ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ජාතික වනෝද්‍යාන තුළ සිටින 'හරක්' ගැන ගත හැකි බුද්ධිමත් තීන්දු මොනවද ?
- Author, ෂර්ලි උපුල් කුමාර
- Role, BBC සිංහල
ශ්‍රී ලංකාවේ ජාතික වනෝද්‍යාන තුළට නීති විරෝධී ලෙස ගවයින් ඇතුල් කිරීම දිනෙන් දින උග්‍ර වෙමින් පවතින තවත් පරිසර ගැටලුවකි.
වනජීවී නිලධාරීන් අනුමාන කරන ආකාරයට මාදුරුඔය සහ ලුණුගම්වෙහෙර ජාතික වනෝද්‍යාන දෙක තුළ පමණක් සිටින ගවයන් සංඛ්‍යාව එක් ලක්ෂ පනස්දහස ඉක්මවයි.
උඩවලව, මින්නේරිය, සෝමාවතිය, වස්ගමුව සහ ජල ගැලුම් නිම්න ජාතික වනෝද්‍යාන තුළ මෙම ගැටලුව වඩාත් උග්‍ර වී ඇත.
මෙහි ආසන්නම සිද්ධිය වන්නේ රෝගී වූ ගවයන් පිරිසක් පොළොන්නරුව ජල ගැලුම් නිම්න ජාතික වනෝද්‍යානය තුළදී මිය යාමයි.
එහි සොරිවිල ප්‍රදේශයේ ගවයන් මියගොස් තිබෙන්නේ 'ගව රක්තපාතය' (Hemorrhagic septicemia) ලෙස හඳුන්වන රෝගී තත්වය නිසා බවට වාර්තා ලැබී ඇති අතර එම රෝගය වෙනත් කුර සහිත සතුන් අතර පැතිර යාමේ හැකියාව ඇති බව වනජීවී සෞඛ්‍ය පිළිබඳ අධ්‍යක්ෂ, පශු වෛද්‍ය තාරක ප්‍රසාද් බීබීසී සිංහල සේවයට පැවසුවේය.
වනෝද්‍යාන තුළට නීති විරෝධී ලෙස ගවයන් ඇතුල් කළ ද එම ක්‍රියාවට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට නොහැකි තත්වයක් වනජීවී නිලධාරීන්ට උදා වී ඇති බව පරිසර නීතිඥ, ආචාර්ය ජගත් ගුණවර්ධන බීබීසී සිංහල සේවයට කියා සිටියේය.
"දැක්මක් නැති, යාවත්කාලීන දැනුමක් නැති, එහෙම නැත්තම් දැනුම යාවත් කාලීන කිරිමේ අවශ්‍යතාව නැති දේශපාලනඥයන්ට මෙවැනි සංවේදී විෂයන් භාරදීමේ බරපතළ අවදානමක් තියෙනවා. මම මේ දකින්නේ ඒ අවදානම ක්‍රියාත්මක වීමේ අවදියක්," යනුවෙන් ඔහු සඳහන් කළේය.
මෙම ගැටලුව ගැන බීබීසී සිංහල සේවය වනජීවී රැකවරණය, අලිවැට හා අගල් ඉදිකිරීම ඇතුළු ආරක්ෂිත වැඩ පිළිවෙල හා කැලෑ නැවත වගා කිරීම හා වන සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායකගෙන් ද විමසීමක් කළ විට ඔහු පැවසුවේ වනජීවීන් ආරක්ෂා කිරීමට මෙන්ම ගව සම්පත රැක ගැනීමට ද රජයක් ලෙස ක්‍රියා කිරීමේ අභියෝගයට මුහුණ දෙන බවය.
ගෘහාශ්‍රිත සතුන් වනෝද්‍යාන තුළට ඇතුල් කිරීම තහනම්
ජාතික වනෝද්‍යානයක් තුළට කෙනෙකුට ඇතුළත් විය හැකි අවස්ථාවන් මොනවද යන්න වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂා කිරීමේ ආඥා පනතේ පස් වන වගන්තියේ සඳහන් වේ.
"ඒ අනුව, ජාතික වනෝද්‍යානයක් තුළ සිටින සතුන්, ශාක හා පරිසර පද්ධති අධ්‍යයනයක් සඳහා හෝ නැරඹීම සඳහා ඇතුල් වෙන්න පුළුවන්. ඒ දේවල් බලලා විනෝදාස්වාදය ලබා ගැනීම සඳහා පමණයි කියන එක පැහැදිලිව තියෙනවා."
"ඒ වගේම 6 වෙනි වගන්තියෙ, තුන්වෙනි උපවගන්තිය පැහැදිලිවම දක්වා තිබෙනවා ගෘහ ආශ්‍රිත කිසිම සතෙක්ව ජාතික වනෝද්‍යානයක් තුළට ඇතුල් කිරීම දැඩි දඬුවම් ලැබිය හැකි වරදක් විදියට. ඒ වැරදි වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගත හැකි වැරදි වගේම ඇප ලබා දිය නොහැකි වැරදි," යනුවෙන් පරිසර නීතිඥ, ආචාර්ය ජගත් ගුණවර්ධන කියා සිටියේය.
