09 වෙනි පාර්ලිමේන්තුව: 'තුන්වෙනි පුරවැසියා' මහින්ද යාපා

නව වෙනි පාර්ලිමේන්තුව බ්‍රහස්පතින්දා (අගෝස්තු 20) රැස්වූ අවස්ථාවේදී කථානායක වශයෙන් මහින්ද යාපා අබේවර්ධන ඒකමතිකව පත්කර ගැනිණි.
රැස්වීම උදෑසන 9:30 ට ආරම්භ වූයේ පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක විසින් ජනාධිපතිවරයා නිකුත් කළ පාර්ලිමේන්තුව කැඳවීමට අදාළ ගැසට් පත්‍රය කියවීමෙන් අනතුරුවය.
එයින් අනතුරුව පිළිවෙලින් ආණ්ඩු පක්ෂයේ දිනේශ් ගුණවර්ධන හා විපක්ෂයේ රංජිත් මද්දුමබණ්ඩාර යන මන්ත්‍රීවරුන්ගේ යෝජනා ස්ථීරත්වයෙන් කථානායකවරයා ඒකමතිකව පත්විය.
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ 15 වන කථානායක වශයෙන් මහින්ද යාපා අබේවර්ධන දිවුරුම් දීමෙන් අනතුරුව පැමිණ සිටි මන්ත්‍රීවරු ද දිව්රුම් දුන්හ.
නව වෙනි පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ නායකයින් ගේ සුභපැතුම් පළකිරීමෙන් අනතුරුව සභාව ඇමතූ නව කථානායකවරයා පැවසුවේ ආණ්ඩු පාර්ශවය හා විරුද්ධ පාර්ශවය විසින් තමන් කෙරෙහි තබන ලද විශ්වාසයට ප්‍රණාමය පුදකරන බවය.
"නැවුම් දේශපාලන පරිවර්තනයක් හා විපර්යාස කේන්ද්‍රයක් කර ගනිමින් මේ දිනවල ජන සමාජයේ දැඩි අවධානය යොමුවී ඇති කෝවිඩ්-19 රෝගි තත්ත්වය මර්දනය කරමින් දැනට නිර්මාණය වෙමින් පවතින රටේ සංවර්ධන ක්‍රියාවලිය වැනි හිතකර ප්රවණතාවයන් හමුවේ පාර්ලිමේන්තුවේ කථානායක ධූරය හෙබවිමට ලැබීම ඉමහත් භාග්‍යක් ලෙස නිහතමානිව මම පිලිගනිමි. ජනතාව අපේක්ෂාකරන නව සුචරිත දැක්ම තුළ පාර්ලිමේන්තුවේ ක්‍රියාදාමයන් ඵලදායී ලෙස ඉටුකිරීමට පාර්ලිමේන්තුවේ ස්වාධීනත්වය ශක්තිමත් කරමින් ව්‍යවස්ථාදායකත්වයේ කාර්ය භාරය ප්‍රවර්ධනය කිරිමටත් පාර්ලිමේන්තු සේවයේ ස්වාධීනත්වය ශක්තිමත් කිරීමටත් මම අපේක්ෂා කරමි," යැයි ද ඔහු කියා සිටියේය.

ඡායාරූප මූලාශ්‍රය, Sri Lanka Parliament
මෙයින් අනතරුව නියෝජ්‍ය කතානායක ලෙස රංජිත් සියඹලාපිටිය ද, නියෝජ්‍ය කාරක සභා සභාපති ලෙස අංගජන් රාමනාදන් ද පත්කර ගැනුණේ නිතරගයෙනි.
මීට අමතරව විපක්ෂ නායක ලෙස සජිත් ප්‍රේමදාස, පාර්ලිමේන්තුවේ සභා නායක ලෙස දිනේෂ් ගුණවර්ධන, ආණ්ඩුපක්ෂ ප්‍රධාන සංවිධායක ලෙස ජොන්ස්ටන් ප්‍රනාන්දු පිළිගන්නා බව නව කථානායක මහින්ද යාපා අබේවර්ධන සභාවට දැනුම් දුන්නේය.
දැනට බන්ධනාගාර ගතව සිටින පසුගියදා පැවති මහ මැතිවරණයෙන් මඩකලපුව දිස්ත්‍රික්කයට තේරි පත් වූ පිල්ලෙයාන් හෙවත් සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් ද පාර්ලිමේන්තුවේ පළමු රැස්වීම සඳහා සහභාගී විය.
පාර්ලිමේන්තුව බ්‍රහස්පතින්දා සවස තුන දක්වා කල් තැබුණේ ජනාධිපතිවරයා ඉදිරිපත් කරනු ලබන ප්‍රතිපත්ති ප්‍රකාශය සඳහා යළි රැස්වන තෙක්ය.
කවුද මේ මහින්ද යාපා අබේවර්ධන?

ඡායාරූප මූලාශ්‍රය, Mahinda Yapa Abeywardena
1945 වසරේ ඔක්තෝබර් මස 10 වෙනි දින මාතර මාකඳුර ප්‍රදේශයේ දී උපත ලද අභිනව කථානායක මහින්ද යාපා අබේවර්ධන වසර 30 කට වඩා අත්දැකීම් ඇති පරිණත දේශපාලනඥයෙකි. තෙලිජ්ජවිල මධ්‍ය මහා විද්‍යාලයෙන් සහ මාතර රාහුල විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබූ මහින්ද යාපා අබේවර්ධන කොළඹ විශ්වවිද්‍යාලයෙන් සිය ප්‍රථම උපාධිය හිමිකරගෙන තිබේ. ඉන්දියාවේ චන්දිගාර් කළමනාකරණ ආයතනයේ කළමනාකරණය පිළිබඳ විශේෂ පුහුණුවක් ලබා ගැනීමට ද ඔහු සමත්ව තිබේ.
1983 වසරේදී හක්මණ ආසනයේ පැවති අතුරු මැතිවරණයෙන් ජය ලබා එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් ප්‍රථම වරට පාර්ලිමේන්තුවට පිවිසි ඔහු වසර 23 ක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කර තිබේ. 2020 මහ මැතිවරණය සඳහා මාතර දිස්ත්‍රික්කයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරඟ කළ මහින්ද යාපා අබේවර්ධන මනාප ජන්ද 80,895 ක් ලබා ගැනීමට සමත් විය.
1993/94 කාල සීමාව තුළ දකුණු පළාත් සභාවේ සභාපති ලෙස කටයුතු කළ ඔහු 1994/2001 කාල සීමාව තුළ එම පළාත් සභාවේම ප්‍රධාන අමාත්‍යවරයා ලෙස ද කටයුතු කර තිබේ. සෞඛ්‍ය, සංස්කෘතික කටයුතු හා ජාතික උරුමයන්, වාරිමාර්ග හා ග්‍රාම සංවර්ධන, කර්මාන්ත හා වාණිජ කටයුතු , පාර්ලිමේන්තු කටයුතු සහ කෘෂිකර්ම වැනි අමාත්‍යධුර රැසක් ද ඔහු හොබවා ඇත.
1987 වසරේදී ඔහු කෝප් කමිටුවේ සාමාජිකයෙකු ලෙස ද කටයුතු කර තිබේ.
අභිනව නියෝජ්‍ය කථානායක රංජිත් සියඹලාපිටිය වැන්ඳල කණිෂ්ඨ විද්‍යාලයෙන් සහ වැන්ඳල ප්‍රාථමික විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය හදාරා තිබේ. පසුව පහ වසර ශිෂ්‍යත්වයෙන් දිවයිනේ දෙවෙනියා ලෙස සමත් වූ ඔහු කොළඹ රාජකීය විද්‍යාලයට ඇතුළත් විය.
උසස් පෙළ වාණිජ විෂය ධාරාවෙන් හදාරා ඇති ඔහු කොළඹ දිස්ත්‍රික්කයේ දෙවෙනියා බවට පත්වෙමින් ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට ඇතුළත් විය.
රුවන්වැල්ල ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායකවරයා ලෙස 1998 ජුලි 30 දින පත්වීම භාරගත් රංජිත් සියඹලාපිටිය 1999 වසරේදී සබරගමුව පළාත් සභාවට තේරී පත් විය. 2000 මහ මැතිවරණයේදී කෑගල්ල දිස්ත්‍රික්කයට පොදු ජන එක්සත් පෙරමුණෙන් තරඟ වැදුණු ඔහු ප්‍රථම වරට පාර්ලිමේන්තුව නියෝජනය කිරීමේ අවස්ථාව උදා කර ගත්තේය.
රංජිත් සියඹලාපිටියගේ දේශපාලන ගමන්මග

ඡායාරූප මූලාශ්‍රය, Ranjith Siyambalapitiya
ඉන් අනතුරුව ඔහු මුදල් ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය, මූදල් නියෝජ්‍ය අමාත්‍ය සහ මුදල් හා රාජ්‍ය ආදායම් අමාත්‍ය යන ධුරයන්හි කටයුතු කර තිබේ.
2010 පාර්ලිමේන්තු මැතිවරණයෙන් අනතුරුව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ධුරයත්, විදුලි සංදේශ හා තොරතුරු තාක්ෂණ කැබිනට් අමාත්‍ය ධුරයත් ඔහු දරා තිබේ.
2015 මැතිවරණයෙන් අනතුරුව ස්වදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ධුරය දැරූ ඔහු පරිසර රාජ්‍ය අමාත්‍ය සහ විදුලි හා පුනර්ජනනීය බලශක්ති කැබිනට් අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළේය. 2019 ජනාධිපතිවරණයෙන් පසු පත් වූ ආණ්ඩුවේ අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යවරයා වශයෙන් ඔහු කටයුතු කළේය.
මේ ගැනත් දැනගන්න:









