ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
චීනය: 'ඉපදී පැය තිහයි - කොරෝනාවෛරසය වැළඳිලා'
උපත ලබා පැය තිහක් ගත වූ ළදරුවෙකුට කොරෝනාවෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී ඇති අතර, මෙතෙක් වාර්තා වූ ලාබාලතම කොරෝනාවෛරස් රෝගීයා බව චීන මාධ්‍ය වාර්තා කරයි.
වෛරසය පැතිරීම ආරම්භ වූ වූහාන් ප්‍රදේශයේ දී පෙබරවාරි දෙවෙනිදා මෙම දරුවා උපත ලැබීය.
දරුවා බිහි කිරීමට පෙර මවට කොරෝනාවෛරසය ආසාදනය වී තිබුණු බව පරීක්ෂණවලින් තහවුරු විය. නමුත් රෝගය සම්ප්‍රේෂණය වූයේ ගර්භාෂයේ ද නැතහොත් උපතින් පසු ද යන්න පැහැදිලි නැත.
වෛරසය හේතුවෙන් මියගිය පුද්ගලයින් 636 සහ ආසාදිතයන් 31,161 අතර ළමුන් දක්නට ලැබෙන්නේ අතළොස්සක් පමණි.
උපතේ දී කිලෝග්‍රෑම් 3.25 ක් බරැති දරුවා මේ වන විට ස්ථාවර තත්ත්වයේ පසුවන අතර නිරන්තරයෙන් නිරීක්‍ෂණය යටතේ පසු වේ.
ළදරුවෙකුට ආසාදනය වූයේ කෙසේද?
මෙය ගර්භාෂය තුළ දී වෛරසය ආසාදනය වූ අවස්ථාවක් විය හැකි බව වෛද්‍ය විශේෂඥයෝ පවසති.
"මවගෙන් දරුවාට ද කොරෝනාවෛරසය සම්ප්‍රේෂණය විය හැකි මාර්ගයක් ඇතැයි මෙය අපට මතක් කර දෙනවා," වුහාන් ළමා රෝහලේ නවජ වෛද්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රධාන වෛද්‍යවරයා වන සෙන්ග් ලින්ග්කොං රොයිටර් පුවත් සේවයට පැවසීය.
නමුත් දරුවා බිහි වූ පසු මව සමඟ සමීප සම්බන්ධතා පැවැත්වීමෙන් ද වෛරසය ආසාදනය විය හැකිය.
"මවගේ කැස්සෙන් පිට වූ වෛරසය සහිත බිඳිති ආශ්වාස කිරීමෙන් ළදරුවාට එය ආසාදනය වී තිබීමට බොහෝ දුරට ඉඩ තිබෙනවා," කොලොම්බියා විශ්ව විද්‍යාලයේ මේල්මෑන් මහජන සෞඛ්‍ය පාසලේ වසංගත රෝග විද්‍යා විශේෂඥ ස්ටීවන් මෝර්ස් බිස්නස් ඉන්සයිඩර් වෙත පැවසීය.
රැකවරණය නොමැතිව ආබාධිත තරුණයා මරුට
Cerebral Palsy හෙවත් මස්තිෂ්ක ආඝාතයෙන් පෙළුණ පිරිමි දරුවකුට සිටි එකම රැකවරණය වූ සිය පියාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි සැක පිට ඔහු නිරෝධායනය කිරීමට පියවර ගැනීමෙන් පසු එම දරුවා මිය ගිය පුවතක් ද වාර්තා විණි.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් චීන නිලධාරීන් දෙදෙනෙකු ඔවුන්ගේ තනතුරුවලින් පහ කර ඇත.
සිය පියා සහ සහෝදරයා නිරෝධායනය සඳහා යොමු කිරීමෙන් සතියකට පසු 16 හැවිරිදි යැන් චෙං මියගොස් සිටියේය.
මෙම කාලය තුළ ඔහුට ආහාර ලැබී ඇත්තේ දෙවරක් පමණක් යැයි වාර්තාවල සඳහන් වේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රාදේශීය කොමියුනිස්ට් පක්ෂ ලේකම් සහ හුආජියා නගරයේ නගරාධිපති යන දෙදෙනාම සේවයෙන් පහ කර ඇත.
යැන් චෙංගේ කතාව සමාජ මාධ්‍ය වෙබ් අඩවි වල ජනප්‍රිය මාතෘකාවක් බවට පත් විණි.
මෙම පවුල ජීවත් වූයේ කොරෝනාවෛරස් රෝගයේ කේන්ද්‍රස්ථානය ලෙස සැලකෙන චීනයේ මධ්‍යම හුබෙයි පළාතේය.
තම පුතාට ආහාර හෝ ජලය නොමැතිව තනි වී ඇතැයි පවසමින් අදාළ දරුවාගේ පියා චීන සමාජ මාධ්‍ය ජාලයක් වන වීබෝ හි උදව් ඉල්ලා සටහන් තබා ඇති බව එරට මාධ්‍ය වාර්තා කර තිබිණි.
මස්තිෂ්ක ආඝාතය යනු මුල් ළමාවියේදී දක්නට ලැබෙන රෝගී ලක්ෂණයක් වන අතර එය මාංශපේශි චලනයට සහ අන් අය සමඟ සම්බන්ධතා පැවැත්වීමට බලපායි. මෙහි රෝග ලක්ෂණ එකිනෙකාට වෙනස් වේ. කම්පන ඇතිවීම, තද හෝ දුර්වල මාංශ පේශි, ආහාර ගිලීමේ ගැටලු, පෙනීම, කථනය සහ ශ්‍රවණය යන රෝගී ලක්ෂණ පොදුවේ දැකිය හැකිය. කෙසේවෙතත්, මෙම රෝගයට ගොදුරු වූවන් දැඩි ආබාධිත තත්වයට පත්වේ.
තරුණයාගේ මරණය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන බව බලධාරීන් මින් පෙර ප්‍රකාශ කර තිබිණි.
කොරෝනාවෛරසය නිසා මෑතක දී සිදු වූ වෙනස්කම් මොනවාද?
ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) මෙම රෝගය ගෝලීය සෞඛ්‍ය හදිසි අවස්ථාවක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.
මාස තුනක ප්‍රතිචාර සැලැස්මක් වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 675ක අරමුදලක් සපයන ලෙස එහි ප්‍රධානී ටෙඩ්‍රොස් අදනොම් ගෙබ්‍රෙයිසස් බදාදා (පෙබරවාරි 5) ඉල්ලා සිටියේය.
අරමුදල්වලින් බහුතරය සැපයෙන්නේ වෛරසයෙන් ආරක්ෂා වීමට අවශ්‍ය රටවලටය. මුහුණු ආවරණ 500,000ක් සහ ශ්වසන යන්ත්‍ර 40,000ක් රටවල් 24කට යවනු ඇත.
වෙනත් සිදුවීම්:
- චීන පුරවැසියන් සඳහා වූ සියලුම වීසා බලපත්‍ර අවලංගු කිරීමට ඉන්දියාව ක්‍රියා කර ඇත. ඔවුන්ට නව වීසා බලපත්‍ර සඳහා අයදුම් කිරීමට සිදුවන අතර එය නැවත සලකා බලනු ලැබේ.
- ජපානයේ යොකොහාමා වරායේ නැංගුරම් ලා, නිරෝධායනය කරන තිබෙන නෞකාවක සිටි තවත් පුද්ගලයන් 10 දෙනෙකුට කොරෝනාවෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු විය. ඒ අනුව, නෞකාවේ සිටින කොරෝනාවෛරස ආසාදිතයන් සංඛ්‍යාව 20 දක්වා ඉහළ ගොස් තිබේ.හොංකොං හි ගොඩ බසින ලද පුද්ගලයෙකුට වෛරසය ආසාදනය වී ඇති බව සොයා ගැනීමත් සමඟ පුද්ගලයන් 3,700 ක් පමණ සිටින නෞකාව සම්පූර්ණයෙන් වසා දමා ඇත.
- හොංකොංහි නැංගුරම් ලා ඇති තවත් නෞකාවක සිටින පුද්ගලයන් 3,600ක් පමණ එම නෞකාවටම සීමා කර ඇත්තේ එහි පෙර සිටි පුද්ගලයන් තිදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබීම හේතුවෙනි.
- තායිවානය සියලු ජාත්‍යන්තර මගී නෞකා එරට නැංගුරම් ලෑම තහනම් කර ඇතැයි රොයිටර් පුවත් සේවය පවසයි. එමෙන්ම, චීනයේ ප්‍රධාන භූමි ප්‍රදේශයේ දිවිගෙවන පුද්ගලයන්ට තායිවානයට ඇතුළුවීම තහනම් කිරීමට පියවර ගෙන තිබේ.
- සෞදි අරාබිය සිය පුරවැසියන් සහ එරට පදිංචිකරුවන්ට චීනයේ සංචාරය කිරීම අත්හිටුවා තිබේ.
- වූහාන් සිට ගුවනින් රැගෙන එන ලද ඇමරිකානුවන් 350 ට ආසන්න පිරිසක් කැලිෆෝනියාවේ හමුදා කඳවුරු දෙකක නිරෝධායනය යටතේ ස්ථානගත කර ඇත.
- වෛරසය හේතුවෙන් සිය නිෂ්පාදනයක් වන 'මොඩල් 3' මෝටර් රථය චීනය තුළ බෙදා හැරීම ප්‍රමාද විය හැකි යැයි මෝටර් රථ නිෂ්පාදක ටෙස්ලා සමාගම අනතුරු ඇඟවීය.
ශ්‍රී ලංකාව තවදුරටත් 'සූදානමින්'
කොරෝනාවෛරසය පැතිරීම වැළැක්වීම සඳහා සඳහා රට තුළ ක්‍රියාත්මක කර ඇති සෞඛ්‍ය වැඩපිළිවෙළ පිළිබඳ පැහැදිළි කිරීමේ මාධ්‍ය සාකච්ඡාවක් අද (පෙබරවාරි 6) පැවැත්විණි.
"ජාතික ක්‍රියාකාරි කමිටුව හරහා ගුවන් තොටුපලවල් පමණක් නොව වරායත් සම්බන්ධ කර ගනිමින් නැව්වලින් එන අයත් අපි පරික්ෂාවට ලක් කරනවා," යැයි සෞඛ්‍ය සහ දේශිය වෛද්‍ය සේවා අමාත්‍ය පවිත්‍රා දේවී වන්නිආරච්චි මාධ්‍ය සාකච්ඡාවේ දී පැවසීය.
"නැව්වලින් එන අයගේ තොරතුරු ඇතුළත් කිරීමට පත්‍රිකාවක් ලබා දෙනවා. ඉන්පසු එම තොරතුරු පරිගණකයට ඇතුළත් කර මෘදුකාංගයක් මගින් ඔවුන් යන එන ස්ථානවල තොරතුරු පරික්ෂා කරනවා," අමාත්‍යවරිය තවදුරටත් පැවසීය.
කොරෝනා වෛරස ආසාදිතයන් දැනට ශ්‍රී ලංකාවෙන් හමු වී ඇත්තේ එක් අයෙකු පමණක් වන අතර, තවත් සැකකටයුතු රෝගීන් 16 දෙනෙකු රෝහල්වල පරික්ෂාවට භාජනය කර ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පැවසීය.