බ්‍රිතාන්‍ය වාසීන් ශ්‍රී ලාංකික ආහාරවලට පුරුදු කරන මවක් සහ දියණියක්

ශාක්‍යා මානගේ සහ දුල්සි නයනා මානගේ

ඡායාරූප මූලාශ්‍රය, Jade Nina Sarkhel

ඡායාරූප ශීර්ෂ වැකිය, ශාක්‍යා මානගේ සහ දුල්සි නයනා මානගේ

ශ්‍රී ලාංකික නාමය ජාත්‍යන්තරයට ගෙනයන ශ්‍රී ලාංකිකයින් පිළිබඳව වරින්වර විවිධ පුවත් පළ වේ.

මේ ශ්‍රී ලාංකික ආහාර බ්‍රිතාන්‍ය වැසියන් අතර ජනප්‍රිය කරවීම සඳහා සිය කාලය කැප කරන ශ්‍රී ලාංකික මවක සහ දියණියක පිළිබඳ කතාවකි.

මේ වන විට ලන්ඩන් නගරයේ පදිංචි වී සිටින ඔවුන් දෙදෙනා, ශාක්‍යා මානගේ සහ දුල්සි නයනා මානගේය. දුල්සි නයනා මානගේ සිය සැමියා සහ දෙහැවිරිදි දියණිය සමග එක්සත් රාජධානියේ පදිංචියට යාමට පෙර පදිංචි වී සිට ඇත්තේ, නුගේගොඩ ප්‍රදේශයේය.

"මගේ තාත්තා ශ්‍රී ලංකාවේ නීතිඥයෙකු විදිහටත්, අම්මා ගෘහ ආර්ථික විද්‍යාව පිළිබඳ ගුරුවරියක විදිහටත් සේවය කළා. අම්මයි තාත්තයි ලන්ඩන්වලට ඇවිත් තියෙන්නේ මට වයස අවුරුදු දෙකේදී," කතාබහ අරඹමින් ශාක්‍යා මානගේ බීබීසී සිංහල සේවයට පැවසීය.

ශාක්‍යා මානගේ ලන්ඩන් යුනිවර්සිටි කොලේජ්හි උපාධිධාරිනියකි.

ශාක්‍යා මානගේ

ඡායාරූප මූලාශ්‍රය, Jade Nina Sarkhel

ඡායාරූප ශීර්ෂ වැකිය, ශාක්‍යා මානගේ

ශාක්‍යා මානගේ සඳහන් කළේ, ඇයගේ පවුල සහ ජීවිතය සමග ශ්‍රී ලාංකික ආහාර වර්ග ඉතා තදින් බැඳී පැවතුණු බවය.

"මට මතකයි අපි ලන්ඩන්වලට ආවට පස්සේ අම්මියි තාත්තයි ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික කෑම වර්ග නිතර හැදුවා. හැම සිංහල අවුරුද්දකදී ම අම්මි කැවුම්, කොකිස්, කිරිබත්, සීනි සම්බල් හැදුවා. කිරි ඉතිරුවා. තාත්ති අම්මිට උයන්න උදව් කළා හැම දා ම. අක්කිටයි මටයි ගෙදර හදපු ඉඳිආප්ප, ආප්ප, පිට්ටු, බත් සහ වෑංජන නිතර කන්න ලැබුණා. ඒ නිසා ආහාර අපේ ජීවිත සමග ගොඩක් බද්ධ වෙලා තිබුණා."

ශ්‍රී ලාංකික ආහාර සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය වැසියන් දැනුවත් කිරීමට ඇය පෙළඹී ඇත්තේ, ඔවුන් තුළ ශ්‍රී ලාංකික ආහාර සම්බන්ධයෙන් මිථ්‍යා මත පැවති බව ඒත්තු ගොස් තිබූ හෙයිනි.

"බ්‍රිතාන්‍යයේ ගොඩක් වැසියන් හිතන්නේ ශ්‍රී ලංකාවේ වෑංජන රසයි ඒත් සෞඛ්‍යයට හිතකර නෑ කියලා. ඒ නිසා මම ශ්‍රී ලංකාවේ ආහාර ගැන ලියන්න පටන් ගත්තා. මට ඕන වුණා ශ්‍රී ලංකාවේ කෑම කොයිතරම් රස ද, ඒ වගේ ම කොයි තරම් සෞඛ්‍ය සම්පන්න ද කියලා පෙන්වන්න. එතනින් මම නැවතුණේ නැහැ. දැන් අපි සුපර් ක්ලබ්ස් සහ කුක් ක්ලබ්ස් කියල වැඩසටහන් පවත්වනවා අපේ සාම්ප්‍රදායික කෑම වර්ග සහ ඒ කෑමවල තියෙන ගුණ ගැන හඳුන්වා දෙන්න."

කියවන්න:

ශ්‍රී ලාංකික ආහාර

ඡායාරූප මූලාශ්‍රය, Jade Nina Sarkhel

ලෝන්ලි ප්ලැනට් සඟරාව විසින් 2019 වසරේ ලොව සංචාරය කිරීමට සුදුසු ම ස්ථාන අතරින් පළමු ස්ථානය ශ්‍රී ලංකාව ලෙස නම් කර තිබිණි. ශාක්‍යා විශ්වාස කරන්නේ, ශ්‍රී ලංකාවේ පැවති සිවිල් ගැටුම් අවසන් වීම නිසා විදෙස් සංචාරකයින්ගේ, විශේෂයෙන් ම බ්‍රිතාන්‍ය වැසියන්ගේ දැඩි අවධානයක් ශ්‍රී ලංකාවට යොමු වී ඇති බවය.

ඒ හේතුවෙන්, ශ්‍රී ලංකාවේ සංචාරය කරන බ්‍රිතාන්‍ය වැසියන් ශ්‍රී ලාංකික ආහාරවලට ද හුරුපුරුදු වන බව ඇය පෙන්වා දුන්නාය.

"ශ්‍රී ලංකාවේ සංචාරය කරන බ්‍රිතාන්‍ය වැසියන් අපේ රටේ ආහාරවලට සහ සංස්කෘතියට ගොඩක් කැමතියි. ඒ නිසා ඔවුන් යළි බ්‍රිතාන්‍යයට පැමිණි පසුවත් ශ්‍රී ලාංකික ආහාරවලට ප්‍රියතාවක් දක්වනවා. විශේෂයෙන් පොල්, කුළුබඩු වගේ සෞඛ්‍ය සම්පන්න දේවල්වලින් හදන කෑමවලට ඔවුන් ගොඩක් කැමතියි. ඒවා හදන විදිය ඉගෙන ගන්නත් ඔවුන් උනන්දුයි," ශාක්‍යා පැවසුවාය.

එම වෙබ් අඩවිය වාර්තා කළේ, ශ්‍රී ලංකාවට ආවේණික ආහාරවලට එංගලන්තයේ ඇති වී තිබෙන ඉල්ලුම අනුව, 2019 වසරේ පෙරළිකාර ආහාර අතර ශ්‍රී ලාංකික ආහාර පෙරමුණ ගනු ඇති බවය.

එලෙස එංගලන්තයේ වැඩි ම ජනප්‍රියත්වයක් ලබා ඇති ශ්‍රී ලාංකික ආහාර වන්නේ, ආප්ප, කොත්තු සහ පොල් සම්බෝල යන ඒවාය.

ශ්‍රී ලාංකික ආහාර

කෙසේ වෙතත්, ශ්‍රී ලාංකික ආහාර සැකසීමේදී අවශ්‍ය කුළුබඩු ආදිය බ්‍රිතාන්‍යය තුළ සොයා ගැනීම පහසු කාර්යයක් නොවේ.

"කුරුඳු, කහ වගේ දේවල් නම් සාමාන්‍ය සුපර්මාකට්ස්වල තියෙනවා. ඒත්, ශ්‍රී ලංකාවේ තුනපහ, කරපිංචා, ගොටුකොළ වගේ ඒවා හොයා ගන්න පුළුවන් ශ්‍රී ලාංකික වෙළෙඳසල්වලින් විතරයි. ඒ බඩු ගන්න පුළුවන් ලන්ඩන්වල වෙළෙඳසල් කිහිපයක ලැයිස්තුවක් මම සකස් කරලා තියෙනවා," ශාක්‍යා ප්‍රකාශ කළාය.

ශ්‍රී ලාංකික ආහාර

ඡායාරූප මූලාශ්‍රය, Jade Nina Sarkhel

ඡායාරූප ශීර්ෂ වැකිය, ශ්‍රී ලාංකික ආහාර

ශාක්‍යාගේ බලාපොරොත්තු මොනවා ද?

"මගේ ලොකු ම බලාපොරොත්තුව තමයි ශ්‍රී ලංකන් සුපර් ක්ලබ් කියන මගේ සංකල්පය දියුණු කරලා ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික ගෘහස්ත ආහාර කෙරෙහි බ්‍රිතාන්‍ය වැසියන්ගේ ඉල්ලුම වැඩි කරන එක."

ඇය විශ්වාස කරන්නේ, ශ්‍රී ලංකාව තුළ ඉදිරියේදී ආයෝජන රැසක් සිදු වී රටේ ජනතාවගේ ජීවිත ගොඩ නගා ගත හැකි ආර්ථිකයක් නිර්මාණය වනු ඇති බවය.

ඇය ශ්‍රී ලාංකික කාන්තාව පිළිබඳව දැක්වූයේ, මෙවන් අදහසකි.

"මම දැකල තියෙන ආකාරයට ශ්‍රී ලංකාවේ කාන්තාවන් තමයි වැඩියෙන් ම වෙහෙසන, සැබෑ කාන්තාවන් වන්නේ. මට ඔවුන්ගෙන් ඉගෙන ගන්න දේවල් තියෙනවා. ලෝකය වෙනස් වෙමින් තියෙන්නේ. ශ්‍රී ලාංකික කාන්තාවන් හිතන පතන ආකාරය වෙනස් කර ගත්තොත් ඔවුන්ට ලබන්න බැරි ජයක් නැහැ. කාන්තාවන් ශක්තිමත් ඒ වගේ ම බුද්ධිමත්."

ශාක්‍යා මානගේ සහ දුල්සි මානගේගේ ශ්‍රී ලාංකික ආහාර වට්ටෝරු බීබීසී වෙබ් අඩවියේ ද පළ කර තිබේ.

තවත් කියවන්න: