ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
කොවිඩ් 19: ඉන්දියාවේ 'කොවිඩ් සුනාමිය' ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍ය ආහාර සහ ඖෂධ ආනයනයට බලපාන්නේ කෙසේද?
- Author, ෂර්ලි උපුල් කුමාර
- Role, බීබීසී සිංහල
කොවිඩ් 19 නිසා මේ වනවිට ලෝකයේ වැඩිම බලපෑමක් එල්ලවී ඇති රට බවට ඉන්දියාව පත්ව තිබේ. ඉන්දියානුවන් ජීවිතය ඉල්ලා හඬා වැටෙන අයුරු, ඔක්සිජන් නොමැතිව මිය යන අයුරු මෙන්ම රෝහල් පිරී ඉතිරී ඇති අයුරු දැක්වෙන ඉතා සංවේදී දර්ශන මාධ්‍ය මගින් වාර්තා කර තිබේ. එමෙන්ම මියගිය ඥාතීන්ගේ දේහ ආදාහනය කිරීමට වාරය ලැබෙන තුරු මහමග තබා ගෙන දිගු පෝලිම් වල සිටිනා ඉන්දියානුවන් සහ 'විශාලාවක්' වී ඇති ප්‍රදේශ දැක්වෙන දර්ශන ද ඒ අතර වේ.
එම තත්ත්වය මත ඉන්දියාවේ ආනයන අපනයන ක්‍රියාවලියට ද බලපෑමක් එල්ල කර තිබේ. එය ශ්‍රී ලංකාවාසීන්ට කෙසේ බලපානු ඇත්දැයි සොයාබැලීම ඉතා වැදගත් වේ. ඊට හේතුව ශ්‍රී ලංකාවේ දෙවෙනි වෙළෙඳ හවුල්කරුවා ඉන්දියාව බැවිනි. වටිනාකම අනුව සැළකු විට ඉන්දියාව පසු කරමින් ඉදිරියට පැමිණි චීනය 2020 වසරේ ශ්‍රී ලංකාවේ ප්‍රධාන වෙළෙඳ හවුල්කරුවා බවට පත්විය.
ශ්‍රී ලංකා මහා බැංකුවේ 2020 වාර්ෂික වාර්තාවට අනුව, ආනයන අපනයන ද්විත්වය ඇතුළත් සමස්ත විදේශීය වෙළෙඳාමෙන් 40%ක් ශ්‍රී ලංකාව සිදු කරනු ලබන්නේ චීනය , ඉන්දියාව සහ ඇමරිකා එක්සත් ජනපදය සමග වේ. එම රටවල් තුන සමග 2019 දී කළ මුළු වෙළෙඳ ගනුදෙනුවල වටිනාකම ඩොලර් බිලියන 12.5ක් වන අතර 2020 දී එම අගය ඩොලර් බිලියන 10.5 දක්වා අඩු විය.
''අල, ලූණු, මිරිස් කිසියම් ප්‍රමාණයක් පරිප්පු වැනි අත්‍යවශ්‍ය පරිභෝජන භාණ්ඩ හුගක් ආනයනය කරන්නේ ඉන්දියාවෙන්.''
ශ්‍රී ලංකාව 2020දී සමස්ත ආනයනවලින් 19.2% ක් සිදු කර තිබෙන්නේ ඉන්දියාවෙනි.
2020 ශ්‍රී ලංකාවේ ප්‍රධාන ආනයන ප්‍රභවයන්
- 01. චීනය - සමස්ත අනයනයෙන් 22% ක්
- 02. ඉන්දියාව - සමස්ත අනයනයෙන් 19.2% ක්
- 03. එක්සත් අරාබි එමීර් රාජ්‍යය - සමස්ත අනයනයෙන් 6.4% ක්
දීර්ඝ කාලයක් පුරා වෙළෙඳ ගනුදෙනු සිදුවීම, ප්‍රවාහන වියදම අඩුවීම, දේශපාලන සම්බන්ධතා සහ වෙළෙඳ ගිවිසුම් ආදිය පදනම් කර ගනිමින් අත්‍යවශ්‍ය ආහාර සහ කර්මාන්ත සඳහා අමුද්‍රව්‍ය ලබා ගැනීම සඳහා ඉන්දියාවෙන් භාණ්ඩ ආනයනය සිදු කරනු ලැබේ.
''අපි අල, ලූණු, මිරිස් , කිසියම් ප්‍රමාණයක් පරිප්පු වැනි අත්‍යවශ්‍ය පරිභෝජන භාණ්ඩ හුඟක් ආනයනය කරන්නේ ඉන්දියාවෙන්. මේවා බොහොමයක් ආනයනය කරන්නේ පුද්ගලික අංශයෙන්. කොවිඩ් තත්ත්වය හමුවේ ඉන්දියාවෙන් භාණ්ඩ පැටවීම අඩාල වුණොත් අපේ වෙළෙඳුන් වෙනත් වාසිදායක මාර්ගවලට ගිහින් පකිස්ථානයට, බුරුමයට, බංගලිදේශයට මාරු වෙනවා. ඒක නිසා ලොකු බලපෑමක් වෙන්නේ නෑ. සමහර විට වාසියක් වෙන්න පුළුවන්. කර්මාන්ත සඳහා අමුද්‍රව්‍ය වලටත් ඕකම තමයි වෙන්නේ.'' යනුවෙන් වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන බීබීසී සිංහල සේවයට කියා සිටියේය.
''නිෂ්පාදන ක්ෂේත්‍රයේ ලොකු අර්බුදයකට යන්න පුළුවන්.''
අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළත් පාරිභෝගික භාණ්ඩ ආනයනය සඳහා ඉන්දියාවේ තත්ත්වය එතරම් බලපෑමක් ඇති නොකළ ද නිෂ්පාදන ක්ෂේත්‍රයට දැඩි බලපෑමක් එල්ල විය හැකි බව ජාතික විද්වත් සංවිධානයේ, ආර්ථික ප්‍රතිපත්ති සම්පාදක කමිටුවේ සභාපති ආචාර්ය අනිල් ජයන්ත බීබීසී සිංහල සේවය සමග කළ අදහස් දැක්වීමේදී සඳහන් කළේය.
''අපේ ආනයනවලින් ලොකු ප්‍රතිශතයක් ඉන්දියාවෙන් වුණාට, අපනයන පැත්තෙන් බැලුවොත් ඒක ඉන්දියාවට පොඩි ප්‍රතිශතයක්. ඒ නිසා ඉන්දියාව මුහුණ දී ඇති තත්ත්වය මත ඔවුන් අපිට තියෙන සැලකිල්ල අඩු වුණොත් අපේ රටේ දළ දේශීය නිෂ්පාදිතයත්, කර්මාන්ත, සුලු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත හා ප්‍රති අපනයන ක්ෂේත්‍රය ගත්තොත් මරු පහරක් වෙන්න පුළුවන්. නිෂ්පාදන ක්ෂේත්‍රයේ ලොකු අර්බුදයකට යන්න පුළුවන්.'' යනුවෙන් ආචාර්ය අනිල් ජයන්ත කියා සිටියේය.
මේ වනවිට චීනය ශ්‍රී ලංකාවේ විශාලම වෙළෙඳ හවුල්කරුවා බවට පත් වුව ද ශ්‍රී ලංකාවෙන් සිදු කරන අපනයන සැළකීමේදී චීනයට වඩා වැඩි ප්‍රතිශතයක් ලංකාවෙන් ඉන්දියාවට භාණ්ඩ අපනයනය කරන බව ද ඔහු පැවසුවේය.
ආහාර ද්‍රව්‍ය සහ ඖෂධවලට අමතරව රෙදිපිළි හා රෙදිපිළි උපාංග, ඛනිජ තෙල් නිෂ්පාදන, ගොඩනැගිලි ද්‍රව්‍ය, යන්ත්‍රසූත්‍ර හා උපකරණ, රසායනික නිෂ්පාදන ආදිය ඉන්දියාවෙන් ආනයනය කෙරේ.
