ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න ඇප මත නිදහස් කරයි

පුද්ගලයන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධ නඩු විභාගයක සැකකරුවෙක් වශයෙන් රිමාන්ඩ් භාරයට පත් කර සිටි ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී රවීන්ද්‍ර විජේගුණරත්න ඇප මත මුදාහැරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.
සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමෙන් වළකින මෙන් ඇප මත මුදා හැරි අවස්ථාවේ අධිකරණය සැකකාර අද්මිරාල්වරයාට අවවාද කළේය.
එසේ තර්ජන හෝ බලපෑම් එල්ල කළ බවට පැමිණිල්ලක් ඉදිරිපත් වුවහොත්, දැනට නියම කර ඇති ඇප අවලංගු කර නඩුව අවසන් වනතුරු රිමාන්ඩ් භාරයට පත් කරන බව ද මහේස්ත්‍රාත් රංග දිසානායක අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්නට අවවාද කළේය.
ඒ අනුව සැකකාර රවීන්ද්‍ර විජේගුණරත්න රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට නියම කළ මහේස්ත්‍රාත්වරයා, පැමිණිල්ල නැවත ජනවාරි මස 16 වෙනි දින කැඳවන ලෙස නියම කළ අතර, එදින යළි අධිකරණයේ පෙනී සිටින මෙන් ද සැකකාර රවීන්ද්‍ර විජේගුණරත්නට දැනුම් දුන්නේය.
අදාළ නඩුව බදාදා (දෙසැම්බර් 05) කැඳවූ අවස්ථාවේ, රිමාන්ඩ් භාරයට පත්කර සිටි සැකකාර රවීන්ද්‍ර විජේගුණරත්නට ඇප නියම කරන මෙන් ඔහුගේ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලීමක් කළේය.
එම ඉල්ලීමට විරෝධය පළ නොකළ රහස් පොලිසිය කියා සිටියේ, සැකකරු පරීක්ෂණ වලට සහයෝගය දක්වන බවය.
මේ අතර අද්මිරාල්වරයා, සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීම සම්බන්ධ නඩුවේ ද සැකකරුවෙකු දැයි මහේස්ත්‍රාත් රංග දිසානායක කිහිපවරක්ම කොටුව පොලිසිය නියෝජනය කළ නිලධාරියාගෙන් විමසූ බව ට්විටර් පණිවුඩ කිහිපයක් නිකුත්කරමින් සන්ඩේ ඔබ්සර්වර් පත්‍රයේ හිටපු කතුවරියවන දරීෂා බැස්ටියන් වාර්තා කරයි.
එසේ නම් සැකකරුට ඇප නියම කිරීමට තමන්ට බලයක් නොමැති බව පෙන්වා දුන් මහේස්ත්‍රාත්වරයා, අදාළ විමර්ශනය කොටුව පොලිසියෙන් ඉවත්කරන ලෙස නියෝග කළ බව ද එහි දැක්වේ.
මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
End of X post
2008 වසරේ කොළඹ හා තදාසන්න ප්‍රදේශවල තරුණයන් 11 දෙනකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියේ සැකකරුවකු වන නාවික ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි නැමැත්තාට සැඟවී සිටීමට ආධාර අනුබලදීම සම්බන්ධයෙන් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්නට චෝදනා එල්ල වී තිබේ.
එම සිද්ධිය සම්බන්ධයෙන් රවීන්ද්‍ර විජේගුණරත්නට එරෙහි ප්‍රමාණවත් සාක්ෂි තිබෙන බව රහස් පොලීසිය ඉකුත් දා අධිකරණයට වාර්තා කර තිබුණි.
ඒ අනුව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා සැකකරුවකු ලෙස අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරන්නැයි මීට ඉහතදී නියෝග කළ කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක, එම නියෝගය ක්‍රියාත්මක කිරීම පැහැර හරිනු ලැබූවොත් රහස් පොලිසියේ සමූහ මංකොල්ල අංශය භාර ස්ථානාධිපති නිශාන්ත සිල්වාට එරෙහිව දණ්ඩ නීති සංග්‍රහය යටතේ පියවර ගැනීමට සිදුවන බවට ද අනතුරු අඟවා තිබුණි.