ආහාර සඳහා තරගයක්
ගවයන් දහස් ගණනක් ජාතික වනෝද්‍යාන තුළ සිටීම නිසා ප්‍රධාන ලෙස තෘණ අහාරයට ගන්නා සතුන් අතර විශාල තරගයක් ඇතිවේ. ඉන් වැඩි බලපෑමක් එල්ලවන්නේ අලියා සහ මුවා වැනි ශාක භක්ෂක සතුන් වෙතයි.
"සාමාන්‍යයෙන් වැඩුණු අලියෙක් දිනකට කිලෝ ග්‍රෑම් 100-200ත් අතර තෘණ ආහාරයට ගන්නවා. දැන් ගවයෙක් ගත්තොත් සාමාන්‍යයෙන් කිලෝ ග්‍රෑම් 06- 18 ත් අතර ප්‍රමාණයක් ආහාරයට ගන්නවා. පිටතින් වනාන්තරයට ගවයන් ඇතුල් වුණොත් වෙන්නේ තියෙන ආහාර ප්‍රමාණයට විශාල තරගයක් ඇති වෙනවා. මේ නිසා අනාදිමත් කාලයක් තුළ වනාන්තර පරිසර පද්ධතිය තුළ ජීවත් වන සතුන්ට තමන්ගේ ජීව ක්‍රියා නිසිලෙස පවත්වා ගැනීමට නොහැකි වෙනවා," යනුවෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ, පශ්චාද් උපාධි අධ්‍යයන පීඨයේ ආචාර්ය සහනි ප්‍රභා චන්ද්‍රසිරි පැවසුවාය.
මීට අමතරව ගවයන් අතර ඇති මුඛ හා කුර ආශ්‍රිත රෝග මෙන්ම වෙනත් පරපෝෂිත රෝග තත්වයන් වනෝද්‍යානය තුළ සිටින සතුන් අතර ද පැතිර යාම අවධානමක් ඇති බව ඇය සඳහන් කළාය.
"තෘණ භූමියක තණකොළ උලා කෑමෙන් පසු ඒවා නැවත යථා තත්ත්වයට පත්වෙන යම් කාලයක් ගත වෙනවා. අධික ලෙස ගව රංචු එම තෘණභූමි මත ඇවිද යාම එම ක්‍රියාවලියට බාධා ඇති වෙනවා. මේ ගැටලුව අපේ රටේ විතරක් තියෙන ගැටළුවක් නෙමෙයි. ඕස්ට්‍රේලියාව සහ ඉන්දියාව ඇතුළු තවත් ආසියානු රටවල් ගණනාවක දකින්න ලැබෙනවා," යනුවෙන් ආචාර්ය සහනි ප්‍රභා චන්ද්‍රසිරි වැඩිදුරටත් කියා සිටියාය.
අලි මිනිස් ගැටුම වැඩි වීමට හේතුවක්
වන අලි ගම් වැදීම අද අප මුහුණ දෙන ප්‍රධාන ගැටලුවකි. 2019 වසරේදී අලි 407 ක් සහ මිනිසුන් 122ක් මිය ගොස් තිබේ. වාසස්ථාන සහ ආහාර අහිමි වීම මෙම වන අලි ගැටලුවට ප්‍රධාන හේතුවකි.
එම තත්වය පාලනය සඳහා වනෝද්‍යාන තුළ සිටින ගවයන් ඉවත් කර ගත යුතු බවට පරිසර විද්‍යාඥයන් පෙන්වා දුන්න ද එය මේ දක්වා ක්‍රියාත්මක නොවේ.
නීතිය ක්‍රියාත්මක කිරීමට යාමේදී පොළොන්නරුවේ වනජීවී නිලධාරීන් අසරණ වූ අවස්ථා පසුගිය කාලයේ දක්නට ලැබුණි.
'වනෝද්‍යාන තුළ සිටින ගවයන් වෙන්දේසි කරන්න පුළුවන්'
වනෝද්‍යාන තුළ සිටින ගවයන් වෙන්දේසි කර එහි අදායම වනජීවී දෙපාර්තමේන්තුවට ලබා ගැනීමේ නීතිමය ප්‍රතිපාදන තිබේ.
"වනජීවී දෙපාර්තමේන්තුවට පුළුවන් ගවයන්ව අරගෙන ගාල් කරන්න. අයිතිකාරය ඇවිල්ල මේ සතා තමන්ගෙ කියලා අනන්‍යතාව ඔප්පු කරලා ගෙනිච්චෙ නැත්තං දින 28 ක කාලයක් තුළ එහි සතුන්ව වෙන්දේසිය විකුණලා, ඒ එන ආදායම දෙපාර්තමේන්තුවට දන්න පුළුවන්. නමුත් මේක කරන්න බැරි වෙන්නේ ගොඩක් වෙලාවට දේශපාන සහ නිකුත් බලපෑම් නිසා," යනුවෙන් පරිසර නීතිඥ, ආචාර්ය ජගත් ගුණවර්ධන පැවසුවේය.
ගව සම්පත සහ වනජීවීන් රැක ගැනීම
මෙම ගැටලුවට විසදුම් සොයමින් සිටින බව අලිවැට හා අගල් ඉදිකිරීම ඇතුළු ආරක්ෂිත වැඩ පිළිවෙල හා කැලෑ නැවත වගා කිරීම හා වන සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක පවසයි.
"ආණ්ඩුවක් විදියට අපි ඒ ගැන ක්‍රියා කරන්න ඕනා. උදාහරණයක් විදියට පශු සම්පත් ඇමතිවරයා කියනවා හරකුන්ට ඉඩ දෙන්න කියලා. මම කිවුවොත් හරක් දාන්න එපා කියලා ඒ හරක් කොහෙද යන්නේ? මස් කඩයට," යනුවෙන් සඳහන් කළ ඔහු වැඩිදුරටත් මෙලෙස කියා සිටියේය.
"තෘණ භූමි වැඩි කරන්න ඕනා. තණකොළ වගා කරන්න මිනිසුන්ට මග පෙන්වන්න ඕනා. කිරි සම්පත ඕනා නම් ගව සම්පත තියෙන්න ඕනා. වනජීවීන් ආරක්ෂා කරන්නත් ඕනා. මේ ව්‍යාපාරය ගෙනියන්නත් ඕනා."
'හරක් ප්‍රශ්නයට' විසඳුම් තිබේද ?
කිරි නිෂ්පාදනය ඉහළ නැංවීමට ගව පාලනය ඉතා වැදගත් වේ. එහෙත් එම ගවයන් සඳහා අවශ්‍ය තෘණ භුමි නොමැතිවීම කිරි ගොවීන් මුහුණ දෙන ගැටලුවකි.
වනෝද්‍යාන තුළ සිටින ගවයන් ඉවත් කිරීමට වනජීවී නිලධාරීන් ක්‍රියා කිරීම නිසා පසුගිය දිනෙක ගව හිමියෝ සෝමාවතිය - පොළොන්නරුව ප්‍රධාන මාර්ගය තඹාල නගරයෙන් අවහිර කර විරෝධතාවයක ද නිරත වූහ.
ඔවුන් ඒ සඳහා විරෝධතා පුවරු ගෙලෙහි බඳින ලද ගවයින් ද රැගෙනවිත් තිබුණි.
එම ගැටලුවට විසඳුම් ලබා දීමට අදාළ සාකච්ඡා තවමත් අවසන්වී නැත.
"ලංකාවේ ගව පාලනය ගැන ගත්තොත් තෘණ භූමි හදලා ගවයන් ඒවායේ දිගේලි කරන්න ඕනි කියන මතය දැනට අවුරුදු සීයක විතර කාලයක් තිස්සේ ප්‍රතික්ෂේප වෙමින් පවතින යල් පැනගිය මතයක්. අද වෙනකොට කියනවා ගවයන් ඇති කිරීම සූක්ෂම ආකාරයෙන්, ඵලදායි ආකාරයෙන් කරන්ඩ ඕන කියලා. ගවයන් තෘණ භූමි වලට මුදාහරින එකේදි වෙන්නේ ඒගොල්ලො මොනවද කන්නෙ, කොච්චර කනවද කියන එක ගැන ගවයන් ඇති කරන කෙනාට පාලනයක් නෑ. ඒ නිසා ඒ ලැබෙන කිරි අස්වැන්නක් ප්‍රශස්ත මට්ටමකින් ලබා ගැනීමේ හැකියාවක් නැහැ," යනුවෙන් පරිසර නීතිඥ ආචාර්ය ජගත් ගුණවර්ධන පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ යම්කිසි තෝර ගත්ත භූමියක තණකොල සහ පෝෂණ ගුණයෙන් වැඩියි වෙනත් භෝජන ශාක මිශ්‍රණයක් වගා කර ගවයන්ට ලබා ආහාර සඳහා ලබා දීමත් ප්‍රෝටීන, ඛනිජ ලවන හා අනෙකුත් අවශ්‍යතා සැපයීමත් දියුණු සත්ව පාලනයේ ලක්ෂණය බවයි.
ඒ සඳහා වනාන්තර නොවන ඉඩම් යොදා ගත හැකිය.
"යම්කිසි දේශපාලනඥයෙක් හදනවා නම් ගවයන් ඇති කරන්න තෘණ භූමි ඕනා, ඒව මදිනම් ජාතික වනෝද්‍යාන වලින් ගන්න ඕන කියලා මෙතන ප්‍රශ්නේ තියෙන්නේ ගවයන්ගෙවත් තෘණ භූමිවල වත් නෙමෙයි. අර පුද්ගලයන්ගේ චින්තනය යාවත් කාලීන නොවීමේ බරපතළ ගැටලුවක් ප්‍රධාන වශයෙන්ම," යනුවෙන් පරිසර නීතිඥ, ආචාර්ය ජගත් ගුණවර්ධන බීබීසී සිංහල සේවයට කියා සිටියේය.