ප්‍රකෝටිපති ව්‍යාපාරික නතානියෙල් රොත්ස්චයිල්ඩ් ශ්‍රී ලංකාවේ ආයෝජන අවස්ථා සොයා සංචාරයක

නතානියෙල් රොත්ස්චයිල්ඩ්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

එක්සත් රාජධානියේ ප්‍රකෝටිපති ව්‍යාපාරික නතානියෙල් රොත්ස්චයිල්ඩ් සිය පෞද්ගලික ජෙට් යානයෙන් ශ්‍රී ලංකාවට පැමිණ සිටියි.

අඟහරුවාදා (ජනවාරි 12) ශ්‍රී ලංකාවට පැමිණි ඔහු බදාදා පෞද්ගලික ව්‍යාපාරික නායකයින් කිහිප දෙනෙකු හමුවීමට නියමිත අතර ඉන් අනතුරුව බ්‍රහස්පතින්දා පෝට් සිටි ව්‍යාපෘතියේ සංචාරයක නිරතවීමට නියමිත බව ඔහුගේ සංචාරය පිළිබඳව තතු දත් ආරංචි මාර්ග බීබීසී සිංහල සේවය සමඟ පැවසීය.

රොත්ස්චයිල්ඩ් පවුල බ්‍රිතාන්‍යයේ ව්‍යාපාරයන් හි නියුතු ඉතාමත් ධනවත් පවුලක් වන අතර ඔවුන් පවුම් බිලියන ගනනක දේපලවලට හිමිකම් කියන බව වාර්තාවල දැක්වේ.

ස්විට්සර්ලන්තයේ වෙසෙන නතානියෙල් රොත්ස්චයිල්ඩ්, ගෝලීය ඒකාබද්ධ නිෂ්පාදන සමාගමක් වන එක්සත් රාජධානියේ ලැයිස්තුගත වොලෙක්ස් පීඑල්සී හි විධායක සභාපති සහ විශාලතම කොටස් හිමියා වේ.

ඔහුගේ පැමිණීම හේතුවෙන් බදාදා කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික කටයුතුවල විශාල වර්ධනයක් පෙන්නුම් කළ බව වෙළෙඳපොළ විශ්ලේෂකයෝ පවසති.

කොළඹ වරාය නගරය

ශ්‍රී ලංකාවේ ආර්ථිකය 2019 වසරේ පාස්කු ප්‍රහාරය හමුවේ කඩාවැටුණු අතර එයින් මිදීමට සැරසෙන අවස්ථාවේදී ගෝලීය කොරෝනා වසංගතය හමුවේ නැවතත් කඩාවැටීමට ලක්විණි.

ලංකාවේ විදේශ වෙළෙඳ හිඟය ඉහළයාම හේතුවෙන් විදේශ විනිමය වෙළෙඳපොළ තුළ ඇතිවූ ප්‍රවනතා හමුවේ රුපියලේ අගය ඉතාමත් සීග්‍රයෙන් අවප්‍රමාණය වීමත් සමඟම රජය විසින් ආනයන සීමා කෙරිණි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ 2019 දෙසැම්බරයේ බලයට පත්වීමෙන් පසු විදේශීය සෘජු ආයෝජන ආකර්ෂණය කර ගැනීම සඳහා නව ආයෝජන සඳහා බදු ප්‍රතිලාභ ප්‍රකාශයට පත් කිරීම ඇතුළු ව්‍යාපාරික හිතවත් තනතුරු ප්‍රවර්ධනය කර තිබේ.

ශ්‍රී ලංකාව ඉන්දීය සාගරයේ මධ්‍යයේ අපනයන නැඹුරු ආර්ථික කේන්ද්‍රස්ථානයක් ලෙස ස්ථානගත කිරීම, වෙළඳ භාණ්ඩ වැඩිදියුණු කිරීම, අපනයන ආකර්ෂණය කර ගැනීම නව ආණ්ඩුවේ ආර්ථික අරමුණු අතර පවතින බව මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ඇතුළත් වෙයි.

ශ්‍රී ලංකාවේ විදේශීය ආයෝජන බොහෝ දුරට සංචාරක, දේපළ වෙළඳාම්, මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘති, වරාය සහ විදුලි සංදේශ යන අංශවල වැඩි අවධානයක් යොමු කර ඇත. වර්ධනය වන මධ්‍යම පංතිය සමඟ, ආයෝජකයින්ට දේශීය වෙළෙඳපොළ සඳහාත්, සිල්ලර වෙළඳාම, තොරතුරු තාක්‍ෂණ සේවා සහ සැහැල්ලු නිෂ්පාදන සඳහා අවස්ථා ද දැකගත හැකිය.

2019 දි ශ්‍රී ලංකාවට ණය ඇතුළු විදේශීය ආයෝජන දළ වශයෙන් ඩොලර් බිලියන 1.2 ක් දක්වා පහත වැටී ඇති අතර එය 2018 දී ඩොලර් බිලියන 2.3 ක් විය. 2020 වර්ෂයේ දී මෙය ඉතාමත් නරක අතට හැරෙනු ඇතැයි පුරෝකතනය කර ඇත.

වීඩියෝ ශීර්ෂ වැකිය, ශ්‍රී ලංකා සිතියම වෙනස්කරමින් කොළඹ වරාය නගරයේ ගොඩකිරීම් අවසන්

කියවන්න: