රිෂාඩ් බදියුද්දීන්: "ඉල්ලා අස්වුණේ තවත් කළු ජූලියක් ඇතිවීම වැළැක්වීමට"

තමන් තනතුරින් ඉවත් වූයේ විශ්වාස භංග යෝජනාවට බියේ නොවන බව හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුද්දීන් අවධාරණය කළේය.

ඔහු කියා සිටියේ "අහිංසක සිංහල සහ මුස්ලිම් ජනතාව අතර තවත් කලු ජූලියක් ඇති කිරීම සඳහා ඇතැමුන් උත්සාහ දරමින් සිටින හෙයින්" එවැන්නක් වලක්වා ගැනීම සඳහා තමන් තනතුරින් ඉවත් වූ බවය.

රිෂාඩ් බදියුද්දීන් මන්ත්‍රීවරයා මෙම ප්‍රකාශ කළේ බීබීසී සිංහල සේවය සමඟ ෆේස්බුක් ඔස්සේ පැවති සජීවී සාකච්ඡාවක දීය.

ඔහු අමාත්‍ය තනතුරින් ඉල්ලා අස්වීමෙන් පසුව සහභාගී වූ පළමු සජීවී සාකච්ඡාව මෙයයි.

තමන්ට එරෙහිව චෝදනා එල්ල කිරීම ජාතිවාදී කල්ලියක ගේ දේශපාලන කොන්ත්‍රාත්තුවක් බව ඔහු පැවසීය.

තමන්ට පවතින චෝදනා කිසිවක් මේ වන තෙක් ඔප්පු වී නොමැති බව ඔහු අවධාරණය කරයි.

 Rishad Bathiudeen
Getty
ඇමති ධුරයෙන්

ඉල්ලා අස්වුණේ

  • තවත් කළු ජූලියක් වැළැක්වීමට බව හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුද්දීන් පවසයි.

  • 2015 කර්මාන්ත සහ වාණිජ කටයුතු ඇමති ධුරයේ කටයුතු කළේය.

  • 2019 පාස්කු ප්‍රහාර හා සම්බන්ධ පරීක්ෂණවලට බලපෑම් කළ බවට චෝදනා.

  • ඇමති ධුරයෙන් ඉවත් වන ලෙස ඉල්ලා අතුරුලියේ රතන හිමි උපවාසයක් ආරම්භ කළේය.

  • ජුනි 03 ඔහු ඇතුළු සියලුම මුස්ලිම් අමාත්‍යවරු සිය ධුරවලින් ඉවත් විය.

BBC සිංහල

ඔහු තවදුරටත් කියා සිටියේ විල්පත්තුව පිළිබඳව තමන්ට චෝදනා ඉදිරිපත් කිරීම පිටුපස රාජ්‍ය නොවන සංවිධාන ද සිටින බවය.

අයි එස් අන්තවාදය ශ්‍රී ලංකාවෙන් සම්පූර්ණයෙන් ම තුරන් කිරීම සඳහා තම සහයෝගය උපරිමයෙන් ලබා දෙන බව හිටපු අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

"අපේ මුස්ලිම් නායකයන් බුද්ධි අංශයටත් තොරතුරු දීල තියෙනවා. ඒත් මේ ප්‍රහාරය නවත්ත ගන්න බැරි උනා." රිෂාඩ් බදියුද්දීන් මන්ත්‍රීවරයා බීබීසී සිංහල සේවයට පැවසීය.

තමන් විශාල ධන සම්භාරයක් උපයාගෙන ඇති බවට නැගෙන චෝදනා පිළිබඳව විමසු විට ඔහු කියා සිටියේ සෑම වසරකම තමන් ගේ ආදායම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන බව ය.

කුමන ආණ්ඩුවක් බලයට පැමිණියත් තමන්ට වැඩි සැලකිල්ලක් ලැබෙන්නේ ඇයිදැයි යන ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ඔහු කියා සිටියේ තමන් උතුරු නැගෙනහිර එක් කිරීමට එරෙහිව පෙනී සිටින අතර ජාතිවාදය පැතිරීමෙන් වැළකී සිටින සිටින බවය.