වැලිකඩ කාන්තා රැඳවියන්ගේ "කැරැල්ලෙන්" පිරිසකට තුවාල

වැලිකඩ බන්ධනාගාර පරිශ්‍රයේ කාන්තා රැඳවියන් අද දිනයේත් විරෝධතාවක් දියත් කළ අතර එහිදී ඇතිවූ උණුසුම් තත්ත්වය හමුවේ කීපදෙනෙක් තුවාල ලැබූහ.
මත්ද්‍රව්‍ය චෝදනා ලැබ සිටින රැඳවියෙකු කාන්තා අංශයෙන් වෙනත් ස්ථානයකට සඳුදා (20) මාරු කිරීමට පියවර ගැනීම නිසා මේ තත්ත්වය උද්ගත වූ අතර එය කළහකාරී ස්වභාවයක් ගත් බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.
"සිය දෙනෙකුගෙන් පමණ සමන්විත පිරිසක් සිරමැදිරි කඩාගෙන බන්ධනාගාරයේ දොරටුව අභියසට ඇවිත් නිලධාරීන්ට ගල් මුල් ප්‍රහාර එල්ල කළා," යැයි බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණිය බීබීසී සිංහල සේවයට පැවසීය.
එහිදී ඇතිවූ "කැරැල්ල" මර්දනය කිරීමට අවම බලය යෙදූ අතර, ඉන් අනතුරුව මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධ චෝදනාවලට ලක්ව සිටින කාන්තා රැඳවියන් පනස් දෙදෙනෙකු වෙනත් ස්ථානවලට මාරු කර යැවූ බව ද ඔහු කියා සිටියේය.
මේ අතර, එසේ මාරු කර යවන ලද කාන්තාවන් බන්ධනාගාර බස් රථවලින් ගෙන යන අතරේ හඬ නගමින් පැවසුවේ, "මුළු වාට්ටුවටම ගැහුවා" යනුවෙනි.
කෙසේවෙතත්, බන්ධනාගාරයේ හටගත් "කැරැල්ලේදී" කාන්තා රැඳවියන් තිදෙනෙකු මෙන්ම නිලධාරීන් අටදෙනෙකු තුවාල ලද බව බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණිය සඳහන් කළේය.
බන්ධනාගාරය තුළට තහනම් ද්‍රව්‍ය ගෙන ඒම පාලනය කිරීම සඳහා වරින් වර ගත් උත්සාහය සම්බන්ධයෙන් මෙම රැඳවියන් "උරණව සිටියා" යැයි කියා සිටි ඔහු, විවිධ ගැටලු ඇතිකරමින් බන්ධනාගාර පරිපාලනය අපහසුතාවට පත් කිරීමේ උත්සාහයක ඔවුන් යෙදුනු බව ද කියා සිටියේය.
දුරකතන ඇතුළු එවැනි තහනම් දේ බන්ධනාගාරය තුළට ඒම සම්බන්ධයෙන් නිලධාරීන්ට ද චෝදනා එල්ල වනවා නොවේදැයි බීබීසී සිංහල සේවය නැගූ ප්‍රශ්නයට ප්‍රතිචාර දැක්වූ බන්ධනාගර කොමසාරිස්වරයා, "ඔව්, ඇතැම් නිලධාරීන් සම්බන්ධයි කියල අපිට වාර්තා ලැබිලා තියෙනවා," යැයි සඳහන් කළේය.
"බන්ධනාගාරය පිහිටලා තියෙන්නේ නාගරික, පැල්පත්වාසීන් සිටින ප්‍රදේශයක. දෛනිකව සම්බන්ධතා පවත්වා ගනිමින් කාන්තා අංශයේ තාප්පයට ඉහළින් බහුතරයක් තහනම් ද්‍රව්‍ය කාන්තා අංශය වෙත එනවා" යනුවෙන් ද ඔහු කියා සිටියේය.
මේ තත්ත්වය සම්බන්ධයෙන් ගන්නා පියවර පැහැදිලි කළ බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණිය, මේ වනවිට අඟුණකොළපැලැස්ස බන්ධනාගාරය ද ඉදිකර ඇති බැවින් බොහෝදෙනා ඒ වෙත යවා වැලිකඩ රිමාන්ඩ් බන්ධනාගාරයක් ලෙසම පවත්වාගෙන යාමට අපේක්ෂා කරන බව සඳහන් කළේය.
මේ අතර පසුගිය 13 වෙනිදා ද කාන්තා රැඳවියන් එම සිරගෙදර විරෝධතාවක යෙදුනු අතර පිරිසක් එහි වහල මත නැගී උපවාසයක නිරත වූහ.
අධිකරණ ක්‍රියාමාර්ග කඩිනම් කරන ලෙස හා බන්ධනාගාරය තුළ පහසුකම් නංවන ලෙස බලධාරීන්ට බල කිරීම එහි අරමුණ විය.
එම අවස්ථාවේදී ඒ සම්බන්ධයෙන් කළ විමසීමට ප්‍රතිචාර දැක්වූ අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ මාධ්‍ය ලේකම්, නලින් රාජපක්ෂ බීබීසී සිංහල සේවයට පැවසුවේ මිට අමතරව වෙනත් හේතුවක් තිබෙන්නේ යයි තමන් විශ්වාස කරන බවය.
"අපි පහුගිය සතියේ මෙතන හිටපු ජේලර්තුමිය මාරු කළා. එයාගෙ අදෘෂ්‍යමාන හස්තයක් කියල තමයි අපි නම් විශ්වාස කරන්නෙ," යැයි ඔහු කියා සිටියේය.
කෙසේවෙතත්, බන්ධනාගාරය තුළ එවැනි උද්ඝෝෂණයක් පැවැත්වෙද්දී සිරකරුවන් නිදහස්කරගැනීමේ සංවිධානය නම්වූ සංවිධානයක පිරිසක් ද වැලිකඩ බන්ධනාගරය ආසන්නයේ උද්ඝෝෂණයක යෙදෙමින් පෙන්වාදුන්නේ කාන්තා රැඳවියන්ට එහි සැපයෙන්නේ ඉතා අඩු පහසුකම් බවය. ඔවුන්ට නිසා "කැසිකිළි, වැසිකිළි පහසුකම්" පවා නැති බව එම සංවිධානය පවසයි.
සඳුදා ඇතිවූ කලහකාරී තත්ත්වයට වැඩිපුර සම්බන්ධව සිටියේ රිමාන්ඩ් භාරයට පත්කරන ලද කාන්තා රැඳවියන් බව බන්ධානාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණිය සඳහන් කළේය.











