ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
"ශ්‍රී ලංකාවේ කොරෝනාවෛරසය පැතිරීම පාලනය කරලා": චීන කාන්තාව සම්පූර්ණ සුවය ලබයි
- Author, කුමුදු ජයවර්ධන
- Role, BBC සිංහල සේවය
ශ්‍රී ලංකාව තුළ නව කොරෝනාවෛරසය පැතිර යාම පාලනය කර ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය සුදත් සමරවීර පවසයි.
බීබීසී සිංහල සේවය කළ විමසීමකදී ඔහු ප්‍රකාශ කළේ, මීට පෙර හමුවූ වෛරසය ආසාදිත චීන ජාතික කාන්තාව හැර වෙනත් කිසිදු ආසාදිතයෙකු මෙතෙක් හමුවී නොමැති බවය.
"මේ වෙනකොට ශ්‍රී ලංකාවේ කොරෝනාවෛරසය පැතිරීම පාලනය කරල තියෙන බව කියන්න පුළුවන්. අපි සියලු ක්‍රියාමාර්ග අරගෙන තියෙනවා වෛරසය පැතිරීම වළක්වන්න."
නව කොරෝනාවෛරසය ආසාදිත තවත් පුද්ගලයින් ශ්‍රී ලංකාවෙන් හමුවී ඇති බවට පළ වී ඇති "අසත්‍ය ප්‍රකාශ පදනම් විරහිත" බව ද වසංගත රෝග විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂවරයා පැවසීය.
"මෙවැනි අසත්‍ය ප්‍රචාර පතුරුවා හැරීම මෙබඳු සංවේදී මොහොතක කිසිසේත් ම නොකළ යුතු," බව වසංගත රෝග විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය සුදත් සමරවීර සඳුදා (පෙබ: 10) නිකුත් කළ නිවේදනයක දැක්විණි.
චීන කාන්තාවගේ තත්ත්වය
නව කොරෝනාවෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වූ චීන කාන්තාව මේ වන විට සම්පූර්ණයෙන් සුවය ලබා ඇතැයි වසංගත රෝග විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය සුදත් සමරවීර බීබීසී සිංහල සේවයට පැවසීය.
කෙසේ වෙතත් ඇය තවමත් අයිඩීඑච් රෝහලේ නතර කර සිටින බව ඔහු සඳහන් කළේය.
"චීන කාන්තාව මේ වෙනකොට සම්පූර්ණයෙන් ම සුවය ලබලා ඉන්නේ. ඒත් අපි තවදුරටත් ඇයගේ සෞඛ්‍ය තත්ත්වය ගැන නිරීක්ෂණය කරමින් ඉන්නේ. ඒ නිසා තව ම රෝහලෙන් පිටවෙලා යන්න ඉඩ දුන්නේ නෑ."
දියතලාව රැඳවුම් මධ්‍යස්ථානයේ තත්ත්වය
මේ වන විට දියතලාව රැඳවුම් මධ්‍යස්ථානයේ පුද්ගලයින් 33 දෙනෙකු රැඳී සිටින අතර ඔවුන් සති දෙකක කාලයක් එහි රැඳී සිටිය යුතුය.
ඔවුන්ගේ සති දෙකක කාලය සම්පූර්ණ වන්නේ, ලබන සෙනසුරාදා (පෙබ: 15) දිනයේදීය.
ආරක්ෂක හමුදාවලට අනුයුක්ත වෛද්‍ය කාර්ය මණ්ඩලයක් යටතේ ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය දෛනිකව නිරීක්ෂණය කෙරෙන අතර ඒ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය නිරන්තර අවධානයෙන් පසුවෙයි.
"අපි නිතර ඒ ගැන අවධානයෙන් ඉන්නේ. මේ වන තෙක් දියතලාවේ සිටින කිසි ම පුද්ගලයෙකුට රෝග ලක්ෂණ තියෙන බව වාර්තා වෙලා නැහැ. සති දෙකක් ගත වෙන තුරු අපි ඔවුන්ව නිරීක්ෂණය කරනවා," වෛද්‍ය සුදත් සමරවීර සඳහන් කළේය.
මේ අතර, ශ්‍රී ලංකාවේ සේවය කරන චීන ජාතිකයින් ඔවුන් සේවය කරන සහ නවාතැන් ගෙන සිටින ස්ථානවලදී ම නිරන්තරයෙන් නිරීක්ෂණයට ලක්වන බව ඔහු පැවසීය.
ඒ සඳහා ප්‍රාදේශීය වෛද්‍ය පරීක්ෂකවරුන් යොදවා ඇති අතර රෝගීන් ඇත්නම් ඒ සම්බන්ධයෙන් කඩිනමින් දැනුම් දෙන ලෙසට උපදෙස් දී ඇතැයි ද වසංගත රෝග විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂවරයා පැවසීය.
චීනයේ තත්ත්වය
මේ වන විට කොරෝනාවෛරසය ආසාදනය වීමෙන් චීනයේ පමණක් වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 1016ක් දක්වා ඉහළ ගොස් තිබේ.
සඳුදා (පෙබ: 10) දිනයේදී චීනයේ හූබෙයි පළාතේ පමණක් ජීවිතක්ෂයට පත්වූ ආසාදිතයින් සංඛ්‍යාව 103 දෙනෙකි.
කෙසේ වෙතත්, චීනයෙන් වාර්තා වන ආසාදිතයින්ගේ යම් අඩුවක් දක්නට ලැබෙන බව චීන බලධාරීහු පවසති.
කොරෝනාවෛරසය පැතිර යාම පාලනය කිරීමට අපොහොසත් වීම නිසා චීනයේ ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයින් සංඛ්‍යාව 1000 ඉක්මවා යාමෙන් පසුව බලධාරීන් කිහිප දෙනෙකු තනතුරුවලින් ඉවත් කර තිබේ.
එලෙස ඉවත් කළ නිලධාරීන් අතර හූබෙයි සෞඛ්‍ය කමිටුවේ ලේකම් සහ එම කමිටුවේ ප්‍රධානියා ද වෙති.
තවදුරටත් කියවන්න.