ශ්‍රී ලංකාවේ මානව හිමිකම් උල්ලංඝනය යළි සිදුවන බවට වූ ජගත් මානව හිමිකම් යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මතයි

ඡායාරූප මූලාශ්‍රය, UN WEB TV
- Author, බෲනෝ ගාර්සෙස්
- Role, ආසියා ඩිජිටල් සංස්කාරක
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුසිලයේ බ්‍රිතාන්‍ය ඇතුළු රටවල් කිහිපයක් වීසින් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කඩවීම සම්බන්ධයෙන් ගෙන ආ යෝජනාව වැඩි ඡන්ද 11 කින් සම්මත විය.
එම යෝජනාවට පක්ෂව ඡන්ද 22ක්ද විපක්ෂව ඡන්ද 11ක්ද ලැබිණි. රටවල් 14ක් ඡන්ද දීමෙන් වැළකී සිටියහ.

2021 වසර මුලදී ශ්‍රී ලංකාව පිළිබඳ දැඩි වාර්තාවක් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ මහකොමසාරිස්වරිය විසින් සකස් කළාය. එම වාර්තාව කියා සිටියේ මෙයට වසර 12 කට පමණ පෙර නිමාවූ ශ්‍රී ලංකාවේ සිවිල් යුද සමයේ සිදුවූ බරපතල මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳ චෝදනා සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීමට ශ්‍රී ලංකා රජය තවමත් අපොහොසත් වී ඇති බවය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
වාර්තාවට අනුව ශ්‍රී ලංකාවේ "පසුගිය කාලයේ වූ අපරාධවලට විරුද්ධව නීති ක්‍රියාත්මක නොවීම වර්තමානයේ මානව හිමිකම් කඩවීම් පිළිබඳ අවධානය වැඩි කරන අතර ඒවා නැවත නැවත සිදු වීමට අනුබලයක් ලැබේ" යැයි පෙන්වා දී ඇත.
වාර්තාව තවදුරටත් පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාවේ "පසුගිය කාලයේ වූ අපරාධවලට විරුද්ධව නීති ක්‍රියාත්මක නොවීම මානව හිමිකම් කඩවීම් නැවත නැවතත් සිදුවීමේ අවදානම සැලකිය යුතු ලෙස ඉහළ නංවයි" යනුවෙනි.
එය තවදුරටත් පවසන්නේ, "දඩුවම් නොලැබ ගැලවී යාම මෙන්ම රජයේ කටයුතු හමුදාකරණයවීම, වාර්ගික-ජාතිකවාදී ප්‍රකාශ හා සිවිල් සමාජය බිය වැද්දවීම වැනි කනස්සලු සහගත ප්‍රවණතා පසුගිය වසර පුරා" තිබූ බවය.
රාජපක්ෂ පාලනයට චෝදනා එල්ල කරන එම වාර්තාව පවසන්නේ "හිතාමතා විමර්ශන හා නඩු කටයුතු වලට බාධා පමුණුවන බවත්, පසුගිය කාලය තුළ ලබාගත් සීමිත වර්ධනය පසුබෑමට ලක්වන අයුරින්" ක්‍රියා කරන බවය.
කෙසේවෙතත්, මහ කොමසාරිස් බැචලේ ඉදිරිපත් කළ වාර්තාව සම්බන්ධයෙන් ප්‍රතිචාර දැක්වූ විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, මහ කොමසාරිස්වරිය "මහපොළොවේ තත්ත්වය නොදැන පදනම් විරහිත චෝදනා" එල්ල කරන බවත්, "විදේශීය නඩුකාරවරු ගෙනැවිත් පරීක්ෂණ පැවැත්වීමට" කිසි ලෙසකින් ඉඩ නොතබන බව කියා සිටියේය.
ඔහු මේ බව සඳහන් කළේ බීබීසී සිංහල සේවය සමඟ Zoom තාක්ෂණය ඔස්සේ පසුගියදා පැවැත්වූ සාකච්ඡාවකට එක්වෙමිනි.
"ලෝකයේ වෙනත් රටවල් ගණනාවක් ඇතුළට තවත් රටවල් කීපයක් ආක්‍රමණය කරද්දී ඒ පිළිබඳව වචනයක් කතා නොකරපු මානව හිමිකම් කවුන්සිලයේ ඉතිහාසය අපි දන්නවා." යනුවෙන් ද විදේශ අමාත්‍යවරයා එහිදී පැවසීය.
මේ අනුව ශ්‍රී ලංකාවේ මානව හිමිකම් උල්ලංඝනය නැවත සිදුවන බවට චෝදනා නගන ජගත් මානව හිමිකම් ප්‍රධානියා කවුදැයි සොයා බැලීම වැදගත් වේ.
චිලී රාජ්‍යයේ දේශපාලනඥ වෙරෝනිකා මිෂෙල් බැචලේ ජෙරියා, 2018 වසරේ සිට මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහා කොමසාරිස්වරිය ලෙස ක්‍රියා කරයි.
එම තනතුර හොබවමින් සිටියදී ම චීනය, සෞදි අරාබිය, වෙනිසුවෙලා හා ශ්‍රී ලංකාව මෙන්ම ඇගේම මවුබිම වන චිලී රාජ්‍යයට එරෙහිව ඉතා ප්‍රබල වාර්තා බැචලේ විසින් ඉදිරිපත් කර ඇත.
මානව හිමිකම් වෙනුවෙන් බැචලේ සටන් බිමට පිවිසියේ ඇය එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ දැනට දරන තනතුරට ඒමට බොහෝ කලකට එපිටදීය. චිලී රාජ්‍යය තුළ සිය දේශපාලන ක්‍රියාකරිත්වය ඇරඹීමටත් පෙරය. ඒ සදහා ඇය පොළඹවන්නේ ඇගේ අභියෝගාත්මක ජීවිතය හා පවුල් පසුබිමය.
1951 සැප්තැම්බර් මස උපත ලැබූ බැචලේ, ප්‍රජාතන්ත්‍රවාදී ලෙස තෝරා පත් කෙරුණු සැල්වදෝර් අල්යන්ඩේ ගේ ආණ්ඩුව මිලිටරි ජුන්ටාවක් විසින් බලයෙන් නෙරපනු ලබන විට යන්තම් විසි දෙහැවිරිදි විය පසුකළා පමණි.
ඇගේ මව ඇන්ජලා ජේරියා ගෝමස් පුරාවිද්‍යාඥවරියක වූ අතර පියා ජනරාල් ඇල්බර්ටෝ බැචලේ මාර්ටිනස්, අල්යන්ඩේ ගේ රජය වෙනුවෙන් සේවය කළේය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
අල්යන්ඩේ බලයට පත් වූයේ "සමාජවාදය උදෙසා චිලීහි ගමන් මග" යනුවෙන් හඳුන්වන ලද තේමාවක් මුල් කරගත් සමාජවාදයේ ප්‍රජාතන්ත්‍රවාදී ආකෘතියක් ක්‍රියාවට නැගීම වෙනුවෙනි.
ජනරාල් ඔගොස්ටෝ පිනොෂේ ගේ ප්‍රධානත්වයෙන් සිදුවූ හමුදා කුමන්ත්‍රණයට 1973 වසරේදී විරුද්ධව පිරිසට බැචලේ ගේ පියා ද අයත් විය.
ඒ හේතුවෙන් ඇගේ පියාට වසර පුරා කිහිප වාරයක් සිරගත වීමට සිදු විය. එක දිගට මාස ගණනක් පුරා දරන්නට සිදු වූ කුරිරු හිංසා නිසා සිරගතව සිටියදීම 1974 දී මියගියේ ඔහුගේ හදවතට එය තවදුරටත් දරාගත නොහැකි වූ බැවිනි.
තුරුණු වියේ පසු වූ බැචලේ හා ඇගේ මවට, පියා අහිමිවීම ගැන ශෝක වන්නට කාලයක් නොවිය.
පියාගේ මරණයේ ඇවෑමෙන් මාස කිහිපයකට පසු, එවක චිලි විශ්ව විද්‍යාලයේ වෛද්‍ය සිසුවියක වූ බැචලේ, ක්‍රියාකාරී දේශපාලනයේ නියැලීම හේතුවෙන් අත්අඩංගුවට පත් විය. ඒ ඇයගේ මවත් සමගිනි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
රහසිගත සිර කඳවුරකට යැවුණු ඔවුන් දෙදෙනා වධ හිංසනයට ලක් කෙරිණි.
1975 දි නිදහස් කෙරුණු බැචලේ රටින් පිටුවහල්ව ජීවත් වුවාය. පළමුව ඔස්ට්‍රේලියාවට ගිය ඇය ඉන්පසු නැගෙනහිර ජර්මනියේ දිවි ගෙවුවාය..
සිය මවු රටේදී වධහිංසාවට ලක්වුවද ඇය නැවතත් මවුබිමට යාමට තීරණය කළේ ජෙනරල් ඔගස්ටෝ පිනෝෂේ ගේ පාලන සමයේදීය. 1979 දී එසේ නැවත පැමිණි ඇය වෛද්‍ය උපාධිය අවසන් කළාය.
ඇගේ දේශපාලන පසුබිම හා පවුල් ඉතිහාසය හේතුවෙන් රැකියාවක් සොයා ගැනිම ඇයට අසීරු විය. නමුත්, වධහිංසාවන්ට ලක්වූ රෝගීන් හට ප්‍රතිකාර සපයන වෛද්‍ය සායනයක රැකියාවක් ඇයට ලැබිණි.
1988 පැවති ජනමත විචාරණයේදී පිනෝෂේ ගේ පසළොස් වසක කුරිරු පාලනය අවසන් කිරීම සඳහා චිලී ජාතිකයෝ ඡන්දය දුන්හ. පිනෝෂේ ගේ පාලන කාලය තුළ අවම තරමින් පුද්ගලයින් 3000 ට වැඩි ගණනක් ඝාතනයට ලක්වූ අතර තවත් දහස් ගණනක් අතුරුදන් වූහ.
1990 දී ජනපති තේරීම සඳහා පවත්වන නිදහස් මැතිවරණය සමග චිලී රාජ්‍යය තුළ නැවත ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපනය විය.
