ශ්‍රී ලංකාවේ ජාතික කොඩියේ සිංහයා "වෙනස් කෙරෙයි"ද?

    • Author, රංග සිරිලාල්
    • Role, බීබීසී සිංහල

ශ්‍රී ලංකාවේ ජාතික කොඩියේ ඇති සිංහය රූපයේ ඇති යම් යම් අඩුපාඩු නිවැරදි කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග මේ වන විටත් ගෙන ඇතැයි ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජනරාල් කමල් ගුණරත්න පසුගියදා පැවසීමත් සමඟ ආණ්ඩුව විසින් ජාතික කොඩිය වෙනස් කිරීමට සැරසෙන්නේද යන්න පිළිබඳ සමාජය තුළ කතාබහක් මතුවිය.

මාධ්‍ය හමුවකදී එසේ ඔහු පැවසූ අතර එහිදී ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ආරක්ෂක ලේකම්වරයා පැවසුවේ "ඇත්තටම ජාතික කොඩියේ වෙනසක් නෑ. අර සිංහයාගේ පිළිරුවේ තමයි යම් යම් අඩුපාඩු තියෙනවා කියන්නේ. ඉතින් ඒවා නිවැරදි කරගන්න අපි නිර්මාණ ශිල්පීන්, ඒවගේම රජයේ නිලධාරීන් සාකච්ඡා කරලා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා, පාර්ලිමේන්තුවේ සම්මත කරගෙන තමයි අපි ඒ සදහා අවශ්‍ය කටයුතු කරන්න වෙන්නේ. ඒ සදහා අවශ්‍ය කටයුතු සිදුවෙමින් පවතිනවා."

සිංහ රූපයේ කුමන අංග වෙනස් කිරීමට සැලසුම් කරන්නේදැයි මෙතෙක් පැහැදිලි නොමැති නමුත් සමාජයේ පවතින මත අතුරින් එකක් වන්නේ දැනට කොඩියේ නිරූපිත සිංහයාගේ ලිංගය පිළබිඹු නොවන බවකි.

කෙසේ වෙතත්, මෙවර සමරන 73 වන ජාතික නිදහස් උළෙලට 'නව සිංහ කොඩියක්' භාවිත නොකෙරෙන බව ආරක්ෂක ලේකම්වරයා සඳහන් කර තිබිණි.

"ස්වදේශ කටයුතු අමාත්‍යාංශය මගින් ඒ යෝජනා සියල්ලම අරන් තියෙනවා. නමුත් මේ සඳහා විශාල වැඩ පිළිවෙලක් අවශ්‍යයි. කෙසේ නමුත් අවසානයේදී මෙය පර්ලිම්න්තුවට ඉදිරිපත් කරලා පාර්ලිමේන්තුවෙත් සම්මත කරගත යුතුයි. එනිසා මෙවර ජාතික උළෙල පැවැත්වීමෙදී මෙයිට වඩා යමක් කරන්න පුළුවන් කමක් නෑ. අපි කලින් පාවිච්චි කළ විදිහට ඒ ජාතික කොඩියම තමයි පාවිච්චි කරන්නේ."

'සිංහලේ' නම් සංවිධානය ඇතුළු විවිධ සංවිධාන වරින් වර පැවසුවේ ලංකාවේ ජාතික කොඩිය වෙනස් විය යුතු බවය. දැනට පවතින සිංහ කොඩිය වෙනුවට 'සිංහලේ කොඩිය' ආදේශ කළ යුතු බව ඔවුන් කී අතර තවත් සමහරුන්ගේ මතය වූයේ විජය රජුගේ පැමිණීමට පෙර පැවති මොණර කොඩිය භාවිත කළ යුතු බවකි. නැවතත් 'රාවණාගේ කොඩිය' භාවිත කළ යුතු බව තවත් සමහරුන්ගේ අදහස වී තිබේ.

බොදු බල සේනා සංවිධානයේ ජාතික සංවිධායක විතාරන්දෙණියේ නන්ද හිමියන් බීබීසී සිංහල සේවය සමඟ පැවසුවේ විවිධ පුද්ගලයන් 'සිංහලේ කොඩිය' නැවත ආදේශ කරන ලෙස ඉල්ලීම් කර තිබෙන බවය. එහෙත් සිංහයාගේ රුවෙහි ඇති ගැටලුව පිළිබඳ තමන් නොදන්නා බව උන්වහන්සේ කීහ.

"ඔය කිව්වට ජාතික කොඩිය වෙනස් කරන එක එච්චර ලේසි කාර්යක් නෙමෙයි. අනිත් එක ඒක එහෙම ආරක්ෂක ලේකම්ට ඕන විදිහට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. එක එක්කෙනා ඉල්ලුවයි කියල එහෙම වෙනස් කරන්න බෑ. ඒකට විද්වත් කමිටුවක් පත්කරලා සියලුම දෙනාගේ අදහස් අරගෙන කරන්න ඕන දෙයක් මිසක් මේ ආරක්ෂක ලේකම් කිව්ව පලියට එහෙම කරන්න බෑ ," යනුවෙන් නන්ද හිමියන් පැවසීය.

විශ්ලේෂක සුජිත් අක්කරවත්ත පවසන්නේ වසර දෙදහසකට වැඩි කාලයක් එකම සංකේතය ජාතික කොඩියේ භාවිත කරන එකම රට ශ්‍රී ලංකාව බවය.

"සිංහයා යොදාගන්නේ පොදු විශ්වීය ලක්ෂණයක් නිසා නැතිව ජාතිකත්වය පිළිබිඹු කරන්න නෙමෙයි. එත් ක්‍රිස්තු වර්ෂ 10 වන සියවසෙන් පස්සේ චෝල රාජ්‍යයන් කොටියා භාවිතයට ගැනීමත් සමඟ මෙය වර්ගය නිරුපණයට යොදාගන්නවා. ප්‍රභාකරන් ගෙන් පසු එය තවත් තහවුරු වෙනවා නමුත් සිංහයා ඇත්තටම යොදාගන්නේ ජාතීන් නියෝජනයට නෙමෙයි සිංහයා සියලුම ජාතීන් නියෝජනය කරනවා," යනුවෙන් සුජිත් අක්කරවත්ත පැවසීය.

කෙසේවෙතත්, සුජිත් අක්කරවත්ත වැඩිදුරටත් කියාසිටියේ, රටේ පවතින ගැටලු අමතක කිරීම සඳහා "ධම්මික පැණිය" මෙන් යොදාගන්නා තවත් මාතෘකාවක් විය හැකි බවය.

ජාතික කොඩිය ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ හය වන ව්‍යවස්ථාව මගින් ම සහතික කර ඇති බැවින් ජාතික කොඩියට යම්කිසි වෙනස්කමක් සිදුකරන්නේ නම් එය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයකින් සම්මත විය යුතු බව නීති විශාරදයෝ පෙන්වා දෙති.

ජාතික කොඩියේ ඉතිහාසය

ශ්‍රී ලංකාවේ පළමු රජු වූ විජය, ඉන්දියාවේ සිට බු.ව.486 දී මෙරටට පැමිණෙන විට ඔහු සිංහ සංකේත සහිත කොඩියක් රැගෙන ආ බවට කියැවේ. එතැන් පටන් රජවරු තමන්ගේ රාජකීය කොඩිවලට සිංහ රුව ඇතුළත් කර ඇත. ශ්‍රී ලංකාවේ ජාතික කොඩිය ගැන විවිධ අවස්ථාවලදී කතා කළත් 1815 මාර්තු මස 2 වැනි දින සිට එය වැඩියෙන් කතාකිරීමට පටන් ගත්තේ උඩරට ගිවිසුම අත්සන් කිරීමටත් පෙර මඟුල් මඩුව ඉදිරියේ ඉංග්‍රීසින් ඔවුන්ගේ රාජකීය ධජය (කතිර කොඩිය) නැතහොත් ඉංග්‍රීසි කොඩිය ඔසවා තිබීමට විරෝධය පාමින් වාරියපොළ සුමංගල හිමියන් එය පහත හෙළා තම පයින් පාගා සිංහ කොඩිය එසවීමේ සිටය.

ඒ ලෙසින් එදා ගලවා දැමූ සිංහ කොඩිය ඉංග්‍රීසි ජාතිකයින් විසින් රැගෙන යන ලදුව එංගලන්තයේ අනෙකුත් යටත් විජිත රාජ්‍යවල ජාතික කොඩි සමඟ අරෝග්‍ය ශාලාවක තැන්පත් කර තැබු බවට වාර්තාවන් හි සඳහන වේ.

නැවතත් සිංහ කොඩිය ගැන කතාවට මතුවූයේ 1908 වර්ෂයේ දී එංගලන්තයේ ඉගෙනුම ලබමින් සිටි ඊ. ඩබ්ලිව්. පෙරේරා, ඩී. ආර්. විඡේවර්ධන හා විසින්, අතීතයේ ඉංග්‍රීසින් විසින් ගලවන ලද ජාතික කොඩිය පිළිබඳ සෙවීමට පටන් ගැනීමත් සමඟ බව ඉතිහාසඥයන් විසින් සඳහන් කරනු ලැබ ඇත.

වසර එකසිය තිහක පමණ කාලයක්‌ භාවිතයෙන් ඉවත්ව තිබූ සිංහ කොඩිය පිළිබඳව නැවත හඬක්‌ එසේ යළි මතුවූයේ ඊ. ඩබ්ලිව්. පෙරේරා ට සහ විඡේවර්ධන ට "චෙල්සි" ආරෝග්‍ය ශාලාවෙන් ජාතික කොඩියේ අනු පිටපතක්‌ සොයා ගැනීමට හැකිවීමෙන් අනතුරුවය. ඡේ. ආර්. ජයවර්ධන 1945 දී පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයක් කරමින් "අපට ජාතික කොඩියක්‌ වහා අවශ්‍ය" බව කී අතර රටේ අනන්‍යතාව සඳහා ජාතික කොඩිය බෙහෙවින් ඉවහල් වන බව ඔහු එහිදී පෙන්වා දෙන ලද බවට හැන්සාඩ් වාර්තාවල දැකිය හැකිය.

ඒ අනුව 1948 ජනවාරි 16 වන දින විවාදයට ගැනුණේ, කහ පැහැති සිංහයකු දකුණතින් කඩුවක්‌ ගෙන සිටින රූපයක්‌ දැක්වෙන එංගලන්තයට රැගෙන ගිය ශ්‍රී වික්‍රම රාජසිංහ රාජකීය කොඩිය යළිත් අපේ රටට සුදුසු යැයි මඩකලපුවේ මන්ත්‍රී සින්නලෙබ්බේ විසින් කරන ලද යෝජනාව ය. එම විවාදය අවසානයේ එවක අගමැති ඩී. එස්‌. සේනානායක පවසා සිටියේ "මේ කොඩිය කන්ද උඩරට අන්තිම රජතුමාගේ කොඩිය බව ප්‍රකට කරුණක්‌. ඒ කන්ද උඩරට රජතුමා ද්‍රවිඩයකු බව අපි සියලු දෙනාම ඉතා හොඳ හැටි දන්නා කරුණක්‌. නමුත් තවමත් මම ආඩම්බර වෙනවා මෙය සිංහල කොඩිය යෑයි කීමට. මක්‌නිසාද යත් එවකට සිංහලයන් ද්‍රවිඩයන් වැළඳගත් ආකාරයෙන්ම මම ද්‍රවිඩයන් වැළඳගත් නිසා අපි ද්‍රවිඩ රජ කෙනකු වෙතින් දායාද වූ කොඩියක්‌ සිංහල කොඩිය යෑයි කියා සිටිනවා," යනුවෙනි.

එම සිංහ කොඩිය පළමු නිදහස් දින උළෙලේ දී එසවුණු අතර රටට අවශ්‍ය ජාතික කොඩියක් නිර්මාණය කිරීමට 1948 ජනවාරි 27 වැනි දින එස්‌. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්‌ඩාරනායකගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කෙරුණු අතර ජී. ජී. පොන්නම්බලම්, කර්නල් ඡේ. එල්. කොතලාවල, ආචාර්ය එල්. ඒ. රාජපක්‌ෂ, එස්‌. නඩේසන් සහ ඡේ. ආර්. ජයවර්ධන එහි අනෙකුත් සාමාජිකයෝ වූහ.

ජාතික කොඩිය පිළිබඳව කරුණු විභාග කර එයට පොදු ජනතාවගේ ද අදහස්ද ලබාගෙන 1950 පෙබරවාරි මාසයේදී අවසන් වාර්තාව එම කමිටුව විසින් එවක අගමැතිවරයාට භාරදෙන ලදී.

ඒ අනුව තද රතු පසුබිමක කහ පැහැති කඩුවක් අතින් ගත් ඉපැරැණි තේජවන්ත භාවය සහිත සිංහ රුවක්‌ හා කොළ සහ තැඹිලි පැහැති තීරු දෙකක්‌ සමාන තීරු වශයෙන් කොඩියේ තුනෙන් එකක ප්‍රමාණයට ඇතුළත් කෙරිණ.

1972 දී සිංහ කොඩියේ සතර කොණේ වූ බීරුක්කු වෙනුවට බෝපත් හතරක් ආදේශ කෙරිණි.

යළිත් 1977 දී ඡේ. ආර්. ජයවර්ධන බලයට පත්වූ පසු 1979 වසරේ දී එවක රාජ්‍ය අමාත්‍ය ආනන්ද තිස්‌ස ද අල්විස්‌ අමාත්‍යවරයා විසින් ජාතික කොඩිය එසවීම පිළිබඳ නිර්නායක ප්‍රකාශයට පත්කරන ලදී. එහිදී ජාතික කොඩියේ නියම භාවිතය, අවභාවිතය එසවීම පිළිබඳ උපදෙස්‌ ආදී කරුණු ප්‍රකාශයට පත් කෙරිණ. ජාතික කොඩියට ජාතික ප්‍රමිති ආයතනයේ පිරිවිතරයන් හිමිව ඇත්තේ එස් එල් එස් 693: 1985 අංක දරන ශ්‍රී ලංකා ප්‍රමිති පිරිවිතරයන් අනුවය. එහි ජාතික කොඩියේ නිවැරදි සැලස්ම, ප්‍රමාණය හා වර්ණ ඇතුළත් කර ඇත. නැවතත් 1986 අගෝස්‌තු මාසයේදී ජාතික කොඩිය ප්‍රදර්ශනය කරන පිළිවෙළ නීතිගත කෙරිණ.