ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ශ්‍රී ලංකාවේ දේශපාලන අර්බුදය: "ජනපති සැකසූ යෝජනාව" එජාපය පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකරයි
මහින්ද රාජපක්ෂ සහ ඔහුගේ ආණ්ඩුවට එරෙහිව සම්මත වූ විශ්වාසභංග යෝජනාවලට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලමින් බදාදා (දෙසැම්බර් 5) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත වූ යෝජනාව, ඉදිරිපත් නොකර සිටීමට තමන් තීරණය කළ බව එක්සත් ජාතික පක්ෂය පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.
ජනාධිපතිවරයා සමග ඇතිවූ එකඟතාවක් අනුව එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් 7 දෙනෙක්ගේ නමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ මෙම යෝජනාව පිළිබඳ ඡන්ද විමසීමක් ද සිදු කිරීමට සැලසුම් කර තිබිණි.
ඒ අනුව බදාදා පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට ද මෙම යෝජනාව ඇතුළත් වී තිබිණි. එනමුත්, එය ඉදිරිපත් නොකර සිටීමට තීරණය කළ බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක පාර්ලිමේන්තු සැසිය ආරම්භයේ දී දැනුම් දුන්නේය.
මේ තොරතුරුද කියවන්න:
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන් නොමැතිව රැස් වූ පාර්ලිමේන්තුවේ වර්තමාන දේශපාලන තත්ත්වය පිළිබඳ කල්තැබීමේ විවාදය පැවැත්වුණි.
මෙම පාර්ලිමේන්තු සැසිය ද වර්ජනය කළ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරු පාර්ලිමේන්තු සංකීර්ණයට පවා පැමිණ සිටියේ නැත.
"රනිල් වෙනුවට විකල්ප නම් ඉදිරිපත් කරන්නේ නැහැ"
"ජනපති එකඟ වෙලා සිටියා අද වෙනකොට පාර්ලිමේන්තුව විසුරුවන ගැසට් පත්‍රය ඉවත් කරගන්න. එතුමා විසින් ඇති කරපු මේ අවුලෙන් එළියට යන්න, එතුමාගේ ඉල්ලීම පරිදි කෙටුම්පත් කරපු මේ යෝජනාව අද අපි ඉදිරිපත් කරන්නේ නැහැ. ඒක අර්ථ විරහිත වැඩක්," යැයි එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී අජිත් පී පෙරේරා බීබීසි සිංහල සේවයට පැවසීය.
"ජනාධිපතිවරයා පොරොන්දු ඉටුකරන්නේ නැති විට, අපේ පාර්ශ්වයෙන් විතරක් පොරොන්දු ඉටුකරලා වැඩක් නැහැ."
"අපි කණගාටු වෙනවා එතුමාගේ ඊයේ කතාව ගැන. මංගල සමරවීර ඇමතිතුමා කියල තිබුණා දෝෂාභියෝගයකට යන්න ඕනේ කියලා. නමුත් පක්ෂයක් හැටියට අපි එහෙම තීරණයක් අරන් නැහැ." මන්ත්‍රී අජිත් පී පෙරේරා තවදුරටත් පැවසීය.
ජනාධිපති සිරිසේන යෝජනා කරන පරිදි, 'රනිල් වික්‍රමසිංහ' වෙනුවට විකල්පයක් යෝජනා කිරීමට එක්සත් ජාතික පක්ෂය සුදානම් නොමැති බව ද අජිත් පී පෙරේරා මන්ත්‍රීවරයා පැවසුවේය.
"මේ තරම් හිතුවක්කාර ලෙස හැසිරෙන ජනාධිපතිවරයෙක්ට විකල්ප නමක් දුන්නත්, ඔහුවත් නැවතත් ධූරයෙන් ඉවත් කරලා තව කෙනෙක් ඉල්ලයි," ඔහු තවදුරටත් පැවසීය.
"මෙහෙම පුද්ගලයෙක් තවදුරටත් තියා ගන්නවද?"
ජනාධිපතිවරයා කටයුතු කරන ආකාරය පිළිබඳ ජනතා විමුක්ති පෙරමුණ ද දැඩි විවේචන එල්ල කළේය.
ජනාධිපතිවරයා සමග තවදුරටත් මෙම ගැටළුව සාකච්ඡා කිරීම 'අර්ථ විරහිත' බව ජනතා විමුක්ති පෙරමුණේ විජිත හේරත් මන්ත්‍රීවරයා පාර්ලිමේන්තු කල්තැබීමේ විවාදය අතරතුර පැවසුවේය.
ජනාධිපතිවරයා අවස්ථා ගණනාවකදී ව්‍යවස්ථාව කඩ කර ඇති අතර, මෙවන් පුද්ගලයෙකු තවදුරටත් රටේ නායකයා ලෙස තබා ගන්නවා දැයි තීරණයක් ගැනීමට කාලය එළඹ ඇතැයි ඔහු තවදුරටත් පැවසුවේය.
අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට තිබූ යෝජනාව ජනාධිපතිවරයා විසින් සැකසූවක් වන අතර, පළමු විශ්වාසභංගයේ දී, 'තමන්ට එරෙහිව තිබූ යෝජනා ඉවත් කර ගැනීම' මෙහි අරමුණ වී ඇති බව ජනතා විමුක්ති පෙරමුණ පැවසීය.
"ජනාධිපතිතුමාට ඕනේ එයාව බේරගෙන, මහින්දට එරෙහිව විතරක් යෝජනාව ගේන්න, එයාව දෝෂාභියෝගයකින් බේර ගන්න," විජිත හේරත් මන්ත්‍රීවරයා පැවසීය.
නොවැම්බර් 14 වෙනිදා සමම්තවූ විශ්වාසභංගයේ දී මහින්ද රාජපක්ෂ අගමැති ලෙස පත් කිරීමට අදාළ නියෝග, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණි යැයි සඳහන් කර ඇති යෝජනා ඉවත් කරගන්නා ලෙස ජනාධිපතිවරයා අවස්ථා කිහිපයකදීම එක්සත් ජාතික පෙරමුණේ නායකයන්ගෙන් ඉල්ලා සිටියේය.
මෙම යෝජනා තමන්ට එරෙහිව දෝෂාභියෝගයක් ඉදිරිපත් කිරීමට ද භාවිතා කළ හැකි බව විදෙස් මාධ්‍යවේදීන් හමුවූ අවස්ථාවේදී ජනාධිපතිවරයා පැවසීය.