MCC ගිවිසුම: ජනාධිපතිවරණය නිමවීමෙන් පසු අත්සන් කරනවා - ඇමෙරිකානු තානාපති කාර්යාලය

US Embassy, Colombo

ඡායාරූප මූලාශ්‍රය, US Embassy, Colombo

ජනාධිපතිවරණය නොවැම්බර් 16 වෙනිදා නිමවීමෙන් අනතුරුව ශ්‍රී ලංකා රජය සමග මිලේනියම් චැලේන්ජ් කොර්පරේෂන් ගිවිසුම අත්සන් කිරීමට බලාපොරොත්තු වන බව කොළඹ පිහිටි ඇමෙරිකානු තානාපති කාර්යාලය නිවේදනය කරයි.

අනතුරුව ඊට පාර්ලිමේන්තු අනුමැතිය ද ලබා ගැනීමට අදහස් කෙරෙන බව එම නිවේදනයේ සඳහන් වේ.

මිලේනියම් චැලේන්ජ් කොර්පරේෂන් සංවර්ධන ආධාර වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් මිලියන 480ක ප්‍රදාන ලැබීමට නියමිතය.

ඊට අදාළ යෝජනාවට පසුගිය සතියේ කැබිනට් අනුමැතිය ලැබුණු බව මීට පෙර මුදල් අමාත්‍ය මංගල සමරවීර පැවසීය.

"මෙම සංවර්ධන ආධාර ප්‍රදානය අනුමත කිරීමට කැබිනට් මණ්ඩලය ගත් තීරණය එක්සත් ජනපදය අගය කරයි," යනුවෙන් ද තානාපති කාර්යාලය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

නමුත් මෙම ගිවිසුමට එරෙහිව ශ්‍රී ලංකාව තුළ විවිධ පාර්ශව වෙතින් විරෝධය පළවෙමින් පවතී.

ගිවිසුමට එරෙහිව පූජ්‍ය උඩුදුම්බර කාශ්‍යප හිමියන් කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී යෙදුණු උපවාසය බදාදා (නොවැම්බර් 06) අත්හැර දමන ලදි. උපවාසය අත්හරින ලෙස ඉල්ලා ජනාධිපතිධූර අපේක්ෂකයින් වන සජිත් ප්‍රේමදාස සහ ගෝඨාභය රාජපක්ෂ ඉල්ලීම් කර තිබු බවට වාර්තා පළ වේ.

FaceBook

ඡායාරූප මූලාශ්‍රය, FaceBook

ඡායාරූප ශීර්ෂ වැකිය, උඩුදුම්බර කාශ්‍යප හිමි

මිලේනියම් චැලේන්ජ් කොර්පරේෂන් ගිවිසුම මගින් ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට, ස්වාධීනත්වය ට සහ ආර්ථික කටයුතුවලට බලපෑම් ඇතිවන බව පවසමින් 'සුරකිමු ශ්‍රී ලංකා' සංවිධානය ද බදාදා (නොවැම්බර් 06) කොළඹ පිහිටි ඇමෙරිකානු තානාපති කාර්යාලයට ලිපියක් බාර දුන්නේය.

ලිපිය බාර දීමට පෙර එම සංවිධානයේ සාමාජිකයෝ තානාපති කාර්යාලය ඉදිරිපිට විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් උද්ඝෝෂණයක යෙදුණහ.

"MCC පිළිකාවක්" යනුවෙන් ද සමහර විරෝධතා පුවරුවල සඳහන් කර තිබුණි.

එහෙත් ඇමෙරිකානු තානාපති කාර්යාලය පවසන්නේ යෝජිත ගිවිසුම මගින් ලැබෙන අරමුදල් නිසා අවම වශයෙන් ශ්‍රී ලාංකිකයින් මිලියන 11ට පමණ ප්‍රතිලාභ සැලසෙනු ඇතැයි අපේක්ෂාවෙන් ශ්‍රී ලංකාව මෙම සහයෝගය ඉල්ලා සිටි බවය.

යෝජිත ගිවිසුම මගින් ඉඩම් සහ ප්‍රවාහන යනුවෙන් ව්‍යාපෘති දෙකක් යෝජනා කර ඇත.

ඉඩම් ව්‍යාපෘතිය සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 67ක් වෙන් කර ඇති අතර ප්‍රවාහන ව්‍යාපෘතිය සඳහා වෙන් කර ඇති මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 350 ක් බව ඇමෙරිකානු තානාපති කාර්යාලය පවසයි.

"මෙම ප්‍රදානයෙන් සහය වන වැඩසටහන් මගින් රථවාහන තදබදය අවම කිරීම, කොළඹ පොදු ප්‍රවාහන සේවය වැඩිදියුණු කිරීම, පළාත් මාර්ග වැඩිදියුණු කිරීම සහ ඉඩම් පරිපාලනය ක්‍රමවත් කිරීම සහ ශ්‍රී ලාංකිකයන්ගේ ඉඩම් අයිතිවාසිකම් ශක්තිමත් කිරීම සඳහා ශ්‍රී ලංකා රජය දැනට ආරම්භ කොට ඇති කටයුතු පුළුල් කරනු ඇත," යනුවෙන් ද එම නිවේදනයේ දැක්වේ.

මේ වන විට මිලේනියම් චැලේන්ජ් කොර්පරේෂන් ගිවිසුම, මුදල් අමාත්‍යාංශය විසින් සිය වෙබ් අඩවියෙහි පළ කරනු ලැබ ඇත.

මෙම ගිවිසුම හරහා ශ්‍රී ලංකාවේ ඉඩම් අයිතිය ට බලපෑම් කෙරෙනු ඇතැයි එල්ලවන චෝදනාවට පිළිතුරු දෙමින් ඇමෙරිකානු තානාපති කාර්යාලය පවසන්නේ අදාළ ගිවිසුම මගින් එක්සත් ජනපදයට කිසිදු ඉඩමක අයිතිය පැවරීමක් හෝ හෝ බදු දීමක් සිදු නොවනු ඇති බවය.

මිලේනියම් චැලේන්ජ් කොර්පරේෂන් ගිවිසුමේ සඳහන් වන්නේ, "ශ්‍රී ලංකා රජය විසින් ආරම්භ කර ඇති පවතින ඉඩම් පිළිබඳ අවකාශිය දත්ත හා ඉඩම් හිමිකම් පිළිබඳ වැඩසටහන පුළුල්කිරීම සහ වැඩිදියුණු කිරීම අරමුණු කරගෙන MCC ඉඩම් ව්‍යාපෘතිය මඟින් ඩොලර් මිලියන 67ක් ඇස්තගම්න්තු කර ඇත," යනුවෙනි.

නමුත් මෙම ගිවිසුමට විරෝධය දක්වන පාර්ශ්ව පවසන්නේ ගිවිසුම මගින් ආර්ථික කොරිඩෝවක් නිර්මාණය කෙරෙන බවත් එම ආර්ථික කොරිඩෝව තුළට වැටෙන රජයේ සහ රජයේ ආයතන සතු ඉඩම් හඳුනාගෙන MCC ගිවිසුම මගින් පිහිටුවනු ලබන MCA - Sri Lanka නමැති පුද්ගලික සමාගමකට එම ඉඩම් නතුකර එම සමාගම මගින් සිය කූට අරමුණු ඵලගැන්වෙන පරිදි රජයේ ඉඩම් දීර්ඝකාලීන බද්ද ට ලබා දීම කෙරෙනු ඇති බවය.

US Embassy, Colombo

ඡායාරූප මූලාශ්‍රය, US Embassy, Colombo

"ප්‍රවාහන ව්‍යාප්තියෙන් ඉදිරි වසර 20 හි දී ප්‍රමාණිත ආර්ථික ප්‍රතිලාභ අනුපාතය 19% වන අතර ඒ ඔස්සේ බස්නාහිර, මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වල නගරබඳ සහ පළාත්බඳ ප්‍රවාහන යටිතල පහසුකම්වල කාර්යක්ෂමතාව සහ ශාක්‍යතාව වැඩි දියුණු කිරීමට බලාපොරොත්තු වේ" යනුවෙන් MCC ගිවිසුමෙහි සඳහන් ය.

US Embassy, Colombo

ඡායාරූප මූලාශ්‍රය, US Embassy, Colombo

මිලේනියම් චැලේන්ජ් ප්‍රදාන වැඩසටහන වෙනත් හවුල්කාර රටවල් 29ක් සමග ද ක්‍රියාත්මක බව පවසන ඇමෙරිකානු තානාපති කාර්යාලය, මෙම ගිවිසුම මගින්, "එක්සත් ජනපදය ශ්‍රී ලංකාව සමග ඇති හවුල්කාරීත්වය අඛණ්ඩව පවත්වා යෑමට සහ ආර්ථික වර්ධනය තුළින් දරිද්‍රතාව අවම කිරීම සඳහා දරන ප්‍රයත්නයට සහය වීමට අපේක්ෂා කරයි," යනුවෙන් සඳහන් කරයි.

මේ තොරතුරුත් කියවන්න: