රාවණා 1: පළමු ඡායාරූප සහ ඉදිරි වැඩපිළිවෙළ ගැන සම නිර්මාතෘවරිය පැහැදිලි කරයි

රාවණා 1 චන්ද්‍රිකාවේ පළමු ඡායාරූප

ඡායාරූප මූලාශ්‍රය, BIRDS-3

ශ්‍රී ලාංකික තරුණ ඉන්ජිනේරුවරුන් දෙදෙනෙකු විසින් නිර්මාණය කරන ලද රාවණා 1 චන්ද්‍රිකාව මගින් ඉදිරියේදී ලෝකයේ සෙසු රටවල ද ඡායාරූප ගැනීමට සැලසුම් කර ඇතැයි එහි සම නිර්මාතෘ විද්‍යුත් යාන්ත්‍රික ඉන්ජිනේරු දුලානි චාමිකා විතානගේ බීබීසී සිංහල සේවයට පැවසීය.

ඇය ප්‍රකාශ කළේ, ඡායාරූප ගැනීමට අමතරව පෘථිවියේ චුම්භක ක්ෂේත්‍රය අධ්‍යයනය කිරීමට අදාළ දත්ත ලබා ගැනීම ද මෙමගින් සිදු කරන බවය.

ශ්‍රී ලාංකික ඉන්ජිනේරුවරුන් විසින් නිර්මාණය කරන ලද පළමු චන්ද්‍රිකාව වන රාවණා 1 චන්ද්‍රිකාව පසුගිය ජූනි 17 වන දා ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිට කක්ෂගත කෙරිණි.

එම චන්ද්‍රිකාව මගින් ලබා ගත් පළමු ඡායාරූප කිහිපය සෙනසුරාදා (අගෝස්තු 3) බර්ඩ්ස් 3 ව්‍යාපෘතිය විසින් පළ කරනු ලැබීය.

චන්ද්‍රිකාවේ පිහිටි කැමරාවෙන් ලබාගෙන ඇති පළමු ඡායාරූපය මෙයයි.

රාවණා 1 චන්ද්‍රිකාවේ පළමු ඡායාරූප

ඡායාරූප මූලාශ්‍රය, BIRDS-3

ඡායාරූප ශීර්ෂ වැකිය, රාවණා 1 චන්ද්‍රිකාවේ කැමරාවේ සටහන් වූ පළමු ඡායාරූපය

ඉන් ලබාගත් සෙසු ඡායාරූප සහ එවායෙහි විස්තර පහත දැක්වේ.

ශ්‍රී ලංකාවේ දකුණු ප්‍රදේශය

ඡායාරූප මූලාශ්‍රය, BIRDS-3

ඡායාරූප ශීර්ෂ වැකිය, ශ්‍රී ලංකාවේ දකුණු ප්‍රදේශය
ශ්‍රී ලංකාව දිස්වන අයුරු

ඡායාරූප මූලාශ්‍රය, BIRDS-3

ඡායාරූප ශීර්ෂ වැකිය, ශ්‍රී ලංකාව දිස්වන අයුරු
රාවණා 1 චන්ද්‍රිකාව ජපානයට ඔබ්බෙන් ගමන් කරද්දී ගත් ඡායාරූපයක්

ඡායාරූප මූලාශ්‍රය, BIRDS-3

ඡායාරූප ශීර්ෂ වැකිය, රාවණා 1 චන්ද්‍රිකාව ජපානයට ඔබ්බෙන් ගමන් කරද්දී ගත් ඡායාරූපයක්

චන්ද්‍රිකාව මෙහෙයවීම

Dulani Chamika/Facebook

ඡායාරූප මූලාශ්‍රය, Dulani Chamika/Facebook

රාවණා 1 චන්ද්‍රිකාව පෘථිවියේ සිට නිරන්තරයෙන් නිරීක්ෂණයට සහ අධීක්ෂණයට ලක් වන බව විද්‍යුත් යාන්ත්‍රික ඉන්ජිනේරු දුලානි චාමිකා විතානගේ පැවසීය.

"චන්ද්‍රිකාව ගමන් කරන ආකාරය නිරන්තරයෙන් නීරීක්ෂණය වෙනවා. යම් රටකට ඉහළින් ගමන් කරන විට අහස පැහැදිලිව තිබුණොත් අපි මෙහෙ ඉඳන් කමාන්ඩ් එකක් දෙනවා, ඡායාරූප ගන්න. එහෙමයි ඒක පාලනය වෙන්නේ."

මෙම ඡායාරූප මගින් ලෝකයේ රටවල නවතම භූ ලක්ෂණ, භූමියේ හැඩය ආදිය අධ්‍යයනය කළ හැකි බව ඇය පැවසීය.

"මේ චන්ද්‍රිකාවෙන් අපි විවිධ ස්ථානවල චුම්භක ක්ෂේත්‍රය ගැන දත්ත රැස් කරනවා. ඒ දත්ත විශ්ලේෂණය කරලා ලෝකයේ චුම්භක ශක්තිය පිළිබඳව සමස්ත අධ්‍යයනයක් කිරීමටත් බලාපොරොත්තු වෙනවා," දුලානි චාමිකා පැහැදිලි කළාය.

රාවණා 1

ආතර් සී ක්ලාර්ක් මධ්‍යස්ථානයේ මැදිහත් වීමෙන් විද්‍යා හා තාක්ෂණ අමාත්‍යංශයේ ව්‍යාපෘතියක් ලෙස ජපානයේ බර්ඩ්ස් 3 ව්‍යපෘතිය යටතේ මෙම චන්ද්‍රිකාව නිර්මාණය කෙරිණි.

එය ඝන සෙන්ටි මීටර් 1000ක පමණ විශාලත්වයෙන් යුත් කුඩා චන්ද්‍රිකාවකි.

එහි අවම ආයු කාලය අවුරුදු එක හමාරක් වන අතර අවුරුදු 5ක් දක්වා පැවතිය හැකි බවට විශ්වාස කරන අතර එම කාලය තුළ පෘථිවියේ විවිධ ස්ථානවල ඡායාරූප සහ චුම්භක ක්ෂේත්‍රය පිළිබඳ දත්ත ලබා ගැනීමට අපේක්ෂිතය.

BIRDS-3

ඡායාරූප මූලාශ්‍රය, BIRDS-3

දුලානි චාමිකා විතානගේ සහ තරිඳු දයාරත්න, ශ්‍රී ලංකාවේ ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානයේ අධීක්ෂණය යටතේ නිර්මාණය කරන ලද මෙම චන්ද්‍රිකාවේ නිර්මාණකරුවන්ය.

ඔවුන් දෙදෙනා මේ වන විට ජපානයේ පශ්චාත් උපාධියක් ද හදාරමින් සිටිති.

තායිලන්තයට ගොස් විද්‍යුත් යාන්ත්‍රික ඉන්ජිනේරු තාක්ෂණය හදාරා ඇති දුලානි චාමිකා විතානගේ, පසුව ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානයේ සේවයට එක් වී තිබේ.

මේ අතර, පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් විදුලි සහ විද්‍යුත් ඉන්ජිනේරු උපාධිය හදාරා ඇති තරිඳු දයාරත්න, ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානයේ පර්යේෂණ ඉන්ජිනේරුවරයෙකු ලෙස සේවය ආරම්භ කර ඇත.

තවදුරටත් කියවන්න.