ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධයෙන් මියගිය දෙමළ වැසියන් සැමරේ
යුද සමයේ ජීවිතක්ෂයට පත් වූ දෙමළ වැසියන්ගේ නම් 25,000ක් ප්‍රදර්ශනය කොට ගෞරවය දැක්වීමේ වැඩසටහනක් අද දින (නොවැම්බර් 27) යාපනය නල්ලූර් ප්‍රදේශයේදී පැවැත්වුණ බව ප්‍රදේශවාසීහු පවසති.
හිටපු එල්ටීටීඊ නායකයෙකු වු දිලීපන් ජිවිතක්ෂයට පත්වු ස්ථානය ඉදිරිපස මෙම නාම පුවරු ප්‍රදර්ශනය කරමින් එයට මල් පහන් පුදා ගෞරවය දැක්වීමේ උත්සවයක් පවත්වා තිබේ.
යාපනය ආරක්ෂක අංශ පැවසුවේ යුද්ධයෙන් මියගිය එල්ටීටීඊ සාමාජිකයින්ගේ නම් ද ඇතුළු දෙමළ වැසියන්ගේ නම් මෙම පුවරුවේ සඳහන් කර ඇති බවය.
යුද්ධයෙන් මියගිය තැනැත්තන්ගේ ඥාතීන්ගේ සංසදය සහ උතුරු පළාත කේන්ද්‍ර කරගනිමින් පවත්වාගෙන යන සිවිල් සංවිධානවල එකමුතුවෙන් මෙම නාම පුවරුව සකසා ඇත.
එල්ටීටීඊ සංවිධානය ක්‍රියාකාරීව පැවති වකවානුවේ ද අදාළ ස්ථානයේ සිට මහවිරු දිනය සමරමින් යුද්ධයෙන් මියගිය පුද්ගලයන්ගේ නම් ප්‍රදර්ශනය කර ගෞරවය දැක්වීමේ වැඩසටහන් පැවැත්වීය.
උත්සවය අවසානයේ දී මෙම නාම පුවරු නැවත රැගෙන ගොස් සුරක්ෂිතව තබා වසරක් පාසා පැවැත්වෙන මහවිරු සැමරුම් උත්සවයේ ප්‍රදර්ශනය කිරීම සම්ප්‍රදායක් බව යාපනය ප්‍රදේශවාසීහු පැවසූහ.