මේ අතරතුර, නැවත ක්‍රියාකාරී දේශපාලනයට පිවිසි බැචලේ 1994 වර්ෂයේදී චිලි හි සෞඛ්‍ය ඇමතිගේ උපදේශක තනතුරටකට පත් කෙරිණි.
මෙම වකවානුව තුළදී ඇය චිලී දේශයේ මෙන්ම එක්සත් ජනපදයේ හමුදා කටයුතු පිළිබඳ වැඩිදුර හැදෑරීමක යෙදෙන අතරේ සමාජවාදී පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ සාමාජිකත්වයටද තේරී පත් වූවාය.
මධ්‍ය වාමාංශික පක්ෂවල එකතුවෙන් තරගවැදී අපේක්ෂකයෙකු වූ රිකාඩෝ ලේගොස් 2000 වසරේදී ජනාධිපති ධුරයට පත්වූයේ සැල්වදෝර් අල්යන්ඩේ ගෙන් පසු ප්‍රජාතන්ත්‍රවාදීව බලයට පැමිණි ප්‍රථම ජනපතිවරයා වෙමිනි.
එවර සෞඛ්‍ය ඇමතිනිය ලෙස පත් කෙරුණු බැචලේ, එම වසරේ අගභාගයේදී ආරක්ෂක ඇමැතිධුරයට පත්වූයේ එම තනතුර දැරූ ප්‍රථම කාන්තාව ලෙස එරට ඉතිහාසයට එක්වෙමිනි.
නමුත් ඇගේ ජීවිතයේ නියම ජයග්‍රහණයන් ඇය කරා පැමිණියේ ඉන් පසුව ය. 2006 වසරේදී ඇය චිලී දේශයේ ජනපතිනිය ලෙස පත් වූ අතර එම තනතුරට පත්වූ චිලි හි ප්‍රථම කාන්තාව වූවා පමණක් නොව, ඇමරිකානු කලාපය තුළ එවන් ජයග්‍රහණයක් ලැබූ පළමු කාන්තාව ද වූවාය.
ඇගේ ජීවිතයේ වැදගත් සන්ධිස්ථාන තවත් බොහෝය. අදේවවාදියෙකු මෙන්ම විවාහයෙන් වෙන්වූ තිදරු මවක වන බැචලේ, දැඩි සම්ප්‍රදායක කතෝලික පසුබිමක් සහිත චිලි රාජ්‍යයෙහි ජනාධිපති ධුරය දැරීම ම එවන් සන්ධිස්ථානයකි.
ඇය 2014 වසරේදී නැවතත් ජනපතිනිය ලෙස තේරී පත් වූ අතර එම ධුර කාලය 2018 දී අවසන් විය.
කෙසේ වෙතත් ඇගේ දෙවන ධුර කාලය ප්‍රථම ධුර කාලය මෙන් විචිත්‍ර එකක් නොවූවාය.
2018 දී ජනපති ධුරයට සමුදෙන විට ඇගේ ජනප්‍රියත්වය සියයට 39 දක්වා පහළ බැස තිබිණි. පළමු ධුර කාලය අවසන් කළ 2010 දී ඇයට තිබූ ජනතා අනුමත ප්‍රතිශතය සියයට 89 කි.
ඇගේ දෙවෙනි ධුරකාලය අඳුරු, අපකීර්තිමත් එකක් වීමට හේතුවූ කරණා අතරට ඇගේ පුත්‍රයා හා ලේලිය සම්බන්ධ ඩොලර් මිලියන ගණනක දේපල වංචා, ණය අපචාරය යනාදිය හේතු විය.
2018දී ඇය තම ගමන වෙනත් දිශානතියකට යොමුකරවමින් යළි මානව හිමිකම් හා සම්බන්ධ කටයුතුවල යෙදීමට පටන්ගත්තාය.
නව තනතුර භාරගත් වසරේදීම ඇය චීනයට බලකර සිටියේ ෂින්ජියැන් පළාතේ තත්ත්වය නිරීක්ෂණය කිරීම සදහා අන්තර්ජාතික නිරීක්ෂකයින්ට අවසර ලබාදෙන ලෙසය. ඇය එම පියවරට එළැඹුණේ මුස්ලිම් ජනතාව කඳවුරුවල රදවාගෙන සිටි බව වාර්තාවීමෙන් අනතුරුවය.
ඊට පසු වර්ෂයේදී යේමනයේ තුළ සෞදි අරාබියේ මැදිහත්වීම දැඩි ලෙස විවේචන කළ ඇය, යේමනයේ ජනතාවට එරෙහි ගුවන් ප්‍රහාර සම්බන්ධයෙන් සෞදි අරාබිය වගවිය යුතු බව පැවසුවාය.
2019 දී හොංකොං හී පැවති විරෝධතා පිළිබඳ ඇය දැඩි ලෙස හඬ නැගීය. විරෝධතා වලට එරෙහිව ඉහළ යමින් පවතින දැඩි මර්දන ක්‍රියාවන්ට විරුද්ධව ඇය තම හඬ අවදි කළාය.
කියවන්න:









