'අනුහස්ගෙන්' පොරොන්දුවක්; "නළුවාට වඩා මම රැක ගන්නේ ගායකයා"

MUSIC

ඡායාරූප මූලාශ්‍රය, SAN DIAS

තමා තුළ රඟන නළුවා කෙසේ වෙතත්, තමා තුළ ජීවත්වෙන ගායකයා අනාගතයේ නියමිත ස්ථානයේ ස්ථාපනය කරන බව ජනප්‍රිය නළු සහ ගායක රවීන් කනිෂ්ක ප්‍රතිඥාවක් දෙයි.

චරිතාංග රංගනයක් හේතුවෙන් "අනුහස්" නමින් රසවතුන් විසින් හඳුන්වනු ලබන සම්මානලාභී යොවුන් කලාකරුවකු වන රවීන් කනිෂ්ක එම ප්‍රකාශය කළේ 'බීබීසී සිංහල ෆේස්බුක්' සජීවී සංවාදයකට එක්වෙමිනි.

ප්‍රවීණ ගායන ශිල්පී සෝමතිලක ජයමහ, විශාරද ශෂිකා නිසංසලා සහ නව පරපුරේ ජනප්‍රිය නළු සහ ගායක රවීන් කනිෂ්ක පසුගිය සිකුරාදා (ඔක්තෝබර් 11) පැවති එම සජීවී සංවාදයට සහභාගි වූහ.

ත්‍රිපුද්ගල ගීත ප්‍රසංගයක් සඳහා එම කලාකරුවන් ලන්ඩන් නගරයට පැමිණ සිටින අතරවාරයේ එම සජීවී සංවාදය පැවැත්වුණි.

කලාකරුවන් තිදෙනා

ඡායාරූප මූලාශ්‍රය, SAN DIAS

'බීබීසී සිංහල ෆේස්බුක්' සංවාදය අතරවාරයේ නගන ලද ප්‍රශ්නයකට පිළිතුරු දුන් රවීන් කනිෂ්ක "තමාත් ආභාෂය ලබන ජ්‍යෙෂ්ඨ පරපුර නියෝජනය කරන සෝමතිලක ජයමහ ශූරීන් එම සාකච්ඡාවේ දී අපේක්ෂා පළ කළ පරිදි, තමා සහජයෙන් ලද නළුකම රැක ගන්නා අතරම, ගීත ක්‍ෂේත්‍රයට දියහැකි උපරිම දායකත්වය සහතික කරන," බව කියා සිටියේය.

"මම නළුවෙක් වුණේ ගායකයෙක් වුනාට පසුවයි," ඔහු අතීතය ආවර්ජනය කරමින් සඳහන් කළේය.

"සෝමතිලක ජයමහ ශූරීන් ඉදිරිපිට මම එක පොරොන්දුවක් වෙනවා. එතුමා මගෙන් බලාපොරොත්තු වන පරිදි, ඒවගේම මට මා ගැන ඇති විශ්වාසය අනුව, මම මාතුළ වෙසෙන නළුවා කෙසේ වෙතත් ගායකයා තැබිය යුතු නියමිත ස්ථානයේ තබනවා. ගීත ක්‍ෂේත්‍රයට මට කරන්න පුළුවන් තරම සීයක්ද? මම එය දාහකින් කරනවා," ජනප්‍රියත්වය අතින් ඉහළ ස්ථානයක සිටින සම්මානලාභී නළු රවීන් කනිෂ්ක ප්‍රතිඥාවක් දුන්නේය.

එම ෆේස්බුක් සංවාදයේ දී සෝමතිලක ජයමහගේ පැරණි ගීයකින් කොටසක් ගායක රවීන් කනිෂ්ක විසින් ගායනා කරනු ලැබීමෙන් අනතුරුව අදහස් දැක්වූ ප්‍රවීණ ජ්‍යෙෂ්ඨ ගායකයා කියා සිටියේ "නව පරපුරේ ගායකයන් තම ගීත ගායනා කිරීම සම්බන්ධයෙන් කිසිදු විරෝධයක් නොමැති," බව ය.

MUSIC

ඡායාරූප මූලාශ්‍රය, SAN DIAS

"මමත් මුල් අවධියේ ගායනා කළේ අනුන්ගේ ගීත. මමත් ගායකයෙක් වුණේ අනුන්ගේ ගීත ගයලා. මම ආචාර්ය පණ්ඩිත අමරදේවයන්ගේ ගීත සහ වෙනත් ගායකයන්ගේ ගීත ගායනා කළා. මුලදී මා අතේ යමක් නොතිබුණ නිසා - මම පැරණි දේ පරිහරණය කළා. එමගින් මම ඉදිරියට ආවා. ඊට පස්සේ මම ස්වාධීනව මගේම ගීත නිර්මාණය කරගත්තා. ඒවා ස්වතන්ත්‍ර නිර්මාණ," ප්‍රවීණ ගායන ශිල්පී සෝමතිලක ජයමහ සිය ගමන්මග ආවර්ජනය කළේය.

"ඒත් මම ඒ අනුන්ගේ නිර්මාණ කවදාවත් වාණිජ පරමාර්ථයෙන් පාවිච්චි කරලා නැහැ. මුදලට විකුණලා නැහැ."

විශාරද ශෂිකා නිසංසලා

MUSIC

ඡායාරූප මූලාශ්‍රය, SAN DIAS

වර්තමානයේ ප්‍රචාරක ආයතන, ගුවන් විදුලි සහ රූපවාහිනී නාලිකා රාශියක් පවතින හෙයින් ගීත නිර්මාණ රාශියක් බිහිවෙන නමුත් ඒවායේ ගුණාත්මක ප්‍රමිතිය සම්බන්ධයෙන් ගැටළුවක් පවතින බව විශාරද ශෂිකා නිසංසලාගේ අදහස විය.

"ඉස්සර තිබුණේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව පමණයි. ඒ අවධියේ ගීතයක් නිර්මාණය කර එළි දැක්වීම දුෂ්කර කාර්යයක්. ගීයේ පද රචනය වචන ගැන බලනවා. සංගීතය විමසනවා. කටහඬ පරීක්ෂා කරනවා. ඒත් අද ඒක අඩුයි. මේ කාර්යයට ප්‍රමිතියක් තියෙන්න ඕන," විශාරද ශෂිකා නිසංසලා ප්‍රකාශ කළාය.

"වර්තමාන පරපුරේ ගීත ගායකයන්ගෙන් බොහෝ දෙනෙකුගේ ගායන හැකියාව ඉහළ මට්ටමක තියෙනවා. එහෙත් ඔවුන් ගීතයක සාහිත්‍යමය පැත්ත ගැන හිතන්නේ නැහැ. ඔවුන්ගේ ශෛලිය හොඳයි. ඒ එක්කම ඔවුන් සාහිත්‍යමය පැත්තටත් නැඹුරු විය යුතුයි," ප්‍රවීණ ගායන ශිල්පී සෝමතිලක ජයමහ නව පරපුර සම්බන්ධයෙන් ඔහුගේ ප්‍රතිචාරය පළ කරමින් සඳහන් කළේය.

නව පරපුරට අයත් තමන් ද රස විඳින්නේ ජ්‍යෙෂ්ඨ පරපුරේ ගායක ගායිකාවන්ගේ නිර්මාණ බව එම සංවාදයට එක්වූ රවීන් කනිෂ්ක කියා සිටියේය.

"අපිත් රස විඳින්නේ ජ්‍යෙෂ්ඨ පරපුරේ ගීත .ඉස්සර අපට ඇසුනේ ගුණාත්මක හොඳ ගීත. ඒවා මිනිසුන්ගේ හදවත් වැළඳ ගත්තා."

අපිත් රස විඳින්නේ ජ්‍යෙෂ්ඨ පරපුරේ ගීත

MUSIC

ඡායාරූප මූලාශ්‍රය, SAN DIAS

"මනා ගුණයකින් තොරව මහා පරිමාණයෙන් ගීත මුදා හරිනු ලැබීම කුසලතා සහිත කලාකරුවන්ද ප්‍රශ්නවලට භාජනය කරන," බවත් රවීන් කනිෂ්ක පෙන්වා දෙයි.

"අද පැයකින් ගීයක් එලියට දාන්න පුළුවන්. ඉස්සර එය ලොකු ක්‍රියාදාමයක්. දුෂ්කර කාර්යයක්. ඒත් අද පැයෙන් එලියට දාන ගීත නව පරපුර මගින් නිර්මාණය කරන ප්‍රමිතියෙන් යුක්ත හොඳ ගී නිර්මාණවලටත් බලපානවා. අපේ නිර්මාණ ජනතාව අතරට යන්න ඒක බාධාවක් වෙලා තියෙනවා," ඔහු පවසයි.

"අද විවිධ නිර්මාණ බිහි වෙනවා. ඒත් අද වඩාත් අවශ්‍ය කරන්නේ සුභාවිත සංගීතයක්. ඒ ගුණය අද පිරිහී තියෙනවා. අනිත් අතින් හොඳ සාර්ථක නිර්මාණයක් සමාජගත කර ගැනීම සඳහා ප්‍රචාරය අතින් ගැටළු තියෙනවා. එවැනි තත්වයක් යටතේ අලුත් නිර්මාණ බොහෝවිට ප්‍රචාරය කෙරෙන්නේ සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ," විශාරද ශෂිකා නිසංසලා එම සංවාදයට එක්වෙමින් සඳහන් කළාය.

කෙසේවුවද, නව පරපුරේ ගායක ගායිකාවන් මුහුණ දෙන ගැටළු පිළිබඳවත් අවධානය යොමු කළ විශාරද ශෂිකා නිසංසලා, නව නිර්මාණ සඳහා මුදල් ආයෝජනය කරනු ලබන ගීත නිෂ්පාදනය කරන ආයතනයන්හි අවශ්‍යතාව අනුව කලාකරුවන් ආදරය සහ ප්‍රේමය වැනි එක් විෂයයක් තුළ කොටුවීමට හේතු වී ඇති බව පෙන්වා දෙන්නීය.

"එම ආයතන හොඳ ගීතයකට මුදල් යොදවන්නේ නැහැ. මුදල් ආයෝජනය කරන්නේ ඔවුන් කියන ආකාරයේ ගීත ගායනා කරනවා නම් පමණයි.නව පරපුර එවැනි ගැටලුවකට මුහුණ දෙනවා," ශෂිකා නිසංසලා නව පරපුර මුහුණ දෙන අභියෝගයක් පැහැදිලි කළාය.

Skip Facebook post

මෙහි අන්තර්ගතය නැත

වැඩිදුරටත් Facebook බලන්නබාහිර වෙබ් අඩවිවල අන්තර්ගතයට බීබීසී වගකියනු නොලැබේ.

End of Facebook post

රස විඳින්න;