2020 ශ්‍රී ලංකාවේ මහ මැතිවරණය: අපේක්ෂකයෝ, අලුත් මුහුණු, කාන්තා ඉල්ලීම් සහ මැතිවරණය ගැන ඔබ දැනගත යුතු දේ

    • Author, සරෝජ් පතිරණ
    • Role, BBC සිංහල

19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ප්‍රකාර ශ්‍රී ලංකාවේ ස්වාධීන මැතිවරණ කොමිෂන් සභාව පිහිටුවනු ලැබීමෙන් අනතුරුව පවත්වනු ලබන පළමු මහ මැතිවරණයේ ඡන්ද විමසීම පැවැත්වෙන දිනය සහ සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් එය පවත්වන ආකාරය මැතිවරණ කොමිසම විසින් ප්‍රකාශයට පත්කරනු ලැබ තිබේ.

මැතිවරණය පැවැත්වෙන්නේ කවදාද?

පසුගිය මාර්තු 02 වෙනි දින පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් මහ මැතිවරණය අප්‍රේල් 25 වෙනි දින පැවැත්විය යුතු බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නියම කළේය.

එහෙත් කෝවිඩ් 19 වසංගතය පැතිරයාමත් සමඟ එදින මැතිවරණය පැවැත්විය නොහැකි බව ස්වාධීන මැතිවරණ කොමිෂන් සභාව තීන්දු කළේය.

ඒ සම්බන්ධයෙන් ජනාධිපති ලේකම්වරයා සහ මැතිවරණ කොමිෂන් සභාව අතර ලිපි හුවමාරුවක් ද සිදු වූ අතර, පසුව මැතිවරණය ජුනි 20 වෙනි දින පැවැත්වීමට තීන්දු කෙරිණ.

කොරෝනාවෛරස වසංගතය හේතුවෙන් එම දිනය ද කල් ගිය අතර අවසානයේ අගෝස්තු 05 වෙනි දින මහ මැතිවරණයේ ඡන්ද විමසීම පැවැත්වීමට මැතිවරණ කොමිසම තීන්දු කර තිබේ.

අපේක්ෂකයින් කවුරුන් ද?

විශේෂයෙන්ම මැතිවරණය සඳහා නාම යෝජනා භාරදෙනු ලැබුවේ මීට මාස කිහිපයකට ඉහත දී බැවින් එයට තරඟ වැදී සිටින අපේක්ෂකයින් සම්බන්ධයෙන් තවමත් ඡන්දදායකයින්ට නිසි අවබෝධයක් ඇති හැඩක් නොපෙනේ.

ආණ්ඩු පක්ෂයේ මෙන්ම විරුද්ධ පක්ෂයේ ද බෙදීම් සහ අලුත් සන්ධාන බිහිවීම මෙම තත්ත්වයට තවත් හේතුවකි.

කලෙක සිටම '225 ම එපා' යනුවෙන් උද්ඝෝෂණයක් මතුව පැවති අතර, කෝවිඩ් 19 වසංගතය හමුවේ පවා විසුරුවා හරින ලද පාර්ලිමේන්තුව යළිත් වරක් නොකැඳවන බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවා දැඩි ස්ථාවරයක සිටිය ද පැරණි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 225න් 198 කටම මෙවරත් නාම යෝජනා ලැබී තිබෙන බව manthri.lk වෙබ් අඩවිය පෙන්වා දෙයි.

තවත් හිටපු මන්ත්‍රීවරුන් 10 දෙනෙක් ජාතික ලැයිස්තුවලින් ඉදිරිපත්ව සිටිති.

  • අගමැති මහින්ද රාජපක්ෂ
  • හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ
  • හිටපු විපක්ෂනායක සජිත් ප්‍රේමදාස
  • හිටපු විපක්ෂනායක ආර් සම්බන්ධන්
  • අනුර කුමාර දිසානායක
  • හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන

මෙවර මැතිවරණයේදී සිය පක්ෂ හෝ සන්ධානවලට නායකත්වය දෙමින් මැතිවරණ සටන මෙහෙයවති.

  • රවුෆ් හකීම්
  • මනෝ ගනේෂන්
  • චම්පික රණවක
  • වික්‍රමබාහු කරුණාරත්න
  • රිෂාඩ් බදියුද්දීන්
  • ජීවන් තොණ්ඩමන්

වැනි පක්ෂ නායකයෝ ආණ්ඩුවේ සහ විපක්ෂයේ සන්ධානවලට එක් වී තරඟ වදිති.

පසුගිය ජුනි 09 වෙනි දින මැතිවරණ කොමිෂන් සභාව විසින් අති විශේෂ ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත්කළ පරිදි, දේශපාලන පක්‍ෂ 40ක් සහ ස්වාධීන කණ්ඩායම් 313 නියෝජනය කරමින් අපේක්‍ෂකයන් 7472 ක් මහ මැතිවරණයට තරඟ වැදී සිටිති.

ශ්‍රී ලංකාවේ පරිපාලන දිස්ත්‍රික්ක 24ක් පැවතුණ ද, මැතිවරණය සඳහා එම දිස්ත්‍රික්ක 24 මැතිවරණ දිස්ත‍්‍රික්ක 22 ක් බවට පත්වේ. ඒ මන්නාරම, මුලතිවු සහ වවුනියා පරිපාලන දිස්ත්‍රික්ක තුන වන්නි මැතිවරණ දිස්ත්‍රික්කය බවට පත්වෙමිනි.

කොළඹ දිස්ත්‍රික්කයේ පමණක් දේශපාලන පක්ෂ 16ක් සහ ස්වාධීන කණ්ඩායම් 26ක් නියෝජනය කරමින් අපේක්ෂකයින් 924 දෙනෙක් තරග වැදී සිටිති.

කොළඹ දිස්ත්‍රික්කයේ ඡන්ද මධ්‍යස්ථාන 1168 ක දී ඡන්ද විමසීම පැවැත්වේ.

පසුගිය මාර්තු 05 වෙනි දින මැතිවරණ කොමිසම විසින් ප්‍රකාශයට පත්කරන ලද විශේෂ ගැසට් පත්‍රයට අනුව දේශපාලන පක්ෂ 166 කට මැතිවරණ කොමිසම විසින් එම පක්ෂවලට අදාළ ලකුණු වෙන්කර දෙනු ලැබ තිබේ.

තරඟ නොවදින්නේ කවුද?

විසුරුවා හරින ලද පාර්ලිමේන්තුවේ කතානායක පදවිය හෙබැවූ කරු ජයසූරිය මෙවර මැතිවරණයට ඉදිරිපත් නොවන අතර, නාම යෝජනා භාර දුන් නමුත් මැතිවරණයට ඉදිරිපත් නොවන බව හිටපු මුදල් සහ ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර පසුව නිවේදනය කළේය.

හිටපු පාර්ලිමේන්තුව නියෝජනය කළ 17 දෙනෙකු මෙවර මැතිවරණ සටනට එක් වී නැත.

මන්ත්‍රීවරු කීයද?

සමානුපාතික නියෝජන ක‍්‍රමයට අනුව දිස්ත‍්‍රික් මට්ටමින් මන්ත‍්‍රීවරුන් 196ක් තෝරාගනු ලබන අතර ජාතික ලැයිස්තු මගින් මන්ත‍්‍රිවරුන් 29 දෙනෙකු තෝරාගැනීමට නියමිතය.

විශේෂයෙන්ම මෙවර ස්වාධීන කණ්ඩායම් විශාල ප‍්‍රමාණයක් ඉදිරිපත් වීම මගින් මැතිවරණයේ මෙහෙයවීම සංකීර්ණ කර තිබෙන බව පැෆරල් මැතිවරණ නිරීක්ෂණ සංවිධානය පෙන්වා දෙයි.

"මැතිවරණයට ඉදිරිපත්වීමේ පුරවැසි අයිතිය පිළිගන්නා අතරම ඇතැම් දේශපාලන පක්‍ෂ සහ විශේෂයෙන්ම ඇතැම් ස්වාධීන කණ්ඩායම් ඉදිරිපත් වී ඇත්තේ තම කණ්ඩායමේ ජයග‍්‍රණය අපේක්‍ෂාවෙන් නොව වෙනත් දේශපාලන පක්‍ෂයක අපේක්‍ෂකයකු වෙනුවෙන් ඡන්දපොල නියෝජිතයින් පත් කිරීමට, ඡන්ද ගනන් කිරීමේ මධ්‍යස්ථාන නියෝජිතකම ලබාගැනීමට සහ ප‍්‍රචාරක අවස්ථා ලබාගැනීමට බව පැහැදිලිය," යනුවෙන් ද පැෆරල් සංවිධානය නිකුත් කළ වාර්තාවේ දැක්වේ.

"මෙම පුද්ගලික අරමුණු ඉටුකිරීම සඳහා ඡන්ද පත‍්‍රිකාවේ දිග වැඩි කිරීමේ සිට විශාල අතිරේක වියදමක් සහ ශ‍්‍රමයක් වැය කිරීමට මැතිවරණ කොමිෂන් සභාවට සිදුවී ඇත."

අලුත් මුහුණු

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ දේශපාලන ආගමනය වෙනුවෙන් ක්‍රියා කළ වියත් මග සංවිධානයේ සාමාජිකයින් කිහිප දෙනෙකු ද මෙවර මැතිවරණ සටනට එක් වී සිටිති.

මහාචාර්ය චරිත හේරත්, ආචාර්ය නාලක ගොඩහේවා, විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොළ ඒ අතර සිටිති.

මාධ්‍යවේදී විමල් කැටිපෙආරච්චි සහ නීතිවේදිනී සරෝජා පෝල්රාජ් ජාතික ජන බලවේගයෙන් තරඟ වදිති.

නිපුන රණවක, මධු මාධව අරවින්ද, ඉසුරු දොඩන්ගොඩ පොදුජන එක්සත් පෙරමුණෙන් ද, තිළිණ බණ්ඩාර තෙන්නකෝන් සමගි ජන බලවේගයෙන් ද, පිල්ලෙයාන් හෙවත් සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් තමිල් මක්කල් විඩුතලෙයි පුලිගල් පක්ෂයෙන් සහ සමන්ත බණ්ඩාර අබේවික්‍රම ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයෙන් ද ඉදිරිපත් වී සිටිති.

විවිධ පක්ෂ නියෝජනය කරමින් සහ ස්වාධීන කණ්ඩායම්වලින් භික්ෂූන් වහන්සේ විශාල පිරිසක් මෙවර තරඟ වැදී සිටීම ද විශේෂත්වයකි.

අපේක්ෂකයින්ට ආචාර ධර්ම

මෙවර පාර්ලිමේන්තුවට තේරී පත්වන මන්ත්‍රීවරුන්ගෙන් කිසිවකු හෝ අපරාධවලට සම්බන්ධ වී තිබුණේ නම් ඒ පිළිබඳ දැක්වෙන වෙබ් අඩවියක් ආරම්භ කිරීමට CMEV හෙවත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය තීරණය කොට තිබේ.

මේ අතර මෙවර මහ මැතිවරණයට තරඟ වදින අපේක්ෂකයින් විසින් අනුගමනය කළ යුතු ආචාර ධර්ම පද්ධතියක් ද ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත්කරනු ලැබ තිබේ.

කොරෝනාවෛරස වසංගතය සමයේ ඇතැම් මාධ්‍යවල පක්ෂග්‍රාහී වාර්තාකරණය සම්බන්ධයෙන් ද CMEV ආයතනය අනතුරු අඟවා තිබිණි.

'ඉතිහාසයේ වෙනස් ආකාරයේ මැතිවරණයක්'

වසංගතයකින් අනතුරුව පැවැත්වෙන මහ මැතිවරණයේ දී සමාජ මාධ්‍ය පිළිබඳ සිය නිරීක්ෂණ ඉදිරිපත් කරමින් සමාජ මාධ්‍ය විශ්ලේෂකයෙකු වන, ග්‍රවුන්ඩ්වීව්ස් වෙබ් අඩවියේ හිටපු කර්තෘ සංජන හත්තොටුව පවසන්නේ මෙවර මැතිවරණ ක්‍රියාවලිය පැවැත්වෙන්නේ අන් කවරදාටත් වඩා ඉතා වෙනස් ආකාරයකට බවය.

විශේෂයෙන්ම මැතිවරණ ප්‍රචාරණ ක්‍රියාවලියේ දී දැන්වීම් සහ වේදිකාවට වඩා අන්තර්ජාලය සහ සමාජ මාධ්‍යවලට මෙවර ප්‍රමුඛත්වය හිමිවන බව ඔහු පෙන්වා දෙයි.

එහිදී ප්‍රසිද්ධියේ දැකගත හැකි සමාජ මාධ්‍ය ජාල ප්‍රචාරණ මෙන්ම විශේෂයෙන්ම වයිබර්, වට්ස්ඇප් හෝ ෆේස්බුක් ගෲප් වැනි කිසියම් පිරිසක් තෝරාගෙන, ලෙහෙසියෙන් දැකබලා ගත නොහැකි ආකාරයට කෙරෙන (targetted marketing) සමාජ මාධ්‍ය ජාල ප්‍රචාරණවලට ද ප්‍රමුඛත්වය හිමිවන බව පවසන සංජන හත්තොටුව පෙන්වා දෙන්නේ එය නිරීක්ෂණය කිරීම ඉතා අපහසු බැවින් එය "භයානක" ක්‍රියාවලියක් බවය.

මේ තත්ත්වය යටතේ විශේෂයෙන්ම සමාජ මාධ්‍ය නිරීක්ෂණය සඳහා විශේෂ වැඩපිළිවෙලක් සැළසුම් කර තිබෙන බව පැෆරල් සංවිධානය පවසයි. ඒ අනුව

  • වෛරී ප‍්‍රකාශ
  • සාවද්‍ය තොරතුරු
  • නිවැරදි තොරතුරු වැරදි ලෙස අර්ථ නිරූපනය
  • ජාති, ආගම්, දේශපාලන කටයුතු සඳහා භාවිතය

යන කරුණු පිළිබඳ විශේෂ අවධානයක් යොමු කෙරෙන නිරීක්ෂණ දෛනිකව මැතිවරණ කොමිෂන් සභාව වෙත යොමු කොට මැතිවරණ කොමිෂන් සභාවේ අධික්ෂණයෙන් අනතුරුව අවශ්‍ය කටයුතු සඳහා Facebook ආයතනය වෙත යොමු කරන බවත් පැෆරල් ආයතනය පවසයි.

කාන්තා නියෝජනය

1931 දී ශ්‍රී ලංකාවට සර්වජන ඡන්ද බලය ලැබුණු අවස්ථාවේ සිට කාන්තාවන් පාර්ලිමේන්තුව නියෝජනය කර තිබෙන නමුත් සමස්තයක් ලෙස එවක් පටන් මේ දක්වා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගෙන් අති බහුතරය පුරුෂයින්ය.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නිල වෙබ් අඩවියේ දැක්වෙන අන්දමට එතෙක් මෙතෙක් එකවර පාර්ලිමේන්තුව නියෝජනය කළ වැඩිම කාන්තාවන් පිරිස 13 කි. එය සමස්ත මන්ත්‍රී සංඛ්‍යාවෙන් 5.7% ක ප්‍රතිශතයකි.

මේ අතර කාන්තා සංවිධාන 16 ක සහ කාන්තා හිමිකම් ක්‍රියාකාරිනියන් 106 දෙනෙකුගේ සහය සහිතව කාන්තාව සහ මාධ්‍ය සාමූහිකය විසින් ප්‍රකාශයට පත් කරනු ලැබ තිබෙන 'ස්ත්‍රීන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය' මගින් මෙවර මැතිවරණයේ දී කාන්තාවන්ගේ ඉල්ලීම් 83 ක් ඉදිරිපත් කොට තිබේ.

විශේෂයෙන්ම:

  • 20 දෙනෙකු නොඉක්මවන අමාත්‍ය මණ්ඩලයක අවම වශයෙන් 25% ක් වත් ස්ත්‍රීන්ගෙන් සමන්විත විය යුතු බව
  • පාර්ලිමේන්තුව ඇතුළු තීරණ ගැනීමේ සියලු ව්‍යහයන් තුළ අවම වශයෙන් 25% ක් කාන්තාවන් සඳහා වෙන්විය යුතු බව
  • 19 වන ව්‍යවස්ථා සංශෝධනයේ ප්‍රතිපාදන ආරක්ෂා කිරීමට කැපවීම සහ එම සංශෝධනය යටතේ ස්ත්‍රී කොමිසමක් පිහිටුවීම
  • "කාන්තාවන්ට එරෙහි සියලු ආකාරයේ වෙනස්කම් තුරන් කිරීමේ ජාත්‍යන්තර සම්මුතිය" ඇතුළු සියලු ජාත්‍යන්තර ප්‍රඥප්තීන් නීතිගත කිරීම
  • මුස්ලිම් කාන්තාවන්ගේ ඉල්ලීම් ප්‍රකාර මුස්ලිම් විවාහ හා දික්කසාද පනත සංශෝධනය කිරීම
  • ස්ත්‍රීන්ට එරෙහි ප්‍රචණ්ඩත්වයෙන් ඔවුන් ආරක්ෂා කිරීම පිණිස සහ ලිංගික හා ප්‍රජනන සෞඛ්‍ය අයිතිවාසිකම් රැකීමට පියවර ගැනීම

ඇතුළු ඉල්ලීම් 83ක් එයට ඇතුළත් වේ.

කියවන්න: