වැලිකඩ ඝාතන නඩුව: 'නීතියේ සීමාව තුළ සිටින්න' - විත්තිකරුවන්ට අවවාද

Welikada Prison

ඡායාරූප මූලාශ්‍රය, AFP

නීතිය සීමාව තුළ රැඳී සිටිමින් කටයුතු නොකරන්නේ නම් දැනට නියම කර ඇති ඇපය අවලංගු කොට රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට සිදුවිය හැකි බවට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල වැලිකඩ සිරකරු ඝාතන නඩුවේ විත්තිකරුවන්ට අවවාද කළේය.

මෙම අවවාදය කරනු ලැබුවේ, එම නඩුව විභාග කරන ගිහාන් කුලතුංග, ප්‍රදීප් හෙට්ටිආරච්චි සහ මංජුල තිලකරත්න ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල විසිනි.

වැලිකඩ සිරකරු ඝාතන නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේදී පැමිණිල්ල මෙහෙයවන රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ඩිලාන් රත්නායක අධිකරණය හමුවේ කරුණු දක්වමින්, මෙම නඩුවේ විත්තිකරුවන් ලෙස නම් කර සිටින පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ හිටපු පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව සහ හිටපු බන්ධනාගාර කොමසාරිස් වරයෙකු වන එමිල් රංජන් ළමාහේවා යන අය දේශපාලන පලිගැනීම් පිළිබඳ සොයා බලන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි දීමෙන් අනතුරුව පිටතට පැමිණ මාධ්‍ය වෙත සිදු කරන ලද ප්‍රකාශ පිළිබඳව අධිකරණයේ අවධානය යොමු කළේය.

එම ප්‍රකාශ තුළින් විත්තිකරුවන් දෙදෙනා අධිකරණයට අපහාසයක් සිදු කර ඇති බව පෙන්වා දුන් රජයේ නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් වරයා මේ හරහා පැමිණිල්ලට දැඩි අගතියක් සිදු වන බව ද අවධාරණය කළේය.

වීඩියෝ ශීර්ෂ වැකිය, Some of the prisoners killed were still awaiting trial

ඒ සම්බන්ධයෙන් විත්තිකරුවන්ට එරෙහිව සුදුසු ක්‍රියාමාර්ග ගන්නා ලෙස රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල, නීතිය මගින් නියම කර තිබෙන සීමාවන් තුළ සිටිමින් කටයුතු කරන ලෙස විත්තිකරුවන්ට තරයේ අවවාද කළේය.

එසේ නොකරන්නේ නම් දැනට නියම කර ඇති ඇප අවලංගු කොට රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට සිදුවන බවට ද අධිකරණය විත්තිකරුවන්ට වැඩිදුරටත් අවවාද කළේය.

මොකක්ද මේ වැලිකඩ ඝාතන නඩුව?

2012 වසරේ නොවැම්බර් නව වෙනිදා කොළඹ වැලිකඩ සිරගෙය තුළට ඇතුල් වූ තුන්සීයක් පමණ කණ්ඩායමකින් සැදුම් ලත් පොලිස් විශේෂ කාර්ය බලකායේ (STF) භටයන් පිරිසක් සිරකුටි තුළට යමින් සෝදිසි මෙහෙයුමක් ආරම්භ කළහ.

තුවාලකරුවෙක් රෝහල කරා ගෙන යමින්
ඡායාරූප ශීර්ෂ වැකිය, ගැටුමෙන් තුවාල ලැබූවෙක් රෝහල කරා ගෙන යමින්

සිරකරුවන් අත ඇති අනවසර අවි ආයුධ අත්අඩංගුවට ගැනීම එම සෝදිසි මෙහෙයුමේ අරමුණ වූ බව ප්‍රකාශ විණි.

පළමුව, දරුණු අපරාධකරුවන් රඳවා තබන වැලිකඩ 'එල්'(L) වාට්ටුව පරීක්ෂා කරමින් සිරකරුවන්ට තහනම් ජංගම දුරකථන ආදිය තමන් භාරයට ගත් විශේෂ කාර්ය බලකාය, ඉන් අනතුරුව මරණ දඬුවමට යටත් කරන ලද, එසේම ජීවිතාන්ත හෝ දීර්ඝ කාලීන සිර දඬුවම් නියමවූවන් රඳවනු ලබන 'චැපල් වාට්ටුව' නමින් හැඳින්වෙන සිරමැදිරි කරා ඇතුල් වීමත් සමඟ තත්වය නරක අතට හැරුණි.

එම සිර මැදිරිවල රඳවනු ලැබ සිටි සිරකරුවන්ට මාංචු දමා සෝදිසි කිරීම සැලැස්ම වුවත් සිරකරුවන් ඊට එරෙහිවීමත් සමඟ එය ගැටුමක් බවට පෙරළුණ බව ඇතැම් රැඳවියෝ පැවසූහ.

එවැනි වාතාවරණයක් තුළ නොවැම්බර් නව වෙනිදා සවස එකයි තිහට පමණ ආරම්භ වූ සෝදිසි මෙහෙයුම අවසන් වූයේ මරණ විසි හතකින් සහ හතළිහකට අධික සිරකරුවන් පිරිසක් මරණීය නොවන මට්ටමේ තුවාල ලැබීමෙනි.

'2012 වැලිකඩ බන්ධනාගාර කැරැල්ල' ලෙස එය සමාජගත වූ අතර, පසුව එය ජාත්‍යන්තර වශයෙන් පවා සාකච්ඡාවට ලක්වෙමින් පවතින මාතෘකාවක් බවට පත්විය.

එසේම 1983 ජූලි කෝලාහල සමයේ දමිළ සිරකරුවන් මරා දමනු ලැබීමේ ප්‍රහාරයෙන් පසු සිදු කරන ලද දරුණුතම ප්‍රහාරය ලෙසත් එය හඳුන්වා දෙනු ලැබ ඇත.

1983 ප්‍රහාරයේ දී වැලිකඩ සිර ගෙය තුළ මරා දමන ලද දමිළ සිරකරුවන්ගේ සංඛ්‍යාව පනස් තුනකි.

2012 දී එම ඝාතන සිදු කෙරෙන විට වැලිකඩ සිරගෙය තුළ හාර දහසක් පමණ රැඳවියන් වූ බව වාර්තා වී ඇත.

බලධාරීන්ගේ ප්‍රතිචාරය

වැලිකඩ බන්ධනාගාරයේ සිර මැදිරි තුලට තහනම් භාණ්ඩ ගෙන ගොස් ඇති බවට ලැබුණු තොරතුරු අනුව නොවැම්බර් 09 සිකුරාදා පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් සමග වැටලීමක් දියත් කළ බව එවක අධිකරණ අමාත්‍යංශයේ ස්ථිර ලේකම්වරයා වූ ජීඑස් විතානගේ මීට ඉහතදී බීබීසී සිංහල සේවය කළ විමසීමක දී සඳහන් කළේය.

පරීක්ෂාවට ලක් කෙරුණ අංශ දෙකේ පමණක් දහසකට වැඩි රැඳවියන් පිරිසක් සිටි බව පැවසූ ලේකම්වරයා, බන්ධනාගාර නිලධාරීන් තුන් සියයකට හෝ හාර සියයකට ඒවා පරීක්ෂා කිරීමට හැකි තත්වයක් නොමැති හෙයින් ඒ සඳහා පොලිස් විශේෂ කාර්ය බලකායේ සහයෝගය ලබා ගැනීමට සිදු වූ බවත් සඳහන් කළේය.

පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් සමග සිර මැදිරි පරීක්ෂා කිරීමෙන් අනතුරුව එම මැදිරිවලින් එළියට පැමිණි පසු සිරකරුවන් ආයුධ ගබඩා අංක එක වෙත ගොස් අවි පැහැර ගත් බවත්, තත්ත්වය පාලනය කිරීමට කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කිරීමට සිදු වී ඇති බවත් ස්ථිර ලේකම්වරයා පැවසීය.

ගැටුම පැහැදිලි කළ සිරකරුවෙක්

2012 නොවැම්බර් 09 වෙනි දින ගැටුම සිදු වෙමින් පවතින අතරවාරයේ දුරකතනය මගින් බීබීසී සිංහල සේවයට කතා කළ වැලිකඩ රැඳවියෙක් එම සිදුවීම මෙසේ විස්තර කළේය.

වීඩියෝ ශීර්ෂ වැකිය, වැලිකඩ ගැටුම

"හවස එකයි තිහට - දෙකට වගේ STF එකෙන් ආවා. සෝදිසි කරන්න. ඔවුන් මුලින්ම 'එල්' හෝල් එක සෝදිසි කළා. ඊළඟට 'චැපල්'හෝල් එක සෝදිසි කරන්න පටන් ගත්තා. චැපල් එකේ සිටිය මරණ දඬුවම් කාරයන්ට මාංචු දාල සෝදිසි කරන්න හැදුවත් ඔවුන් එකට විරුද්ධ වුනා. එතකොට ඔවුන්ට පහර දුන්නා. ඊට පස්සේ හිරකාරයෝ කූඩුවලට දමල කඳුළු ගෑස් ගහන්න පටන් ගත්තා. එළියේ හිටපු මිනිස්සු ගල්වලින් ගහන්න පටන් ගත්තා. එතකොට STF එක එළියට ගිහින් හිරගේ ඇතුළට කඳුළු ගෑස් ගහන්න පටන් ගත්තා. මිනිස්සු කුපිත වුනා. ඔවුන් හිරගෙයි ගේට්ටුව කැඩුවා. දැන් මේවෙන කොට හිරකාරයන් අතේ අවි ආයුධ තියෙනවා. මානසික රෝගවලින් පෙළෙන හිරකාරයෝ අතෙත් ආයුධ තියෙනවා."

එම සිරකරුවා ඒ මොහොතේ තිබුණ තත්වය වැඩි දුරටත් විස්තර කළේ මෙසේය.

"දැන් රැඳවියන්ට ආරක්ෂාවක් නැහැ. මේ දැන් හිරගේ ඇතුළට වෙඩි තියනවා. සිංහල-දෙමළ- මුස්ලිම් වගේම ඉන්දියානු සහ පාකිස්තාන් හිරකාරයෝත් ඇතුළේ තුවාල වෙලා ඉන්නවා. අපිත් කොටුවෙලයි ඉන්නේ."

ජාත්‍යන්තර විභාගයක්

ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානවල අධීක්ෂණය යටතේ වැලිකඩ බන්ධනාගාරයේ ඝාතනයට ලක් වූ සිරකරුවන්ගේ මරණ පරීක්ෂණ පවත්වන ලෙස මානව හිමිකම් සංවිධාන එදා බලයේ සිටි ආණ්ඩුවෙන් ඉල්ලීමක් කර තිබුණි.

පොලිස් විශේෂ කාර්ය බලකාය තෝරාගත් සිරකරුවන් පමණක් මරා දමා ඇති බවට සමාජයේ සැකයක් මතුවී තිබෙන බව කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළ දේශපාලන සිරකරුවන් නිදහස් කර ගැනීමේ ව්‍යාපාරය, ඝාතන සම්බන්ධයෙන් සාධාරණය ඉටුකරගැනීම පිණිස එවක් පටන් උද්ඝෝෂණවල නිරතව සිටී.

එම ව්‍යාපාරයේ සභාපති නීතිඥ නාමල් රාජපක්ෂ මීට ඉහතදී සඳහන් කළේ, එම සැකය දුරු කිරීම පිණිස ජාත්‍යන්තර අධීක්ෂණය යටතේ පරීක්ෂණයක් අවශ්‍ය බවය.

මේ අතර වැලිකඩ මරණ සම්බන්ධයෙන් පරීක්ෂා කිරීම සඳහා කමිටු කිහිපයක්ම පත්කරන ලද අතර, හිටපු මහාධිකරණ විනිසුරු විමල් නම්බුවසම් යටතේ සිදුවූ ඒ සම්බන්ධයෙන් මෙතෙක් සිදු කෙරුණ පුළුල් විභාගයේ වාර්තාව රජය වෙත භාරදෙනු ලැබ ඇත.

මේ තොරතුරුද කියවන්න: