.
මෙම සන්ධානය තුළ විශාල දෘෂ්ටිවාදාත්මක වෙනස්කම් ඇති පක්ෂ අඩංගු වන අතර, ඇතැම්විට වඩාත්ම වැදගත් කරුණ වන්නේ බලාපොරොත්තු සහගත පාලක සභාගයේ කොටසක් ලෙස පළමු ස්වාධීන අරාබි පක්ෂය වන රාම් එක්වීමය. එසේම වාර්තාගත ලෙස අමාත්‍යවරියන් නව දෙනෙකු ද වෙතැයි අපේක්ෂා කෙරේ.
රාම් සහ වාමාංශික අරාබි නොවන ඊශ්‍රායල් පක්ෂ ඇතුළත් කිරීම යන්නෙන් අදහස් වන්නේ පලස්තීනුවන් සම්බන්ධයෙන් ඊශ්‍රායල ප්‍රතිපත්ති - ඊශ්‍රායලය අත්පත්කරගෙන සිටින බටහිර තීරයේ යුදෙව්වන්ට දැඩි සහයෝගයක් දක්වන යමිනා සහ තවත් දක්ෂිණාංශික පක්ෂයක් වන නිව් හෝප් වැනි කරුණු සම්බන්ධයෙන් ඝට්ටනයක් පැවතිය හැකි බවය.
සමාජ ප්‍රතිපත්ති සම්බන්ධයෙන් ද මතභේද ඇති විය හැකිය - සමලිංගික විවාහ පිළිගැනීම වැනි සමලිංගික අයිතිවාසිකම් ඉදිරියට ගෙන යාමට ඇතැම් පක්ෂවලට වුවමනා වුවද, ඉස්ලාමීය පක්ෂයක් වන රාම් මෙයට විරුද්ධ ය.
මීට අමතරව,ජාතික-ආගමික පක්ෂයක් වන යමිනාට වඩා පුළුල් ලෙස ආගමික සීමා ලිහිල් කිරීමට ඇතැම් පක්ෂවලට අවශ්‍ය වී තිබේ. එය සිදුවීමට බොහෝදුරට ඉඩ ඇත.