සත්ත්ව ආහාර, කුළු බඩු, රෙදි පිළි, ඛනිජ තෙල් නිෂ්පාදන සහ සුළු කෘෂිකාර්මික නිෂ්පාදන ශ්‍රී ලංකාව ප්‍රධාන වශයෙන් ඉන්දියාවට අපනයනය කරන භාණ්ඩ අතරට අයත් වේ.
ඉන්දියාවෙන් එන්නත් ලැබීම පමා වෙයි
කොවිඩ් 19 රෝගයෙන් ජනතාව ආරක්ෂා කර ගැනීම සඳහා එන්නත් ලබා දීම ජනවාරි 29 වැනිදා ආරම්භ විය. ඒ ඉන්දියාවෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු එන්නත් මාත්‍රා ලක්ෂ 05 ලැබීමත් සමගය. ඒ අතර ඉන්දියාවේ සීරම් ආයතනයෙන් එන්නත් මාත්‍රා මිලියනයක් ශ්‍රී ලංකාව ඇනවුම් කරන ලදී. ඉන් ලක්ෂ 05ක් ලැබුණු අතර ඉතිරිය අදියර දෙකක් යටතේ අප්‍රේල් සහ මැයි ලබා දීමට ඔවුන් එකඟ වී සිටි බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය ඇමතිනී විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මැයි 04 වැනිදා පාර්ලිමේන්තුවේදී පැවසුවාය.
''අනපේක්ෂිත විදියට ඉන්දියාවේ තිබුණු දරුණු වසංගතයත් එක්ක සීරම් ආයතනයට බැරි වෙනවා අවශ්‍ය පරිදි එන්නත් ටික ඩිලිවර් කරන්න. අපිට ලක්ෂ හයක එන්නත් ගැටලුවක් තියෙනවා. ඒක හංගන්න දෙයක් නෑ. මේක රජයේ වරදක් හින්දා නෙමෙයි. වසංගතයේ තත්ත්වය මත නිෂ්පාදකයන්ට අවශ්‍ය කරන සැපයුම දීගන්න බැරි හින්දා. ඒ එක්කම අපි ස්පුට්නික් එන්නත ගේන්න, ෆයිසර් එන්නත ගේන්න කටයුතු කරලා තියෙනවා.'' යනුවෙන් ඇය සඳහන් කළාය.
ශ්‍රී ලංකාවේ අත්‍යවශ්‍ය ඖෂධ හිඟයක් ඇති වෙයිද ?
ඉන්දියාවේ පවතින තත්ත්වය මත මේ වන විට ශ්‍රී ලංකාවේ අත්‍යවශ්‍ය ඖෂධ හිගයක් මතුවී නොමැති බව ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන බීබීසී සිංහල සේවයට කියා සිටියේය.
''බෝ නොවන රෝග සඳහා අවශ්‍ය ඖෂධ වලින් බහුතරයක් අපි රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව හරහා නිෂ්පාදනය කරනවා. ඒකට අවශ්‍ය අමුද්‍රව්‍ය අපි ගේන්නේ චීනයෙන්. ඒ සැපයුම් මාර්ගයට ලොකු හානියක් වෙලා නෑ. අමුද්‍රව්‍ය තොග විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒ නිසා ඉන්දීය සැපයුම නැති වුණා කියලා විශේෂයෙන් රාජ්‍ය ක්ෂේත්‍රයට ප්‍රශ්නයක් වෙන්නේ නෑ. හැබැයි මේ තත්ත්වය තව මාස තුනක් වගේ දිගටම ගියොත් අත්‍යවශ්‍ය නොවන ඖෂධවල, පුද්ගලයන්ට විශේෂ වූ වෙළෙඳ නාමයෙන් ගන්න ඖෂධවල ප්‍රශනයක් එන්න පුළුවන්.'' යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවසීය.
තවත් තොරතුරු: