ශ්‍රී ලංකාවේ දේශපාලන අර්බුදය: අභියාචනාධිකරණ නියෝගය ගැන ජනපති සිරිසේන, මහින්ද රාජපක්ෂ සහ රනිල් වික්‍රමසිංහ

මහින්ද රාජපක්ෂ ඇතුළු මන්ත්‍රීවරුන් 49 දෙනෙකු අගමැති හෝ අමාත්‍ය පදවි දැරීම වළක්වාලමින් අභියාචනාධිකරණය නිකුත් කළ අතුරු තහනම් නියෝගය එකඟ නොවන බව මහින්ද රාජපක්ෂ පවසයි.

එම අතුරු තහනම් නියෝගයට එරෙහිව අඟහරුවාදා ආරම්භක පැයේදීම ශ්‍රේෂ්ඨාධිකරණය වෙත අභියාචනයක් ඉදිරිපත් කිරීම පිණිස කටයුතු කරමින් සිටින බව ද මහින්ද රාජපක්ෂ මන්ත්‍රීවරයා නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.

"ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අර්ථ නිරූපනය කිරීමේ සහ ඊට අදාල අවසානාත්මක තීන්දු තීරණ ගැනීමේ පරම අයිතිය ව්‍යවස්ථානුකූලව පැවරී ඇත්තේ ශ්‍රේෂ්ඨාධිකරණයට බව අපි නැවතත් අවධාරණය කරන්නෙමු," යනුවෙන් ද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

'අගමැතිවරයෙක් නෑ'

මේ අතර අභියාචනාධිකරණය තහනම් නියෝගයක් නිකුත් කිරීමෙන් අනතුරුව රටේ අගමැතිවරයෙකු හෝ අමාත්‍ය මණ්ඩලයක් නොමැති බැවින් ඉදිරි පැය 24 ඇතුළත ඒ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගන්නා බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසා තිබේ.

අධිකරණ නියෝගය නිකුත්වීමෙන් අනතුරුව දෙමළ ජාතික සන්ධානයේ නායකත්වය මුණගැසුණු අවස්ථාවේ ජනාධිපතිවරයා ඒ බව සඳහන් කළයි දෙමළ ජාතික සන්ධානය නිකුත්කළ ට්විටර් පණිවුඩයක දැක්වේ.

අතුරු තහනම් නියෝගය පිළිබඳ ප්‍රතිචාරය පළකරමින් එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මන්ත්‍රීවරයා පවසන්නේ, "තනි පුද්ගලයන්ගේ අවශ්‍යතාවලට වඩා ප්‍රජාතන්ත්‍රවාදී ආයතන ජයග්‍රහණය කිරීම යහපාලන න්‍යායපත්‍රයේ උරුමයක්," බවය.

තවදුරටත් ශ්‍රී ලංකාවේ පුරවැසියන්ගේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීම වෙනුවෙන් පෙනී සිටින අතර, ඕනෑම මොහොතක රටේ ව්‍යවස්ථාවට අනුකූලව පවත්වන නීත්‍යානුකූල මැතිවරණයකට පෙනී සිටීමට සූදානම් බව ද රනිල් වික්‍රමසිංහ සිය ට්විටර් පණිවුඩයේ සඳහන් කර තිබුණි.

අතුරු තහනම් නියෝගය ප්‍රකාශයට පත්කරමින් විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, පාර්ලිමේන්තුවේ සමස්ත සාමාජිකයින් 225 දෙනාගෙන් එකසිය විසි දෙදෙනෙකු එම පෙත්සම හරහා අධිකරණයට හමුවට පැමිණ ඇති බව පෙන්වා දුන්නේය.

මහින්ද රාජපක්ෂ ඇතුළු වගඋත්තරකාර අමාත්‍ය මණ්ඩල සාමාජිකයින්ට එරෙහිව විශ්වාසභංග යෝජනා දෙකක් සම්බන්ධ වී ඇති බවට අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් වී ඇති බවත් ඒ අනුව ඔවුන් එම තනතුරු තවදුරටත් දරන්නේ කුමන පදනමක් යටතේ ද යන්න පිළිබඳව ගැටලු සහගත වී ඇති බවත් විනිසුරුවරයා පෙන්වා දුන්නේය.

මෙම තත්ත්වය හමුවේ දේශීයව සහ ජාත්‍යන්තරව රටකට සිදුවිය හැකි අගතිය එම නඩු විභාගයේ දී අධිකරණයේ සැලකිල්ලට භාජනය වී ඇති බව සඳහන් කළ විනිසුරු සූරසේන, ඒ අනුව එම අතුරු නියෝගය නිකුත් කරන බවත් සඳහන් කළේය.

එමෙන්ම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ඇතුළු අමාත්‍ය මණ්ඩල සාමාජිකයින් තම තනතුරු දරන්නේ කුමන නීතිමය බලාධිකාරියක් යටතේද යන්න අධිකරණය හමුවේ පැහැදිලි කළ යුතු බව ද විනිසුරුවරු සඳහන් කළහ.

අභියාචනාධිකරණ නියෝගය සම්බන්ධයෙන් ප්‍රතිචාරය දක්වන ජනාධිපති නීතිඥ සාලිය පීරිස්, පොදු යහපත සම්බන්ධ නඩු විභාග සම්බන්ධයෙන් පමණක් නොව අපරාධ විමර්ශන සම්බන්ධයෙන් ද ගතව ගිය සති කීපය තුළ ඉතා ශක්තිමත් අධිකරණයක් දක්නට ලැබුණු බව සඳහන් කරයි.

එය ශ්‍රී ලංකාවේ "නීතියේ ආධිපත්‍යය සහ අධිකරණයේ ස්වාධීනත්වය අගයන සියලු දෙනාට සාඩම්බර මොහොතක්" බවද ජනාධිපති නීතිඥ සාලිය පීරිස් ට්විටර් පණිවුඩයක සඳහන් කර තිබුණි.

එමෙන්ම "අභියාචනාධිකරණයේ අතුරු නියෝගය කට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කළ පමණින් එය බලාත්මක වීම නවතින්නේ නැත. ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අභියාචනාධිකරණයේ අතුරු නියෝගයක් අත්හිටවන තුරු එය වලංගුව පවතී," යනුවෙන් ද ජනාධිපති නීතිඥ සාලිය පීරිස් සඳහන් කරයි.

පෙත්සම්කාර පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කියා සිටින්නේ මහින්ද රාජපක්ෂට පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්‍රීවරුන්ගේ සහයෝගය නොමැති අතර, ඒ බව කතානායකවරයා විසින් ද තහවුරු කර ඇති බවය.

මේ හේතුවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන ප්‍රකාරව මහින්ද රාජපක්ෂට අග්‍රාමාත්‍ය ධුරය දැරීමට නීත්‍යානුකූල හිමිකමක් නොමැති බවට තීන්දු කොට ඔහුගේ සහ ඔහුගේ අමාත්‍ය මණ්ඩලයේ පත්වීම බල රහිත කිරීමේ ආඥාවක් නිකුත් කරන මෙන් ද පෙත්සම්කරුවන් අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටිති.

පෙත්සමේ වගඋත්තරකරුවකු ලෙස නම් කර සිටින මහින්ද රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන ඉකුත් සිකුරාදා කරුණු දක්වමින්, පෙත්සම්කරුවන් විසින් සඳහන් කරනු ලබන විශ්වාසභංග යෝජනාව විධිමත් ආකාරයට සම්මත වී නොමැති බව කියා සිටියේය.

එබැවින් මෙම පෙත්සම් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන මෙන්ද ජනාධිපති නීතිඥ මාරපන අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

මතු වී පවතින තත්වය ගැන බීබීසී සිංහල සේවය විමසීමක් කළ අවස්ථාවේ කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ කථිකාචාර්ය ජනාධිපති නීතීඥ ප්‍රසන්ත ලාල් ද අල්විස් කියා සිටියේ,මීට පෙරාතුව ශ්‍රී ලංකාවේ මෙවැනි වාතාවරණයක් මතු වී නොමැති බැවින් මේ අවස්ථාවේ තමන්ට පළ කළ හැක්කේ මතයක් පමණක් බවය.

ඒ අනුව මේ අවස්ථාවේ ජනාධිපතිවරයාට ගත හැකි ක්‍රියාමාර්ග කිහිපයක් පවතින අතර, රටේ අගමැතිවරයෙකු සහ කැබිනට් මණ්ඩලයක් නොමැති බැවින් නව අගමැතිවරයෙකු සහ අමාත්‍ය මණ්ඩලයක් පත්කිරීම ඒ අතරින් පළමුවැනි විකල්පය බව ද ජනාධිපති නීතිඥ ප්‍රසන්ත ලාල් ද අල්විස් පෙන්වා දුන්නේය.

තවත් කියවන්න: