ලසන්ත ඝාතනයේ විමර්ශන භාර වූ නිශාන්ත සිල්වාගේ හදිසි මාරුව අවලංගු කෙරේ

ඡායාරූප මූලාශ්‍රය, Getty Images/LAKRUWAN WANNIARACHCHI
පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල විමර්ශන අංශයේ ස්ථානාධිපති, පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වාට දී තිබූ හදිසි ස්ථාන මාරුව අවලංගු කර තිබේ.
මාධ්‍යවේදීන් ඝාතනය කිරීම, පැහැරගෙන යාම ඇතුළු බරපතළ අපරාධ රැසක් සම්න්ධයෙන් විමර්ශන පවත්වමින් සිටි පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල විමර්ශන අංශයේ ස්ථානාධිපති, පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වාගේ ස්ථාන මාරුවට එරෙහිව ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදින්ගේ සංගමය, ජාතික පොලිස් කොමිසමට පැමිණිලි කර තිබිණි.
පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වාගේ හදිසි ස්ථාන මාරුව අවලංගු කරමින් නිකුත් කළ ලිපිය පහත දැක්වේ.

ඊට අමතරව, වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය සහ නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ඔහුගේ ස්ථාන මාරුව හෙළා දකිමින් මාධ්‍ය නිවේදන නිකුත් කළේය.
ශ්‍රී ලංකාවේ නිර්මාණය වූ දේශපාලන අර්බුදය දිග්ගැසෙමින් පවතින අතරවාරයේ පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල විමර්ශන අංශයේ ස්ථානාධිපති, පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වාට මීගමුව කොට්ඨාසයට හදිසි ස්ථාන මාරුවක් ලබාදීම පිළිබඳව ප්‍රබල අවධානයක් යොමු වී තිබිණි.
විශේෂයෙන් ම එක්සත් ජාතික පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ අදාළ ස්ථාන මාරුව පිළිබඳව සිය සැලකිල්ල පළ කර තිබිණි.
මේ අතර, නිවේදනයක් නිකුත් කරමින් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පැවසුවේ, ජනමාධ්‍යවේදීන්ට එරෙහි අපරාධ සම්බන්ධ පරීක්ෂණ කටයුතු දැනටමත් මන්දගාමීව පවතින පසුබිමක් තුළ, ඊට අදාළ විමර්ශන කටයුතු සිදු කරමින් සිටි පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වාට ස්ථාන මාරුවක් ලබා දීමෙන් එම විමර්ශන කටයුතු තවදුරටත් අඩාළ විය හැකි බවය.
නිදහස් මාධ්‍ය ව්‍යාපාරය සැලකිලිමත් පරීක්‍ෂණ මොනවා ද?
- ලසන්න වික්‍රමතුංග ඝාතනය
- කීත් නොයාර් පැහැර ගැනීම
- උපාලි තෙන්නකෝන් හා නාමල් පෙරේරා යන මාධ්‍යවේදීන්ට එරෙහි අපරාධ
- කොළඔ දී තරුණයන් 11 දෙනෙකු පැහැර ගෙන ගොස් අතුරුදහන් කිරීම
පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වාට හදිසි ස්ථාන මාරුවක් ලබාදීම මගින් ඉහත කී සියලු පරීක්ෂණ කටයුතු ඉදිරියට ගෙන යාමට බාධාවක් විය හැකි බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පෙන්වා දී තිබිණි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
"ජනමාධ්‍යව්දීන්ට එරෙහිව පසුගිය වකවානුවේ සිදුවු අපරාධ සම්බන්ධයෙන් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය සිදු කරන ලද අධ්‍යයනයකට අනුව, මේ සම්බන්ධයෙන් නිතීය ක්‍රියාත්මක වීම මේ වන විටත් ඇත්තේ පසුගාමි තත්වයකය."
"මෙවැනි ස්ථාන මාරුවීම් වැනි බාධා කිරීම් මගින්, මෙම ක්‍රියාදාමය තවදුරටත් අඩාළ කිරීමේ ප්‍රයත්නයක් ක්‍රියාත්මක වන්නේදැයි සාධාරණ සැකයක් මතුවේ," යනුවෙන් ද එම නිවේදනයේ දැක්වේ.
එබැවින් ජනමාධ්‍යවේදීන්ට එරෙහි අපරාධ සම්බන්ධයෙන් සිදු කරන පරීක්ෂණ මෙවැනි බාධා කිරීමවලින් තොරව කඩිනමින් පවත්වා, යුක්තිය ඉටු කරන ලෙස නිදහස් මාධ්‍ය ව්‍යාපාරය බලධාරීන්ගෙන් ඉල්ලා සිටියේය.
මේ අතර, තරුණයන් 11 දෙනෙකු පැහැරගෙන යාම සම්බන්ධ නඩුවේ ප්‍රධාන සැකකරුවකුවන 'නේවි සම්පත්' හෙවත් ලූතිනන් කමාන්ඩර් සම්පත් හෙට්ටිආරච්චිට සැඟවී සිටීමට ආධාර අනුබල දීමේ චෝදනාව මත ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී රවීන්ද්‍ර විජේගුණරත්න අත්අඩංගුවට ගන්නා මෙන් අධිකරණය කීපවරක් ම නියෝග කර තිබිණි.
එහෙත් නඩු පැවරීමකින් තොරව හමුදා නිලධාරීන් අත්අඩංගුවට ගැනීම සහ රක්ෂිත බන්ධනාගාරගත කිරීම ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කැඳවා දැඩි ලෙස දෝෂාරෝපණය කළ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පසුගිය සැප්තැම්බර් 14 දින කොළඹ ජනාධිපති මන්දිරයේදී මාධ්‍ය ප්‍රධානීන් අමතමින් කියා සිටියේය.
කියවන්න:
ආරක්‍ෂක අමාත්‍යාංශය
අගමැති රනිල් වික්‍රමසිංහ බලයෙන් පහ කෙරුණු ඔක්තෝබර් 26 වන දින දක්වා පොලිසිය, නීතිය හා සාමය අමාත්‍යාංශය යටතේ පැවති නමුත්, ඉන් පසුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගැසට් නිවේදනයක් මගින් පොලිසිය ආරක්ෂක අමාත්‍යාංශය යටතට පත්කර ගත්තේය.
පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වාට හදිසි ස්ථාන මාරුවක් ලබා දෙමින් නිකුත් කර තිබූ ලිපිය පහත දැක්වේ.

ඉහත කී පරීක්ෂණ සියල්ල භාරව සිටින පොලිස් පරික්ෂක නිශාන්ත සිල්වාට හදිසියේ ස්ථාන මාරුවක් ලබා දීමට කටයුතු කළේ මන්දැයි බීබීසී සිංහල සේවය ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා වශයෙන් පත්කර සිටින ලක්ෂ්මන් සෙනෙවිරත්නගෙන් විමසූ අවස්ථාවේ ඔහු කියා සිටියේ, ඒ සම්බන්ධයෙන් මේ මොහොතේ තමන් වැඩිදුර විස්තර නොදන්නා බවය.
වැඩිදුර කරුණු විමසීම පිණිස ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර ඇමතීමට බීබීසී සිංහල සේවය කීප වතාවක් උත්සාහය දැරූ නමුත් සාර්ථක නොවීය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
පොලිස් කොමිසම
පොලිසියේ ස්ථාන මාරු සහ විනය විරෝධී ක්‍රියා සම්බන්ධයෙන් කටයුතු කිරීමට, 19 වන ව්‍යවස්ථා සංශෝධනය ප්‍රකාරව පිහිටුවන ලද පොලිස් කොමිසමට බලය පැවරේ.
එහෙත් ස්ථාන මාරු සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී පොලිස් කොමිසමට බලය පැවරෙන්නේ සහකාර පොලිස් අධිකාරීවරුන්ගේ සිට ඉහළ පදවි දරන නිලධාරීන් සම්බන්ධයෙන් පමණි.
කෙසේ වුවත්, අදාළ නිලධාරියා/නිලධාරිනිය පැමිණිල්ලක් යොමු කරන්නේ නම් සහකාර පොලිස් අධිකාරීවරුන්ට වඩා පහළ තනතුරු දරන නිලධාරීන් සම්බන්ධයෙන් ද කටයුතු කිරීමට පොලිස් කොමිසමට බලය පැවරේ.
මේ අතර, මෙම ස්ථාන මාරුව හෙළා දකිමින් මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංගගේ දියණිය වන අහිම්සා වික්‍රමතුංග ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත ලිපියක් යොමු කර තිබිණි.




තවත් කියවන්න:
- CID වෙත කැඳවුණු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී රටින් පිට යයි
- ප්‍රහේලිකාවක් වූ හදිසි කැබිනට් හමුව
- "රවීන්ද්‍ර විජේගුණරත්න විදෙස්ගතවීම තහනම් කළ යුත්තේ අධිකරණයයි"
- හමුදා නිලධාරීන් අත්අඩංගුවට ගැනීම ගැන ජනපති ස්ථාවරය
- ලසන්ත වික්‍රමතුංග ඝාතනය; හිටපු පොලිස් ප්‍රධානියෙක් අත්අඩංගුවේ
- ලසන්ත ඝාතනයට වසර නවයයි; ඝාතනයට නියෝග කළේ කවුද?









