ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
මොස්කව් ගුවන් අනතුර: යානයක් ගිනි ගැනීමෙන් 41 දෙනෙකු මරුට
රුසියාවට අයත් ගුවන් යානයක් ගුවන්ගත කිරීමෙන් පසු මොස්කව්හි ෂෙරමේතෙව ගුවන් තොටුපොළ වෙත හදිසි ගොඩ බෑමකදී ගිනිබත් වීම හේතුවෙන් පුද්ගලයින් 41 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
වීඩියෝවක දැක්වෙන්නේ, ගිනි ගන්නා ගුවන් යානයෙන් පිටවීම සඳහා මගීන් හදිසි පිටවීම් දොරටු භාවිත කරන ආකාරයය.
ගුවන් යානයේ සිට ජීවිතය බේරා ගත් ඇතැම් මගීන් පැවසුවේ, ගුවන් යානයට අකුණු සැර වැදීම හේතුවෙන් එය ගිනි ගන්නට ඇති බවය. කෙසේ වෙතත්, රුසියාවේ ජාතික ගුවන් සේවය වන එයරොෆ්ලොට් (Aeroflot) සමාගම පවසන්නේ, තාක්ෂණික දෝෂයක් හේතුවෙන් එම ගුවන් යානය ෂෙරමේතෙව ගුවන් තොටුපොළට හදිසියේ ගොඩ බැස්වූ බවය.
ජීවිතක්ෂයට පත් වූවන් අතර ළමුන් දෙදෙනෙක් ද වෙති. ගුවන් යානය තුළ එම අවස්ථාවේදී මගීන් 73 දෙනෙකු සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් පස් දෙනෙකු සිට ඇත.
ගුවන් යානය ගිනි ගැනීම හේතුවෙන් හදිසියේ ගොඩ බා ඇතැයි මුලින් වාර්තා වුව ද, රුසියානු පුවත් ඒජන්සියක් වන ඉන්ටර්ෆැක්ස් වාර්තා කර තිබුණේ, යානය ගොඩ බෑ අවස්ථාවේ ඇති වූ තත්ත්වයක් මත එහි ගින්නක් හටගෙන ඇති බවය.
"යානයේ සිටි 37 දෙනෙකුගේ ජීවිත බේරිලා තියෙනවා. ඒ අය අතරින් 33 දෙනෙක් මගීන්. අනිත් 4 දෙනා කාර්ය මණ්ඩල සාමාජිකයින්," ගුවන් අනතුර සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන නිලධාරිනියක වන යෙලේනා මාර්කොවුස්කායා පැවසීය.
මෙහිදී ගුවන් සේවකයෙකු ද ජීවිතක්ෂයට පත්ව ඇතැයි වාර්තා වේ. පුද්ගලයින් 5 දෙනෙක් රෝහල්ගතව ප්‍රතිකාර ලබති. සිද්ධිය ඇසින් දුටුවෙකු සඳහන් කළේ, යම් පුද්ගලයෙකුගේ ජීවිතය බේරුණා නම් එය "ප්‍රාතිහාර්යයක්" බවය.
ගුවන් යානයට මොක ද වුණේ?
සුඛෝයි සුපර්ජෙට් - 100 (Sukhoi Superjet-100) වර්ගයට අයත් එම ගුවන් යානය ගුවන් තොටුපළෙන් පිටත්ව ගොස් ඇත්තේ, එරට වේලාවෙන් පස්වරු 6.02ට ය.
එය ගුවන්ගත කර සුළු වේලාවකින් අයහපත් කාලගුණ තත්ත්වයත් සමග "අක්‍රමිකතාවක්" ඇති බවට සංඥා නිකුත් වී තිබිණි.
රුසියාවේ ජාතික ගුවන් සේවය පැවසුවේ, හදිසියේ ගොඩ බෑ අවස්ථාවේදී යානයේ එන්ජිම ගිනිගත් බවය. එම සමාගම වැඩිදුරටත් සඳහන් කළේ, කාර්ය මණ්ඩලය "මගීන් ආරක්ෂා කිරීමට කළ හැකි සියල්ල කළ" බවය.