ඉරාක සහාය ලබන සටන්කාමීන්ට අමෙරිකාවෙන් ප්‍රති ප්‍රහාර

සිය හමුදා වෙත එල්ලවූ රොකට් ප්‍රහාරයකට එකටෙක කිරීමක් ලෙස ඉරාකයේ සිටින ඉරාන හිතවාදී සන්නද්ධ කණ්ඩායමක් වෙත ඇමෙරිකාව ගුවන් ප්‍රහාරයක් එල්ල කරනු ලැබීය.

ඇමරිකානු භටයින් වෙත එල්ල වූ රොකට් ප්‍රහාරයේදී සෙබළුන් දෙදෙනෙක් මිය ගියහ.

ඉරාකයේ පිහිටි අවි ගබඩා පහක් සිය ගුවන් ප්‍රහාරයට ඉලක්ක වූ බව එක්සත් ජනපද ආරක්ෂක දෙපාර්තමේන්තුව පැවසීය.

කෑම්ප් ටාජි හමුදා කඳවුර වෙත බදාදා එල්ල වූ රොකට් ප්‍රහාරයෙන් ඇමෙරිකානුවන් දෙදෙනෙක් මෙන්ම බ්‍රිතාන්‍ය සෙබලෙක් ද මිය ගියහ.

ඇමෙරිකානු ගුවන් ප්‍රහාරයෙන් ඉරාක සෙබළුන් තිදෙනෙකු, පොලිස් නිලධාරීන් දෙදෙනෙකු මෙන්ම සිවිල් වැසියෙකු ද මිය ගිය බව ඉරාක හමුදාව පැවසීය.

ඔවුන් වැඩිදුරටත් කියා සිටියේ, බාබිල් පළාතේ පිහිටි ඉරාක හමුදා පරිශ්‍ර මෙන්ම කර්බාලා පළාතේ ඉදිකෙරෙන ගුවන් තොටුපොළක් වෙත ඇමෙරිකාව "අශෝබන ප්‍රහාරයක්" එල්ල කළ බවය. නිල වශයෙන් ඉරාක ආරක්ෂක හමුදාවල කොටසක් වන Popular Mobilisation (PM) නම්වූ සන්නද්ධ බලමුළුවේ මූලස්ථානය ද ප්‍රහාරයට ලක්වූ බව කියැවිණි.

PM සන්නද්ධ බලමුළුවට අයත් බලගතුම කණ්ඩායමක් වන කටායිබ් හෙස්බොල්ලාහ් කණ්ඩායම විසින් රොකට් ප්‍රහාරය එල්ල කරනු ලබන්නට ඇති බව මීට පෙරදී ඇමෙරිකානු අණදෙන නිලධාරිවරයෙකු පැවසීය.

"ඉරානයේ සහය ලබන කටායිබ් හෙස්බොල්ලාහ්, ඉරාකයේ සිටින එක්සත් ජනපද හා සන්ධාන හමුදාවලට එරෙහිව මීට ඉහතදී මෙවැනි පරිමාණයේ ප්‍රහාරයක් එල්ල කළ එකම කණ්ඩායම ලෙස හඳුනාගෙන තිබුණා." යැයි ඇමෙරිකානු මධ්‍යම අණදෙන ඒකකයේ ප්‍රධානී ජෙනරල් කෙනත් මැකෙන්සි එරට සෙනෙට් කමිටුව හමුවේ කියා සිටියේය.

ඉරාකය තුළ සන්ධාන හමුදා රැඳවු කඳවුරු වෙත පසුගිය වසරේදී මෙවැනි ප්‍රහාර 13 ක් එල්ල කිරීම සම්බන්ධයෙන් ඉරාන සහය ලබන සන්නද්ධ කණ්ඩායම් ඇමෙරිකාවේ දෝෂ දර්ශනයට ලක් වූහ.

පසුගිය දෙසැම්බරයේ එවැනි එක් ප්‍රහාරයකදී ඇමෙරිකානු සිවිල් වැසියකු මරණයට පත්වීම ප්‍රචණ්ඩ ක්‍රියා මාලාවකට තුඩු දුන්නේය. එය කූටප්‍රාප්තිය වූයේ, ඊට පසු මාසයේදී ප්‍රධාන පෙළේ ඉරාන ජෙනරාල්වරයකු වූ කාසෙම් සොලෙයිමානි හා කටායිබ් හෙස්බොල්ලාහ් අණදෙන නිලධාරී අබු මෙහ්දි අල්-මුහන්දිස් ඝාතනය කරන ලෙස ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අණ කිරීමය.

ඇමෙරිකානු - ඉරාන ගැටුමට ඉරාකය ඈඳුනේ ඇයි?

පසුගිය වසරේදී දෙපාර්ශවය අතර තත්ත්වය උත්සන්න වූයේ, ඉරානයට සම්බන්ධතා ඇති සටන්කරුවන් විසින් ඇමෙරිකානු හමුදා සහ සිවිල් වැසියන් ඉලක්ක කර රොකට් ප්‍රහාර එල්ල කිරීමෙන් අනතුරුවය. එසේම සටන්කරුවන්ගේ පරිශ්‍ර මෙන්ම ඉරාන නිලධාරීන් ඉලක්ක කෙරුණු ප්‍රකාශයට පත් නොවූ ගුවන් ප්‍රහාර ද ඉරාකයේදී එල්ල විණි.

පසුගිය දෙසැම්බරයේදී ඉරාකයේ හමුදා කඳවුරකට එල්ල වූ රොකට් ප්‍රහාරයකින් ඇමෙරිකානු සිවිල් කොන්ත්‍රාත්කරුවකු මිය ගියේය. ඒ සම්බන්ධයෙන් කටායිබ් හෙස්බොල්ලාහ් වෙත දොස් පැවරූ ඇමෙරිකාව ඉරාකයේ හා සිරියාවේ පිහිටි එම කණ්ඩායමට අයත් කඳවුරු වෙත ගුවනින් පහර දුණි. එම ප්‍රහාරවලදී අවමතරමින් සටන්කරුවන් 25 දෙනෙක් මිය ගියහ.

ඉන් අනතුරුව බැග්ඩෑඩ් හි පිහිටි ඇමෙරිකානු තානාපති කාර්යාලයට විරෝධතාකරුවන් පහර දුන් පසු ජනාධිපති ට්‍රම්ප් ඉරානයට අනතුරු අඟවමින් පැවසුවේ "ඉතා විශාල වන්දියක්" ගෙවීමට සිදුවනු ඇති බවකි.

මේ ගැනත් කියවන්න:

ජනවාරි 3 වෙනිදා ඩ්‍රෝන ප්‍රහාරයක් දියත් කර බැග්ඩෑඩ් ගුවන්තොටුපොළ ආසන්නයේදී ජනරාල් කාසෙම් සොලෙයිමානි මරා දැමීමට අණ දුන්නේය. සොලෙයිමානි, ඉරානයේ ඉරාන ඉස්ලාමීය විප්ලවීය හමුදාවේ විශේෂ අංශය වන කුඩ්ස් හමුදාවේ අණදෙන නිලධාරියා මෙන්ම මැද පෙරදිග කලාපය තුළ ඉරාන ප්‍රතිපත්තියේ නිර්මාපකයා ද විණි. ඒ සමග කටායිබ් හෙස්බොල්ලාහ් අණදෙන නිලධාරී අබු මෙහ්දි අල්-මුහන්දිස් ද මරා දැමිණි.

ඉන් දින පහකට පසුව ඉරාකයේ ඇමෙරිකානු හමුදා සිටින කඳවුරු වෙත ඉරානය බැලිස්ටික් මිසයිල ප්‍රහාර දියත් කළේය. ඒ හේතුවෙන් 100 ට අධික ඇමෙරිකානු හමුදා සෙබළුන් පිරිසක් කම්පනවලින් හටගන්නා මොළයේ ආබාධවලට ලක්වූහ.

එම මිසයිල ප්‍රහාරය ඇමෙරිකාවට එල්ල කළ "කම්මුල් පහරක්" කී ඉරානයේ අධ්‍යාත්මික නායක අයතොල්ලා අලි කමෙනෙයි කලාපය තුළ ඇමෙරිකානු රැදීම අවසන් කරන බවට ශපථ කළේය.

ඇමෙරිකානු සෙබළුන් 5000ක් පමණ හා තවත් රටවලින් සිය ගණනක් ඉරාකයේ රැදී සිටිති. ඉරාක ආණ්ඩුවේ ඉල්ලීම මත එම හමුදා යොමු කර ඇතත් සොලෙයිමානි ගේ ඝාතනයෙන් අනතුරුව පාර්ලිමේන්තුවේ සම්මත කරන ලද පනතකින් එම ඉල්ලීම අවලංගු කරනු ලැබීය.