සිංහරාජ ලෝක උරුමය සහ යුනෙස්කෝ : තාක්ෂණික ගැටලු දැනගමු

සිංහරාජ ලෝක උරුමය සහ යුනෙස්කෝ

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

සිංහරාජය මෙන්ම යුනෙස්කෝ ආයතනය මුල් කරගනිමින් පළ වන ඇතැම් මාධ්‍ය වාර්තාවල පවතින තාක්ෂණික දෝෂ, ජනතාව මුලා කිරීමට හෝ නොමග යැවීමට හේතු වී ඇතැයි පරිසරවේදීහු චෝදනා කරති.

ගිං නිල්වලා වාරි ව්‍යාපෘතිය යටතේ යෝජිත මාදුගැටේ ජලාශය සහ කලවාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් පෞද්ගලික ඉඩමක සිදු වී ඇතැයි පැවසෙන වන විනාශය සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලනඥයන් සහ රාජ්‍ය නිලධාරීන් සිදු කරන ප්‍රකාශ ඇතුළත් වාර්තා ඊට ආසන්නතම උදාහරණ වේ.

පහත දැක්වෙන්නේ සිංහරාජය සහ යුනෙස්කෝ ආයතනය සම්බන්ධයෙන් ඔබ දැන ගත යුතු තාක්ෂණික කරුණු පිළිබඳ කෙටි විමසුමකි.

සිංහරාජ ලෝක උරුමය සහ සිංහරාජ රක්ෂිත වනාන්තරය: දෙකක්ද? එකක්ද?

  • සිංහරාජ ලෝක උරුම රක්ෂිතය: 1988 යුනෙස්කෝව විසින් ලෝක උරුමයක් ලෙස නම් කරන ලද කොටස. ඒ වනවිට සඳහන් විශාලත්වය හෙක්ටයාර 8,864 කි.
  • සිංහරාජ රක්ෂිත වනාන්තරය: 2019 නොවැම්බර් 20, අංක 2150/31 දරණ අති විශේෂ ගැසට් නිවේදනය මගින් නම් කරනු ලැබිණි. ඒ නුව එහි විශාලත්වය හෙක්ටයාර 36,474.93 කි. අදාළ භූමි ප්‍රදේශය තුන් ගුණයකින් පමණ ඉහළ නංවා, එම ගැසට් පත්‍රයට අත්සන් තැබුවේ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසිනි.

ඒ අනුව "සිංහරාජ ලෝක උරුමයට අත තියන්නේ නැහැ" හෝ "සිංහරාජ ලෝක උරුමයට බොහෝ දුරින් මේ ඉඩම තිබෙන්නේ," යනුවෙන් යමෙක් ප්‍රකාශ කළ ද, එකී ප්‍රදේශ සිංහරාජ රක්ෂිත වනාන්තරය තුළ හෝ ඊට මායිම්ව තිබිය හැකි බව සිහි තබා ගැනීම වැදගත්ය.

Sinharaja

ශ්‍රී ලංකාවේ යුනෙස්කෝ කාර්යාලයක් තිබේද?

"සිංහරාජ වනයේ කිසිඳු විනාශයක් සිදු වී නොමැති" බවට ශ්‍රී ලංකා යුනෙස්කෝ ජාතික කොමිෂන් සභාවේ (SLNCU) ලේකම් ආචාර්ය පුංචිනිලමේ මීගස්වත්ත කළ ප්‍රකාශයක්, "සිංහරාජයට කිසිඳු හානියක් සිදුව නොමැති බව යුනෙස්කෝව කියයි" යනුවෙන් ඇතැම් මාධ්‍ය වාර්තාවක දැක්විණි.

ශ්‍රී ලංකා යුනෙස්කෝ ජාතික කොමිෂන් සභාව (SLNCU) සහ යුනෙස්කෝ ආයතනය (UNESCO: එක්සත් ජාතීන්ගේ අධ්‍යාපනික, විද්‍යාත්මක සහ සංස්කෘතික ආයතනය) යනු ආයතන දෙකක් බව සිහි තබා ගැනීම වැදගත් වේ.

ශ්‍රී ලංකා යුනෙස්කෝ ජාතික කොමිෂන් සභාව, යුනෙස්කෝ සංවිධානයේ න්‍යාය පත්‍රය ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කිරීමේ රාජ්‍ය ආයතනය ලෙස කටයුතු කරයි.

අධ්‍යාපන අමාත්‍යංශය යටතේ පවතින එහි සභාපතීත්වය දරනු ලබන්නේ අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල් පීරිස් විසිනි.

කොමිෂන් සභාවේ වත්මන් ලේකම්වරයා වශයෙන් කටයුතු කරන්නේ ආචාර්ය පුංචිනිලමේ මීගස්වත්තය.

පැරිසියේ පිහිටි යුනෙස්කෝ මූලස්ථානය

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, පැරිසියේ පිහිටි යුනෙස්කෝ මූලස්ථානය

ශ්‍රී ලංකාව යුනෙස්කෝ සාමාජික රටක් බවට පත් වූයේ 1949 වසරේදීය.

යුනෙස්කෝ ජාතික කොමිෂන් සභාව, යුනෙස්කෝ සංවිධානයේ විෂය පථයට අදාළ අමාත්‍යංශ සහ ජාතික ආයතනවල නියෝජිතයන් ඇතුළු සාමාජිකයන් 35 දෙනෙකුගෙන් සමන්විතය.

ශ්‍රී ලංකාව තුළ යුනෙස්කෝ දේශීය කාර්යාලයක් නොමැති අතර රටවල් 193 ක් සාමාජිකත්වය දරන එහි මූලස්ථානය පිහිටා තිබෙන්නේ ප්‍රංශයේ පැරිස් නුවරය.

ශ්‍රී ලංකාව තුළ යුනෙස්කෝ ලෝක උරුම ලැයිස්තුවට ඇතුළත් ස්ථාන:

ස්වභාවික:

  • සිංහරාජ වනාන්තරය
  • ශ්‍රී ලංකාවේ මධ්‍යම උස් බිම්

සංස්කෘතික:

  • පෞරාණික පොළොන්නරු නගරය
  • සීගිරිය
  • රංගිරි දඹුලු රජමහා විහාරය
  • අනුරාධපුර පූජා නගරය
  • මහනුවර පූජා නගරය
  • ගාලු කොටුව
යුනෙස්කෝ ජාතික කොමිෂන් සභාව, ශ්‍රී ලංකා අධ්‍යාපන අමාත්‍යංශය යටතේ පවතියි
ඡායාරූප ශීර්ෂ වැකිය, යුනෙස්කෝ ජාතික කොමිෂන් සභාව, ශ්‍රී ලංකා අධ්‍යාපන අමාත්‍යංශය යටතේ පවතියි

දේශපාලන බලපෑම

යුනෙස්කෝ ආයතනය සහ ශ්‍රී ලංකා බලධාරීන් අතර සම්බන්ධීකරණ කටයුතු සිදු කිරීමේදී යුනෙස්කෝ ජාතික කොමිෂන් සභාව දේශපාලන බලපෑම්වලට යටත්ව ක්‍රියා කරන බවට පසුගිය දිනවල චෝදනා එල්ල විය.

විශේෂයෙන් පසුගිය වසරේදී, මතභේදයට තුඩු දුන් සිංහරාජ ලංකාගම මාර්ගයේ සංවර්ධන කටයුතු සිදු කිරීමේදී කොමිෂන් සභාව කටයුතු කළ ආකාරය පරිසරවේදීන් සහ පරිසර සංවිධානවල විවේචනයට ලක් විය.

මෑතදී, මාදුගැටේ ජලාශය සම්බන්ධයෙන් හටගත් සංවාදයෙන් පසු යුනෙස්කෝ ජාතික කොමිෂන් සභාවේ වත්මන් ලේකම් ආචාර්ය පුංචිනිලමේ මීගස්වත්ත "වියත්මග" සාමාජිකයෙකු බව සඳහන් කළ ඡායරූප සහ සටහන් ද සමාජ ජාල තුළ සංසරණය වන අයුරු දැකිය හැක.

ඒ සම්බන්ධයෙන් කළ විමසීමකදී අදාළ චෝදනා ප්‍රතික්ෂේප කළ ආචාර්ය මීගස්වත්ත කියා සිටියේ, යුනෙස්කෝ ජාතික කොමිෂන් සභාවේ විෂය පථයට අදාළ කරුණුවලදී තමන් සෘජුවම ඊට මැදිහත් වී කටයුතු කරන බවය.

"අපි මේ වෙන දේවල්, සෑම විටම ලෝක උරුම කමිටුවට දන්වනවා. මීට කලින් පාරක් සම්බන්ධයෙනුත් (ලංකාගම) අපි ඒ වාර්තා යවා තිබෙනවා. වහාම අපි මැදිහත් වෙනවා,"

ඔහු විසින් අදාළ චෝදනා හඳුන්වනු ලැබුවේ හුදු "දේශපාලන මඩගැසීමක්" ලෙසිනි.

මේ අතර යෝජිත මාදුගැටේ ජලාශ ව්‍යාපෘති සඳහා අවසර ලබා දීමට ඇති හැකියාව පිළිබඳ විමසමින් පැරිසියේ පිහිටි යුනෙස්කෝ මූලස්ථානය (ලෝක උරුම කමිටුවට) වෙත නිල වශයෙන් ලිපියක් යොමු කර ඇති බව ආචාර්ය පුංචිනිලමේ මීගස්වත්ත බීබීසිය වෙත තහවුරු කළේය.

මේ ගැනත් කියවන්න: