කාබන් බද්ද: රජයේ අරමුණ මුදල් එකතු කිරීමද? පරිසරය රැකීමද?

වාහනයකින් පිටවන දුම

ඡායාරූප මූලාශ්‍රය, SPL

"බදු මදිවට තවත් බද්දක්"

"ආණ්ඩුවට සල්ලි නැති නිසා ගහන තවත් බද්දක්"

"මොකක් ද මේ කාබන් බද්ද?"

"දුම් පරීක්ෂාවෙන් සමත් නම් මං මොකට ද තව බද්දක් ගෙවන්නේ?"

"පරිසරය රකින්න රජය එතරම්ම කැපවෙනව ද?"

"බද්දක් ගැහුවට වාහන පාවිච්චිය අඩුවෙයි ද?"

"වාහනේ ගෙදර නවත්තල තිබ්බත් කාබන් බද්දක්?"

මෝටර් රථ සඳහා අය කෙරෙන කාබන් බද්ද 2019 වසරේ මුල් දිනයේ පටන් ක්‍රියාත්මක වන බව නිවේදනය වීමත් සමග සමාජය තුළ මෙවැනි සංවාද මතු විය.

ඇතැමුන් සමාජ මාධ්‍ය හරහා ඊට විරෝධය පළ කර තිබුණු අතර කාබන් බද්ද හාස්‍යයට ලක් කරමින් විවිධ මත පළ වූ අවස්ථා ද නැතුවා නොවේ.

FACEBOOK/SRI JUDGE

ඡායාරූප මූලාශ්‍රය, FACEBOOK/SRI JUDGE

ඡායාරූප ශීර්ෂ වැකිය, ෆේස්බුක් හි පළ වී තිබුණු අදහසක්

මේ අතරින් බොහෝ දෙනා ප්‍රශ්න කර තිබුණේ වාර්ෂිකව දුම් පරීක්ෂාවක් කර ධාවනය සඳහා අවසර ලබන වාහනයකට, නැවත වතාවක් කාබන් බද්දක් අය කර ගන්නේ ඇයි ද යන්නයි.

නමුත්, රජය ප්‍රකාශ කර සිටියේ පරිසරය රැක ගැනීමේ අරමුණින් ඉහත කී බද්ද හඳුන්වා දුන් බවය.

රජයට මුදල්?

රජයට මුදල් එකතු කර ගැනීමේ අභිලාසය මත පමණක් කාබන් බද්ද නමින් තවත් බද්දක් හඳුන්වා දී තිබේ ද යන සැකය තමන්ට ද මතු වන බව නීතීඥ නදීජා ඩයස් බීබීසී සිංහල සේවයට පැවසුවාය.

"වාර්ෂිකව දුම් පරීක්ෂාවක් කරපු වාහනයකට ආයෙත් කාබන් බද්දක් ගහන්නේ ඇයි කියන එක ගැටලුවක්. ඒ වගේ ම මේ විදියට බදු ගහල එකතු කර ගන්න මුදල් කොයි ආකාරයෙන් පරිසරය ආරක්ෂා කර ගැනීමට යොදවනව ද කියන එකත් ගැටලුසහගතයි. ඒ නිසා අපට හිතෙනවා රජයේ අය භාරය වැඩි කර ගැනීම සඳහා පමණක් මේ බද්ද ගෙනල්ල තියෙනවා කියල," නීතීඥ නදීජා ඩයස් ප්‍රකාශ කළාය.

"බදු දැල එලලා තියෙන්නේ පැන යා නොහැකි ආකාරයට. අය කර ගැනීමට නිසි ක්‍රම වේදයක් හැදුවට එමගින් පරිසරය රැක ගැනීමට නිසි ක්‍රමවේදයක් හදල නැහැ. ඒ නිසා අපිට හිතන්න වෙලා තියෙනවා මුදල් අය කර ගැනීම සඳහා පමණක් මේ ටැක්ස් එක හඳුන්වල දීල තියෙනවා කියල."

දුම් පරීක්ෂාවක් අනිවාර්ය නොවන හයිබ්‍රිඩ් වාහන සඳහාත් මේ කාබන් බද්ද පනවා ඇති බවත් නීතීඥවරිය පැවසුවාය.

"වාහනවලින් පමණ ද කාබන් පිට වෙන්නේ. කර්මාන්ත ශාලා කොයි තරම් තියෙනවා ද? ඇයි එහෙම නම් ඒවටත් මේ බද්ද ගහන්නේ නැත්තේ?"

"මේ බද්දෙන් පස්සේ ඊළඟ වර්ෂයේදී කාබන් පිටවීම කොපමණ ප්‍රමාණයකින් අඩු කරගන්නව ද, වාහන පාවිච්චිය කොයි තරම් අඩු වෙනව ද කියල කිසි ම ඉලක්ක වාර්තාවක් නැහැ," ඇය තවදුරටත් කියා සිටියාය.

මේ ගැනත් කියවන්න:

ෆේස්බුක් හි පළවූ මතයක්

ඡායාරූප මූලාශ්‍රය, FACEBOOK

ඡායාරූප ශීර්ෂ වැකිය, ෆේස්බුක්හි පළවූ මතයක්

"අනවශ්‍ය බරක්"

මේ පිළිබඳව කළ විමසීමකදී බලශක්ති විශේෂඥ අශෝක අබේගුණවර්ධන බීබීසී සිංහල සේවයට කියා සිටියේ, 'නිසි ක්‍රමවේදයක් නොමැතිව' කාබන් බද්ද පැනවීමෙන් සිදුවී ඇත්තේ ජනතාවට "අනවශ්‍ය බරක්" පැටවීම පමණක් බවය.

"අපි බද්දක් ගහන්නේ කාරණා දෙකක් අරමුණු කරගෙන. අයහපත් දේ අඩු කර ගැනීමට සහ යහපත් දේ වැඩි කර ගැනීමට. රුපියල් ශතවලින් පෙනෙන්නේ නැති වෙනත් පිරිවැයක් හෝ ප්‍රතිලාභයක් රුපියල් ශතවලට මාරු කර ගැනීමට තමයි මේ බදු සංකල්පය ඇවිල්ල තියෙන්නේ. මේ කාබන් බද්ද ගැන මට කියන්න තියෙන්නේ, හොඳ විසඳුමක් - වැරදි විදියට පාවිච්චි කරන්න හදනවා කියන එකයි."

"මොකද අපි පොසිල දහනය කරල හදන ඉන්ධන පාවිච්චි කරනකොට අපි වායු ගෝලයට කාබන් මුදා හරිනවා. ඒක අඩු කර ගන්න නම් ඒ වෙනුවට විදුලියෙන් ධාවනය වන වාහන පහසු මිලට ලබා ගැනීමට අවස්ථාවක් තියෙන්න ඕන. දෙවෙනි කාරණය තමයි ඒ සඳහා අවශ්‍ය විදුලිය හදන්නේ ගල් අඟුරු දහනය කරල නම් ඉන් ප්‍රයෝජනයක් වෙන්නෙත් නැහැ," බලශක්ති විශේෂඥ අශෝක අබේගුණවර්ධන පැවසුවේය.

"මේ පිළිබඳව රජයේ ප්‍රතිපත්තිය ඉතාමත් ම ව්‍යාකූලයි. මොක ද, අලුතෙන් ගල් අඟුරු බලාගාර හදන්න රජය සැලසුම් කරමින් සිටිනවා. ඒ වගේ ම ගල් අඟුරු ආනයනය කරද්දී තෙල්වලට අය කරන බද්දවත් අය කරන්නේ නැහැ. එතකොට සහනාධාර දීල තියෙන්නේ ගල් අඟුරුවලට."

පොදු ප්‍රවාහන සේවාවලට මහ ජනයා යොමු කිරීමට පහසුකම් සහිත පොදු ප්‍රවාහන සේවයක් ඇති කළ යුතු බවත්, ඒ සඳහා මීට පෙර "සහසර නමින් හොඳ ක්‍රමයක්" අත්හදා බලන ලද බවත් අශෝක අබේගුණවර්ධන ප්‍රකාශ කළේය.

"ඒක දැන් රජය ක්‍රියාත්මක කරන්නේ නැහැ."

ෆේස්බුක් හි පළවූ මතයක්

ඡායාරූප මූලාශ්‍රය, FACEBOOK

ඡායාරූප ශීර්ෂ වැකිය, ෆේස්බුක්හි පළවූ මතයක්

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් ජගත් චන්ද්‍රසිරිට අනුව වාර්ෂික දුම් පරීක්‍ෂාව සහ කාබන් බද්ද යනු එකිනෙකට වෙනස් කාරණා දෙකකි.

"දුම් පරීක්ෂාවක් කියල කියන්නේ වාහනේ වායු විමෝචනය වන ප්‍රමාණය පිළිබඳව කරන පරීක්ෂණයක් හරහා ලැබෙන සහතිකය. ඒ වාහනය නිසි ප්‍රමිතිය තුළ තියෙනව නම් අපි වාර්ෂික වාහන බලපත්‍රය නිකුත් කරනවා. වායු විමෝචනය අධික නම් බලපත්‍රය ලැබෙන්නේ නැහැ," බීබීසී සිංහල සේවය මේ සම්බන්ධයෙන් කළ විමසීමට පිළිතුරු වශයෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් ජගත් චන්ද්‍රසිරි පැවසීය.

එය වායු විමෝචන ප්‍රමිතීන් පිළිබඳ සහතිකයක් පමණක් බවත්, නමුත් කාබන් බද්ද යනු මෝටර් වාහනයක ඉන්ධන දහනය හේතුවෙන් වායුගෝලයට එකතු වන කාබන් ප්‍රමාණය මත පනවන බද්දක් බවත් කොමසාරිස් ජනරාල්වරයා පැහැදිලි කළේය.

"මේක අරමුණු දෙකක්."

කෙසේ නමුත් කාබන් බද්දෙන් එකතු වන මුදල් කුමන කර්තව්‍යයක් සඳහා යොදා ගන්නේදැයි ඇසූ පැනයට පිළිතුරු දෙමින් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් ජගත් චන්ද්‍රසිරි කියා සිටියේ, මෙය මුදල් අමාත්‍යංශය විසින් නියම කරන ලද බද්දක් බැවින්, බදු මුදල් අය කර, මධ්‍යම ආණ්ඩුවට ලබා දීම තමන්ගේ කාර්යභාරය බව පැවසීය.

පොදු ප්‍රවාහන 'සේවය'

බසයක්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, "පොදු ප්‍රවාහනය දියුණු කළොත් මිනිස්සු පෙළඹෙයි වාහනය ගෙදර තියල බස් එකේ යන්න"

පරිසරය වෙනුවෙන් අය කරනු ලබන බදු මුදල් සම්බන්ධයෙන් විශේෂ අණ පනත් ශ්‍රී ලංකාවේ සම්මත වී ඇති බව ආචාර්ය ප්‍රසන්ති ගුණවර්ධන බීබීසී සිංහල සේවයට පැවසුවාය. ඇය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වන හා පාරිසරික විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරියක ලෙස සේවය කරයි.

"ශ්‍රී ලංකාවේ නීතිමය ප්‍රතිපාදන පවා සම්මත කරගෙන තියෙනවා පරිසරය සම්බන්ධව එකතු කර ගන්නා බදු මුදල් වෙන ම අරමුදලකට බැර කර ගැනීමට. ඒවා වියදම් කළ යුත්තේ පරිසරයට සිදුවන හානිය අවම කර ගැනීම සඳහා. එහෙම කළොත් මේක යහපත් දෙයක් විදියට මිනිස්සු දකීවි."

"පොදු ප්‍රවාහනය දියුණු කළොත් මිනිස්සු පෙළඹෙයි වාහනය ගෙදර තියල බස් එකේ යන්න. මේ බදු ගෙවා ගන්න පුළුවන් කෙනා ඒක ගෙවල තමන්ගේ වාහනේ යයි," ආචාර්ය ප්‍රසන්ති ගුණවර්ධන පැවසීය.

අධිවේගී මාර්ග නිර්මාණය කිරීමේදී ඊට ගැලපෙන බස් සේවා යෙදීම අනිවාර්ය අංගයක් විය යුතු බවත්, මාර්ග සංවර්ධන ව්‍යාපෘතිවල වැඩ කරද්දී තමන් මේ සම්බන්ධ දැනුවත් කිරීම් කර ඇති බවත් ඇය ප්‍රකාශ කළාය.

"ඒවා ක්‍රියාත්මක වෙන්නේ නැති එක තමයි ප්‍රශ්නේ."

ෆේස්බුක් හි පළවූ මතයක්

ඡායාරූප මූලාශ්‍රය, FACEBOOK/GANGSTER RATHNE

ඡායාරූප ශීර්ෂ වැකිය, කාබන් බද්ද හාස්‍යයට ලක් කරමින් විවිධ මත පළ වූ අවස්ථා ද නැතුවා නොවේ

මොරටුව විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අමල් කුමාරගේ බීබීසී සිංහල සේවයට අදහස් දක්වමින් කියා සිටියේ බදු ගැසීම තුළින් වාහන පාවිච්චිය අඩු කර ගත හැකි බව ඔප්පු කිරීමට කිසිදු සාධකයක් නොමැති බවය.

"වාහන ගැන කතා කරන කොට ලංකාව කියන්නේ ලෝකයේ වැඩි ම ආනයන බද්දක් තියෙන රටක්. එහෙම තිබිලත් අපිට තියෙන ආර්ථික මට්ටමත් එක්ක බලනකොට යුරෝපයේ වාහන අයිතියට වඩා ඉහළ තැනක අපි ඉන්නේ, ඒක පුද්ගල ආදායම බැලුව ම,"

වැඩි බද්දක් පැනෙව්වා කියල වාහන අයිතිය හෝ පාවිච්චිය අඩු වුණා කියල කියන්න මෙතෙක් කිසි ම සාධකයක් නැහැ. එතකොට තව බද්දක් දැම්ම කියලත් එහෙම එකක් වෙන්නේ නැහැ." මහාචාර්යවරයා පැහැදිලි කළේය.

"අපිට මෙතන බලන්න තියෙන්නේ මේක ඉලක්ක කර ගන්නේ රජයට ආදායමක් ලබා ගන්න ද නැතිනම් ඇත්තට ම පරිසරය ආරක්ෂා කර ගන්න ද කියන එක. ඇත්තට ම පරිසරය ගැන ඉලක්කයක් තියෙනව නම් අපි ඊළඟට බලන්න ඕන ඒ වගේ ඉලක්කයක් සපුරා ගැනීම සඳහා ඊට වඩා හොඳ ක්‍රම තියෙනව ද කියල, අපි ඒවාට ඉංග්‍රීසියෙන් කියනවා ඉන්ස්ටෘමන්ට් කියල. ඒ අතරින් හොඳ ම ක්‍රමය මේ කාබන් බද්ද ද කියල කල්පනා කරල බලන්න ඕන."

මේ කාබන් බද්ද දැමීමෙන් ලංකාවේ කිසි ම කෙනෙක් විකල්ප ක්‍රමයක් භාවිත කරාවි ද ඉන්ධන පාවිච්චිය අඩු කර ගැනීමට? දැන් බස් රථ ගෙන්වීම ගැන කතාවක් තියෙනවා ඉලෙක්ට්‍රික් බස් රථ ගෙන්විය යුතුයි කියල. මේ වෙලාවේ මගියව ආකර්ෂණය කර ගැනීම සඳහා අවශ්‍ය වෙන්නේ නවීන සුව පහසුකම් සහිත බස් සේවයක්. බස් එක ඉලෙක්ට්‍රික් ද නැද්ද කියල මිනිස්සු හිතල බස් එකට නගින්නේ නැහැ." මහාචාර්ය අමල් කුමාරගේ තවදුරටත් ප්‍රකාශ කළේය.

"කාබන් බද්ද ඉන්ධන මිල සුත්‍රයට"

වාහන පෙළක්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න බීබීසී සිංහල සේවයට අදහස් දක්වමින් කියා සිටියේ වාහනයේ එන්ජිමේ ධාරිතාව මත මෙම කාබන් බද්ද අය කිරීම ඉතා අසාධාරණ බවය.

වාහනය ඉඳහිට පාවිච්චි කරන පුද්ගලයාත් නිතර ම වාහනය ධාවනය කරවන පුද්ගලයාත් එක ම බද්දකට යටත් කිරීම සාධාරණ නොවන බව ඔහුගේ තර්කයයි.

එම නිසා කාබන් බද්ද ඉන්ධන මිල සූත්‍රයට එක් කිරීම වඩා යෝග්‍ය බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපතිවරයා පවසයි.

2018 අංක 35 දරන මුදල් පනත යටතේ මෙම කාබන් බද්ද ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ. එය ජනතාවගෙන් අය කර ගනු ලබන්නේ 2019 ජනවාරි 01 වන දා පටන්ය.