ඇමෙරිකානු ජනපතිවරණය 2020: "ඇමෙරිකානු වසන්තයෙන්" ජෝ බයිඩන් දිනුවොත් ශ්‍රී ලංකාවට මොකද වෙන්නේ ?

    • Author, සරෝජ් පතිරණ
    • Role, BBC සිංහල

සිය නව රාජ්‍ය නායකයා තෝරා ගැනීම පිණිස ඇමෙරිකා එක්සත් ජනපදයේ ඡන්දදායකයන් දස ලක්ෂ සංඛ්‍යාත පිරිසක් ලබන නොවැම්බර් 03 වෙනි දින ඡන්ද පොලට යාමට නියමිතය.

ඒ අතර, විශේෂයෙන්ම කෝවිඩ්19 වසංගතය හේතුවෙන්, තවත් ලක්ෂ සංඛ්‍යාත පිරිසක් සිය ප්‍රජාත්නත්‍රවාදී අයිතිය භාවිත කරනු ලබන්නේ තැපැල් මාර්ගයෙනි.

අන් බොහෝ රටවල මෙන් දේශපාලන පක්ෂ ගණනාවක් නොමැති හෙයින්, මැතිවරණයේ දී අනිවාර්යයෙන්ම ජයග්‍රහණය කරනු ලබන්නේ රිපබ්ලිකන් හෝ ඩිමොක්‍රටික් පක්ෂයේ අපේක්ෂකයා/ අපේක්ෂිකාවය.

එබැවින් එක්සත් ජනපදයේ මීළඟ ජනාධිපති පදවියට පත්වන්නේ, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හෝ හිටපු උප ජනාධිපති ජෝ බයිඩන් අතරින් කෙනෙකි.

ඒ අතරින් ඩිමොක්‍රටික් පක්ෂයේ අපේක්ෂක ජෝ බයිඩන් මේ වනවිට ජනමත සමීක්ෂණ අනුව ඉදිරියෙන් සිටී.

කිසියම් ලෙසකින් ජෝ බයිඩන් මැතිවරණයෙන් ජයග්‍රහණය කළහොත් ශ්‍රී ලංකාවට එය කෙසේ බලපානු ඇතිද?

'මේක අරාබි වසන්තය නොවෙයි මේක ඇමෙරිකානු වසන්තය'

ප්‍රවීන දේශපාලන විශ්ලේෂක ආචාර්ය දයාන් ජයතිලක විග්‍රහකරන පරිදි, එක්සත් ජනපද ජනපතිවරණයේ දී එසේ ඩිමොක්‍රටික් පක්ෂය ජයග්‍රහණය කළහොත් එය ශ්‍රී ලංකාවට පමණක් නොව "ලෝක ඉතිහාසයටම බලපාන" ජයග්‍රහණයකි.

"මොකද මෙදා පාර ඒක සිද්ධවෙන්නේ මහජන අරගලයක ප්‍රතිඵලයක් විදියට. ටයිම්ස් සඟරාව කියන විදියට ගත්තොත් ලොකු ප්‍රජා විප්ලවයක් සාමකාමීව සිද්ධ වෙනවා," ඔහු සඳහන් කළේ බීබීසී සිංහල සේවය සමඟ සිය විග්‍රහය ඉදිරිපත් කරමිනි.

"මේක ඉතිහාසයේ නොතිබුණ ආකාරයේ මහජන නැගිටීමක්. ඒ මහජන ව්‍යාපාරය දේශපාලන පක්ෂවලට ඉදිරියෙන් ඉන්න නිසා පක්ෂවලට සිද්ධ වෙලා ඒකට අනුගත වෙන්න. මේක Black Lives Matter විතරක් නෙමේ. ඊටත් කලින් තිබුණ මහජන ව්‍යාපාරවල දිගුවක්. උදාහරණයක් විදියට බර්නි සෑන්ඩර්ස් ගේ ව්‍යාපාරය තිබුණ. දැන් ඩිමොක්‍රටික් පක්ෂයත් ඒකට සම්බන්ධ වෙලා."

මහින්ද රාජපක්ෂ සහ මෛත්‍රීපාල සිරිසේන ජනපතිවරුන් යටතේ ජිනීවා නුවර සහ රුසියාවේ ශ්‍රී ලංකාවේ තානාපති පදවිය ද හෙබවූ ආචාර්ය දයාන් ජයතිලක පවසන පරිදි ඇමෙරිකා එක්සත් ජනපදයේ දැන් සිදුවෙමින් පවතින්නේ "දියුණු සමාජයක අපි දැකපු වඩාත්ම ප්‍රජාතන්ත්‍රවාදී මහජන ව්‍යාපාරය," වන අතර එළැඹෙන ජනපතිවරණයේ දී එම ව්‍යාපාරය බලයට පත්වීමට බොහෝ දුරට ඉඩ තිබේ.

"මේක අරාබි වසන්තය නොවෙයි මේක ඇමෙරිකානු වසන්තය."

විශේෂයෙන්ම කළු ජාතිකයන්ට එරෙහි පොලිස් කෘරත්වයට විරෝධය පාමින් එක්සත් ජනපදයේ මතුවෙමින් පවතින වාතාවරණය ඔහු විග්‍රහ කරන්නේ, "1968 න් පස්සේ, ප්‍රජාතන්ත්‍රවාදී ලෝකේ වඩාත්ම ප්‍රගතිශීලී ප්‍රපංචය," ලෙසිනි.

එබැවින් "සැබෑ අරගලයක ප්‍රතිඵලයක් වශයෙන්" මෙවර ජෝ බයිඩන් ලොව ප්‍රබලම ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයේ බලයට පත්වනු ඇති බව ඔහුගේ මතය වී තිබේ.

විශේෂයෙන් ගෝඨාභය රාජපක්ෂ සහ ඔහුගේ හිතවතුන් එක්සත් ජනපදයේ Tea Party ව්‍යාපාරයට සමීප, කැලිෆෝනියාවේ "රිපබ්ලිකන් අන්ත දක්ෂිණාංශික කණ්ඩායමේ සාමාජිකයන්" බව පවසන ආචාර්ය දයාන් ජයතිලක, එබැවින් ජෝ බයිඩන් ගේ නව විදේශ ප්‍රතිපත්තිය තුළ රාජපක්ෂ පාලනයට ප්‍රබල බලපෑම් එල්ලවිය හැකි බව පෙන්වා දෙයි.

කමලා හැරිස් සහ රෝහිණී කොසොග්ලු රවීන්ද්‍රන්

ලොස් ඇන්ජලීස් නුවර හිටපු කොන්සල් ජනරාල්වරිය වන ස්වර්ණා පුෂ්ප කාන්ති ගුණරත්න පවසන්නේ ද ගෝඨාභය රාජපක්ෂ ඇතුළු රාජපක්ෂ කඳවුරේ සියලු දෙනාම පාහේ සාමාන්‍යයෙන් රිපබ්ලිකන් පක්ෂයට ලැදි පිරිසක් බවය.

"මොකද ඒගොල්ලන්ගේ මතයක් තියෙනව ක්ලින්ටන්ල කොටින්ට උදවු කළා කියල," ඇය බීබීසී සිංහල සේවය සමඟ කියා සිටියාය.

ඩිමොක්‍රටික් පක්ෂයේ උප ජනාධිපති අපේක්ෂිකාව වන කමලා හැරිස් ගේ කාර්ය මණ්ඩල ප්‍රධානී රෝහිණී ලක්ෂ්මී කොසොග්ලු (රවීන්ද්‍රන්) ශ්‍රී ලාංකික දෙමාපියන්ට දාව එක්සත් ජනපදයේ උපත ලැබූ තරුණ නීතිවේදිනියකි. ඇයගේ දෙමාපියන් ශ්‍රී ලංකාව හැර ගියේ 1983 ජාතිවාදී කෝලාහලවලින් අනතුරුව බව මාධ්‍ය වාර්තාවල දැක්විණ.

"මට කමලා හැරිස්, රෝහිනී කොසොග්ලු කිහිප වතාවක්ම හමුවුණා. මම හිතනවා රිපබ්ලිකන් එක එක්ක තරම් ලේසි වෙන එකක් නෑ කියල මේ ආණ්ඩුවට ඩිමොක්‍රටික් අය එක්ක ඩීල් කරන්න. මොකද මම ඇසුරු කරපු ඩිමොක්‍රටික් නිලධාරීන්ගෙන් පවා මට තේරුනේ එයාල ගොඩක් ප්‍රජාතන්ත්‍රවාදී අගයන් ගරු කරන අය," ස්වර්ණා කාන්ති ගුණරත්න සඳහන් කළාය.

ඇය පවසන්නේ, ජෝ බයිඩන් ජනපතිවරයා යටතේ ශ්‍රී ලංකාවට විශේෂයෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානයේදී ප්‍රබල බලපෑම්වලට මුහුණදීමට සිදුවිය හැකි බවය.

විධායක ජනාධිපති පදවියට අසීමිත බලතල හිමිවන 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනය හේතුවෙන් ශ්‍රී ලංකාවේ නීතියේ ආධිපත්‍යය සහ ප්‍රජාතන්ත්‍රවාදය තර්ජනයකට ලක් වී ඇතැයි පවසන ස්වර්ණා පුෂ්ප කාන්ති ගුණරත්න, ජෝ බයිඩන් ගේ පාලනයක් තුළ එය පැහැදිලිවම රාජපක්ෂ පාලනයට අවාසි සහගත ලෙසින් බලපානු ඇතැයි වැඩිදුරටත් කියා සිටියාය.

'සෘජු බලපෑමක් නෑ'

දේශපාලන විශේල්ෂකවරියක වන ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි ආචාර්ය හරිනි අමරසූරිය පවසන පරිදි, ජනමත සමීක්ෂණවල ප්‍රතිඵල කවරක් වුවද ජනපතිවරණයෙන් ස්ථිරවම ජෝ බයිඩන් ජයගනු ඇතැයි තවමත් ස්ථිරව කිව නොහැකිය.

"එහෙම වුණොත්, ඒක ලංකාවට විතරක් නෙවේ, පොදුවේ බලපානවා. ඒ කියන්නේ ජනප්‍රියවාදී, ඒකාධිපතිවාදී ප්‍රවණතාවට ජාත්‍යන්තර වශයෙන් පසුබෑමක් සිදුවෙනවා," ආචාර්ය හරිනි අමරසූරිය සඳහන් කළාය.

"එහෙම නැතුව මම හිතන්නේ නෑ ලංකාවට ලොකු බලපෑමක් වෙනවා කියල බයිඩන් හිටියත්, ට්‍රම්ප් හිටියත්. මොකද එයාලට අවශ්‍ය ඇමෙරිකාවේ අවශ්‍යතා අනුව කටයුතු කිරීම."

චීනය සහ ඉන්දියාව අතර පවතින ගැටුම හේතුවෙන් "සංවේදී කලාපයක" පිහිටි ශ්‍රී ලංකාව වැදගත් වන නමුත් ඇමෙරිකානු ජනපතිවරණයේ ප්‍රතිඵලය ශ්‍රී ලංකාවට සෘජුවම බලපෑමක් නොකරනු ඇතැයි යන්න ඇයගේ විග්‍රහය වී තිබේ.

"නමුත් ඇමෙරිකාවේ ජාත්‍යන්තර සම්බන්ධතාවල වෙනසක් වේවි. නැවත වතාවක් අන්තර්ජාතික සම්මුතීන් සහ සංවිධාන ශක්තිමත් වෙන්න පුළුවන්."

එක්සත් ජනපදයට ශ්‍රී ලංකාව වැදගත් වන්නේ "දේශපාලනමය වශයෙන් නෙවෙයි, මිලිටරි ආකල්පයකින්" බව පෙන්වාදෙන ආචාර්ය හරිනි අමරසූරිය වැඩිදුරටත් කියා සිටියේ, එහිදී රාජපක්ෂවරුන් සිය රටේ පුරවැසියන් වීම හෝ රෝහිණී කොසොග්ලුගේ ශ්‍රී ලාංකික සම්භවය වැනි පුද්ගල සාධක මගින් සෘජු බලපෑමක් වනු ඇතැයි තමන් විශ්වාස නොකරන බවය.

පුද්ගල සාධක

  • ඇමෙරිකානු පුරවැසියෙකු වූ ජනාධිපති ගෝඨාභයගේ ඉල්ලීම පරිදි ඔහුගේ පුරවැසිභාවය ඉවත් කළ බව මේ වසරේ අප්‍රේල් මාසයේ රාජ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනය කළ නමුත්, ඔහුගේ බිරිඳ සහ පුත්‍රයා එක්සත් ජනපද පුරවැසිභාවය ඉවත්කර ගත්තේද යන්න හෙළිවී නැත.
  • ජනාධිපතිවරයාගේ සහෝදර බැසිල් රාජපක්ෂ ඇමෙරිකානු - ශ්‍රී ලංකා ද්විත්ව පුරවැසියෙකි.
  • කමලා හැරිස්ගේ කාර්ය මණ්ඩල ප්‍රධානී රෝහිණී ලක්ෂ්මී කොසොග්ලු ශ්‍රී ලාංකික සම්භවයක් සහිත කාන්තාවකි.
  • හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, ක්ලින්ටන් පදනමේ උපදේශිකාවකි.
  • බරක් ඔබාමා පරිපාලනයේ කැබිනට් බලතල සහිත එක්සත් ජාතීන්ගේ තානාපතිවරයා වූ සමන්තා පවර්, හිටපු අමාත්‍ය මංගල සමරවීර ගේ සමීපතම හිතවතියකි.

'ඉක්මන් විය යුතුයි'

මේ අතර අද දෙරණ නාලිකාව සමඟ අදහස් දක්වමින් රාජපක්ෂ පාලනය සමයේ විදේශ අමාත්‍යංශයේ හිටපු ලේකම්වරයෙකු වන ආචාර්ය පාලිත කොහොන දිගින් දිගටම අවධාරණය කළේ මැතිවරණයෙන් ජෝ බයිඩන් ජයග්‍රහණය කරනු ඇතැයි හැඟීමක් පවතින බැවින් ශ්‍රී ලංකාව එය වටහාගෙන සිය ඉදිරි මූලෝපාය ක්‍රියාත්මක කළ යුතු බවය.

ආචාර්ය පාලිත කොහොන, චීනයේ ශ්‍රී ලංකා තානාපති පදවියට මේ වනවිට නම්කරනු ලැබ සිටී.

විශේෂයෙන්ම ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනය යටතේ ශ්‍රී ලංකාවට ප්‍රබල පීඩනයක් එල්ල නොවූ නමුත්, පරිනත දේශපාලනඥයෙකු වන ජෝ බයිඩන් පාලනය යටතේ ඒ තත්ත්වය වෙනස්විය හැකි බව පිළිගත් ඔහු කියා සිටියේ එබැවින් බයිඩන් කඳවුර සමඟත් සම්බන්ධතා තරකර ගැනීමට ශ්‍රී ලංකාව මේ මොහොතේ උත්සුක විය යුතු බවය.

"රටක් වශයෙන් ශ්‍රී ලංකාව ක්‍රියාශීලී විය යුතුයි අපි අනාගතය ගැන ක්‍රියාකරන්නේ කොහොමද කියල," ආචාර්ය පාලිත කොහොන පැවසීය.

"ට්‍රම්ප් යටතේ අපිට ලොකු බලපෑමක් ආවේ නෑ නමුත් බයිඩන් කියන්නේ ඊට වඩා ලංකාවේ තත්ත්වය ගැන හොඳින් දන්නා කෙනෙක්. ඒ වගේම ශ්‍රී ලංකාව ගැන අවධානයෙන් බලා ඉන්න කිහිප දෙනෙක් ඔහු වටේ ඉඳීවි. ඒ නිසා අපි දැන්ම එක්සත් ජනපදය එක්ක කටයුතු කරන්නේ කොහොමද කියල දැන්ම අපේ මූලෝපාය සකස් කරගත යුතුයි."

කිසිදු රටකට තවත් රටක් සම්බන්ධයෙන් ස්ථිර ප්‍රතිපතියක් නොමැති බව පෙන්වාදුන් ආචාර්ය කොහොන පවසන්නේ, එම ප්‍රතිපත්තිය තීරණය කෙරෙන්නේ අදාළ රට අනෙක සමඟ සම්බන්ධතා පවත්වන ආකාරයට බවය.

"ඒක තියෙන්නේ අපේ අතේ. අපේ මතය වොෂිංටන් පාලනයට වටහාදීම අපේ වගකීම. අපි ලෝකයේ කොටසක් වෙන්න ඕනේ. අපි අනිත් අය එක්ක ගනුදෙනු කරන්න ඕනේ."

'හොඳම ඇමෙරිකන් ලයින් එක මේ ආණ්ඩුවේ'

ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසන්නේ, ශ්‍රී ලංකා ඉතිහාසයේ "මේ තරම් ඇමෙරිකන් ලයින් එක තියන පක්ෂයක් තවත් තිබිල නෑ," යනුවෙන්.

එබැවින් ඉන්දියාවේ ද ආශීර්වාදය සහිතව, ශ්‍රී ලංකාව චීනයේ බලපෑමෙන් ඈත්කිරීම පිණිස ඇමෙරිකා එක්සත් ජනපදය ගෝඨාභය රාජපක්ෂට ජනපති පදවියට පත්වීම සඳහා අනුබල දුන් බව ඔහුගේ විග්‍රහය වී තිබේ.

මුලින් රනිල් වික්‍රමසිංහ පරිපාලනය මාර්ගයෙන් සිය අවශ්‍යතා ඉටුකරගැනීමට උත්සහ කළ එක්සත් ජනපදය එය අසාර්ථකවීම හේතුවෙන් ගෝඨාභය රාජපක්ෂ වෙත යොමු වූ බවද වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසයි.

"වැදගත්ම දේ දැන් ගෝඨාභය රනිල් කරපු දේම කරන්නේ ජනතාවගේ සහයත් ඇතිව. දැන් කවුරුත් කට අරින්නේ නෑ. සිංහල ජාතිකවාදීන්ගේ සහය අරගෙන බලයට ඇවිත් දැන් ඇමෙරිකන් ලයින් එකට වැඩ කරනවා."

චීන බලපෑම අවම කිරීම

ලොස් ඇන්ජලීස් නුවර හිටපු කොන්සල් ජනරාල් ස්වර්ණා කාන්ති ගුණරත්න පවසන පරිදි එක්සත් ජනපදයේ නව පරිපාලනය බිහිවීමත් සමඟ ශ්‍රී ලංකාවේ ඩිමොක්‍රටික් පක්ෂ හිතවාදීන්ට ප්‍රධාන කාර්යභාරයක් පැවරෙනු ඇති බවය.

විශේෂයෙන්ම 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනය මගින් බිහිකෙරෙන "ඒකාධිපති පාලනය" කෙරෙහි නව ඩිමොක්‍රටික් පක්ෂ පරිපාලනයක් දැඩි ස්ථාවරයක් දරනු ඇති බවත් ඇය සඳහන් කළාය.

"මට පේන්නේ රට මහා බරපතල අර්බුදයකට යමින් ඉන්නවා. මොකද අපි ඒකාධිපතියෙක් බිහිකරනවා. එතෙන්දි මංගල සමරවීරට ලොකු රෝල් එකක් තියෙනව කියල මම හිතනවා. මොකද සමන්තා පවර් මංගලට ලොකු හයියක් තියෙනවා."

එක්සත් ජනපදයේ අභිලාශය කවරක් වුවත් ශ්‍රී ලංකාවේ ප්‍රධානම ආයෝජකයා වන චීනය සම්පූර්ණයෙන්ම ශ්‍රී ලංකාවෙන් දුරස් කිරීම ඉතා දුෂ්කර කාර්යයක් වනු ඇති බවත් ඇය සඳහන් කළාය.

"කොහොමත් චීනය වුනත් ලේසියෙන් ලංකාව අත්හරින්නේ නෑ."

'මිලෝසෙවිච්චට වෙච්ච දේ'

චීනය සහ ඉන්දියාව අතර ගැටුමේදී ශ්‍රී ලංකාවට එල්ලවන පීඩනය ගැන අදහස් දක්වමින් ආචාර්ය දයාන් ජයතිලක පවසන්නේ, ශ්‍රී ලංකාව "අපි ඉන්නේ ඉන්දියාවේ බල ප්‍රදේශයේ" බව ආණ්ඩුව අමතක නොකළ යුතු බවය.

"ඉන්දියාවේ බල ප්‍රදේශයේ ඉන්න අතරම රාජපක්ෂ ආණ්ඩුව යටතේ වඩාත් බලපෑම් කරන්න පුළුවන් කෙනා චීනය කියල පේන්න පුළුවන්," ඔහු පැවසීය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ යටතේ ශ්‍රී ලංකාවේ තුළ "ජාත්‍යෝන්මාදය, නැත්නම් ස්වෝත්තමවාදය රජ වී," ඇති බව පවසන ඔහු ජනාධිපතිවරයා විග්‍රහ කරන්නේ "ජනාධිපති ට්‍රම්ප් ගේ පුංචි මුද්‍රණයක්," ලෙස ය.

එහෙත් බයිඩන් පාලනයක් තුළ ලෝකයේ "මතවාදී ධාරාවක් හැටියට ප්‍රජාත්‍රන්ත්‍රවාදය ආයෙත් මතුවෙනවා," යනුවෙන් කියා සිටි ආචාර්ය දයාන් ජයතිලක, තමන් බලයට පත් වූ විට අධිකාරිවාදයට විරුද්ධව සහ අන්ත ජාතිවාදයට විරුද්ධව ජාතීන් එකතු කිරීම සඳහා ජාත්‍යන්තර සමුළුවක් කැඳවන බව ඔහු පවසා තිබෙන බවත් පෙන්වා දුන්නේය.

"ඒ නිසා ඇමෙරිකානු මැතිවරණය ලංකාවට බලපාන්නේ ලංකාවේ ආණ්ඩුව කටයුතු කරන විදියට. යථාර්ථවාදී විදියට කටයුතු කළොත් මොනාත් වෙන්නේ නෑ. සියල්ල තීන්දු වෙන්නේ මේ ආණ්ඩුවේ ජාත්‍යන්තර කටයුතු ගැන තියෙන පියවි සිහිය මත."

එබැවින් සර්බියාවේ ස්ලෝබදාන් මිලොසෙවිච් ගේ අත්දැකීමෙන් රාජපක්ෂ පාලනය පාඩම් උකහා ගත යුතු බව ඔහු අවධාරණය කරයි.

"ජෝර්ජියාවට මොකද වුණේ. මේ වගේම අන්ත ජාතිවාදී විදියට අසල්වැසියා, රුසියාව එක්ක හැප්පෙන්න ගිහින්? යුක්රේනයට මොකද වුනේ?"

"මේගොල්ල ඉගෙනගන්න ඕනේ මිලොසෙවිච් ට වෙච්ච දෙයින්," ආචාර්ය දයාන් ජයතිලක වැඩිදුරටත් පැවසීය.

තවත් කියවන්න: