ශ්‍රීලංකාවේ ප්‍රථම "අන්තර්ජාතික ප්‍රමිතියේ" බන්ධනාගාරයේ දොර හැරේ

නව බන්ධනාගාරය ඉදිකෙරුනේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ අඟුණකොළපැලැස්සේදීය.
බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය ඩි.එම්. ස්වමිනාදන්ගේ ප්‍රධානත්වයෙන් එය විවෘත කෙරිණි.
මෙම බන්ධනාගාරය විවෘත කිරීම සඳහා මේ වසර මුලදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනට ආරාධනා කෙරුනද ඔහු ප්‍රසිද්ධියේ ම එය ප්‍රතික්ෂේප කර තිබුනේ පාසල් විවෘත කර බන්ධානාගාර වසා තබන තත්ත්වයක් රට තුළ ඇති කළ යුතු බව පවසමිනි.

රුපියල් මිලියන 4996ක් වියදම් කර ඉදිකර තිබෙන නව බන්ධනාගාර සංකීර්ණය අන්තර්ජාතික ප්‍රමිතින්ට අනුව සිරකරුවන්ට සැපයිය යුතු සියලු පහසුකම්වලින් සමන්විත බව බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය නිවේදනය කළේය.
අක්කර 65ක් පුරා විහිදී තිබෙන බන්ධනාගාර සංකීර්ණය තුළ 1,500ක් වූ රැඳවියන් පිරිසකට සෑහෙන ඉඩකඩ ඇත. බන්ධනාගාර රෝහලක්, වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයක් මෙන්ම කර්මාන්ත අංශයක්ද මීට අයත් අංග අතර වේ.
මෙම පරිශ්‍රයට අයත් මීටර් 400 ධාවන පථයක් සහිත නවීන ක්‍රීඩා පිටිය, පිහිනුම් තටාකය මෙන්ම ගෘහස්ථ ක්‍රීඩාගාරය ප්‍රදේශයේ පාසල් වලටද භාවිත කළ හැකි වැඩසටහනක් සකස්කරන බව බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය සඳහන් කළේය.

අවන්හලක්, භෝජනාගාරයක්, අමුත්තන්ගේ කාමර හා දේශනා ශාලාද මෙහි පහසුකම් අතරට අයත්වේ.
දැනට තංගල්ල බන්ධනාගාරයේ සිටින සිරකරුවන් මෙම ස්ථානයට මාරු කර තංගල්ල බන්ධනාගාරය වසා දැමීමට නියමිත අතර මේවන විට අධික තදබදයක් පවතින බව පවසන වැලිකඩ බන්ධනාගාරයේ සිරකරුවන් පිරිසක්ද මෙම ස්ථානයට මාරු කිරීමට නියමිතය.

පසුගිය ආණ්ඩුව සමයේ ඉදිකිරීම් ඇරඹුණු මෙම බන්ධනාගාරය විවෘත කිරීමට ඉඩ නොදෙන බව හම්බන්තොට දිස්ත්‍රික්කය නියෝජනය කරන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මේ වසර මුලදී කියා සිටියේය. ඒ එමගින් සිරකරුවන්ගෙන් බහුල ප්‍රදේශයක් බවට අඟුණකොළපැලැස්ස පත්වන බව පවසමිනි.
"අඟුණකොළපැලැස්සේදී මේ බන්ධනාගාරය දැම්මට පස්සේ වැලිකඩට උන දේ තමයි මෙහාට වෙන්නේ. කුඩු කාරයෝ කුඩු මුදලාලිලා මෙහෙ ඇවිත් පදිංචි වේවි" යැයි ඔහු එවර පැවසීය.
සබැඳි යොමු :









